Category Archives: Nivan Bana

පටිච්ච සමුප්පාදය අර්ථ දැක්‌වීමෙහි අද පවතින දෝෂය

ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු.

බොහෝ දෙනෙක්‌ කියනව මාර්ගඵල ලබන්න අභිධර්මය ඕන නැහැ. හතරපද ඇහුව ම ඇති කියල. මම මේකට දෙන උත්තරය මෙහෙමයි.

ගින්දර තියෙන කාලෙ දි නම් බත් උයන්න ගිනි පුපුරුවලට පිඹින්න ඕන ද? ඕන නැහැ. ඇයි ඒ? ගින්දර තියෙනව නේ. එතකොට බත් උයන්න පුළුවන්. නමුත් මේ ගින්දර නිවිල ගියොත් ආයෙත් අවුළුවගන්න තියෙන තැන තමයි මේ ගිනි පුපුරු ටික. ගිනි පුපුරු ටිකත් නැති වුණොත්? බත් උයල ඉවරයි. ගින්දර අවුළුවගෙන ඉවරයි.

අන්න ඒ වගේ මේ පරියත්තිය තියෙන්නෙ වෙන මොකකට වත් නෙමෙයි. හැම වෙලාවෙ ම අර්ථය යම් විටක දි මතු කරගෙන ප්‍රතිපත්තිය ඇති කරල ප්‍රතිපත්තියෙ හැසිරිල මාර්ගඵල ලබල කොටසක්‌ ගොඩ යනව. ආයෙත් ඒ ටික අතහැරෙනව. නමුත් පරියත්තිය, පෙළදහම ඉතුරු නිසා ඒක ගවේෂණය කරල කරල ආයෙත් යම් දවසක දී ප්‍රතිපත්තිය, ගින්දර උපදවගන්න පුළුවන්.

උපදවගත්තට පස්‌සෙ අනෙක්‌ ඔක්‌කොමල ගිනි පුපුරුවලට පිඹින්න ඕන නැහැ. උපදවාගත්ත කෙනාට පුළුවන් බත් උයල දෙන්න. ඒ කියන්නෙ ධර්මය තියෙන කෙනාට පුළුවන් හතර පද ගාථාවක්‌ ඇහුවම නිවන් දකින විදියට ප්‍රතිපදාව කෙටි කරල හකුළුවල දෙන්න. නමුත් ඔය අහගත්ත බණ ටික අර්ථය, කාලයක්‌ ගිහිල්ල ආපහු මේ වගේ නැති වුණොත් ආයෙත් මේ අර්ථය ගන්න වෙන තැනක්‌ නැහැ.

අභිධර්මය කියල කියන්නෙ අධිපඤ්ඤා කියල කියන්නෙ ඒකයි. මෙන්න මෙතනටමයි පිඹිය යුත්තෙ. ගිනි පුපුරු තියෙන්නෙ එතන. ඔන්න ඔතනට පිඹින කෙනකුට තමයි ගින්දර අවුළුවගන්න පුළුවන්. ආයෙත් ගින්දර අවුළුවගත්තහම ඒකෙන් බත් උයල ආයෙත් කන්න දෙනව. ඒ ඉන්න කට්‌ටිය ගෙත් බඩගින්න නිවෙනව. ඒ ගින්නෙන් උයපු බතුත් ආහාර වේලත් ඉවර වෙලා යනව. ගින්නත් නිවිල යනව. ඒත් ආයෙත් ගිනි පුපුරු තියෙන හින්ද කලින් කලට කවුරු හරි එනව. ආයෙත් ගිනි පුපුරුවලට පිඹල අවුළුවගන්නව. හැමෝට ම කරන්නත් බැහැ.

ඔහොම ගිහිල්ල යම් දවසක දි පරියත්තියත්, පිටකයත් නැති වුණොත් අන්න එදාට කියනව බුද්ධ ශාසනය ඉවරයි කියල. ප්‍රතිපත්තිය නැතත් මාර්ගඵල නැතත් බුද්ධ ශාසනය තවමත් තියෙනව කියල, පරියත්තිය තවම තියෙනව කියල කියන්නෙ වෙන මොකක්‌ වත් නිසා නෙමෙයි. ගිනි පුපුරු ටික තවම තියෙන නිසා. ජවයක්‌ තියෙන හොඳට හයිය තියෙන කෙනෙක්‌ විතරයි මේකට පිඹින්න ඕන කරන්නෙ. එහෙම කෙනෙක්‌ ආවොත් මේකට පිඹල ගින්දර ගන්න බැරි නැහැ.

බය නැති ව මම කියනව අද දවසෙ දි ශාසනය තියෙන්නෙ ගිනි පුපුරු, අළුවලින් වැහිච්චි ලිපක්‌ වගෙයි. මේකෙයි අපි උයන්න හදන්නෙ. ඉදුණොත්, බඩගිනි නිවුණොත් පුදුමයි. නමුත් කරන්න ඕන ඒක නෙමෙයි. මෙන්න මේ ගිනි පුපුරට පිඹල ගින්දර ඇති කරගන්න එකයි.

මේ ශාසනයෙ හරි ම වගකීමකින් වචන කතා කරන කෙනෙක්‌ මම. හිතුවක්‌කාරෙට පද පෙරළි කතා කරන්නෙ නැහැ.

මට පුළුවන් වුණා මේකෙ ගින්දර අවුළුවගන්නෘ මේකෙන් පුළුවන් බත් උයාගන්න.

මේ ගෙවිච්ච ක්‍රමයෙ දි අපිට මාර්ගඵල ලැබුණ නම්, දුක නිවුණ නම් තමයි පුදුමය. ඔබට මේ කාරණාව හරියට තේරුම්ගන්න ඇත්තට ම නුවණ විතරයි අවශ්‍ය. මේ දේශනාව ඉවර වෙනකොට ම ඔබට තේරෙයි මොකක්‌ ද මේ වෙලා තියෙන්නෙ කියන එක. ඒ තරම් සහේතුකයි.

ඉතින් මම ඒ පටිච්චසමුප්පාද ධර්මය ඔබට පෙන්නන්න උත්සුක වෙනව. හොඳට අහගන්න. ඔබේ ජීවිතය ඇත්තට ම හිස්‌ වෙන්නෙ නැහැ කියල මට හිතෙනව මම කියන දේ නො තේරුණත්. මේ ඔස්‌සෙ ආවොත් ඒකාන්තයෙන් ගොඩ යන්න පුළුවන් මයි. වෙනද වගේ ඇදහීමක්‌ නෙමෙයි. විශ්වාසයක්‌ ඕන නැහැ. කෙනා කෙනා ගෙ පේන මානෙට දකින්න පුළුවන් තැනක්‌ මේක.

මෙතන දි පෙන්නුම් කරන කාරණාව තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නෙ. අපි එතන දි මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන ටිකක්‌ බලමු.

ඉස්‌සරවෙලා ම පටිච්චසමුප්පාදයට අද අපි අර්ථ අරගෙන තියෙන ක්‍රමයත්, ඒකෙ තියෙන දෝෂයත් මම පෙන්වන්නම්. මේකෙ නියම අර්ථය කොහොම ද ලැබෙන්න ඕන කියන කාරණාවත් ඊට පස්‌සෙ මම පෙන්වන්නම්.

පටිච්ච සමුප්පාදයේ අංග 12ක්‌, ආකාර 20ක්‌, සන්ධි 3ක්‌, මූල 2ක්‌, කොට්‌ඨාස 4ක්‌, වට්‌ට 3ක්‌ කියල කාරණා 6ක්‌ තියෙනව.

අංග 12ක්‌ කියල කිව්වේ

අවිඡ්C`ධා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා, තණ්‌හා, උපාදාන, භව, ජාති ජරා, මරණ.

ආකාර 20 තමයි,

අවිඡ්C`ධා, සංඛාර, තණ්‌හා, උපාදාන, භව 5යි. විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන 5යි. ආයෙත් අවිඡ්C`ධා, සංඛාර, තණ්‌හා, උපාදාන, භව 5යි. ආපහු විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන 5යි.

සන්ධි 3ක්‌ තියෙනව,

හේතු-ඵල සන්ධිය කියල තියෙනව සංඛාරයයි විඤ්ඤාණයයි අතර. ඵල-හේතු සන්ධිය කියල එකක්‌ තියෙනව වේදනාවයි තණ්‌හාවයි අතර. හේතු-ඵල සන්ධිය කියල එකක්‌ තියෙනව භවයයි ජාතියයි අතර.

මූල 2ක්‌ තියෙනව

තණ්‌හා මූලිකව, අවිඡ්C`ධා මූලිකව කියල.

කොට්‌ඨාස 4ක්‌ තියෙනව,

අවිඡ්C`ධා, සංඛාරය එක කොටසක්‌. විඤ්ඤාණය, නාම රූපය එක කොටසක්‌. තණ්‌හා, උපාදාන තව කොටසක්‌. ජාති ජරා මරණ තව කොටසක්‌ විදියට කොට්‌ඨාස හතරක්‌ තියෙනව.

වට්‌ට 3 තමයි

කර්ම වට්‌ටය, කෙලෙස්‌ වට්‌ටය, විපාක වට්‌ටය.

ඉස්‌සරවෙලා ම මම පෙන්නන්න යන කාරණාව හොඳට වටහා ගන්න.

මේ පටිච්ච සමුප්පාදයේ විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නෙ මවු කුසෙන් ප්‍රතිසන්ධි වශයෙන් පැමිණුණු තැන ඉඳල නාම රූප හැදිල, ඇස, කන, දිව, නාසය, ආදි ආයතන ටික හැදිල, සඵර්ශය වෙලා වේදනාව ඇති වෙනව ය කියන ටික තමයි අපේ ජීවිතය.

අද දවසෙ දි අපි ඉගෙනගෙන තියෙන්නෙ අවිද්‍යා, සංඛාර (අවිද්‍යා, කර්ම) පෙරයි. පෙර අවිද්‍යා කර්ම නිසා මේ විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස වේදනා කියන්නෙ වර්තමාන විපාකයි. වර්තමානයෙ දි තණ්‌හා, උපාදාන, භව කියන හේතු ටික හැදෙනව. ජාති, ජරා, මරණ අනාගතයි කියල.

දැන් මේ සිද්ධිය ගැන තර්කානුකූලව බලන්න.

අවිද්‍යා සංඛාරය පෙර හේතු නම් මේ ජීවිතයෙ ආරම්භය කොතන ද? විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා. ඒ ටිකට තණ්‌හා, උපාදාන, භව වෙලා ජාති, ජරා, මරණ අනාගතේට ලැබෙනව.

දැන් මේ චක්‍රයට අනුව මේ ජීවිතේ ඇතුළෙ අවිද්‍යා සංඛාරය කොතනක වත් තියෙනව ද? නැහැ නේ ද?

අද අපි තණ්‌හා උපාදාන වෙලා ඊළ`ග ජීවිතයකට ගියා කියමු. ඊළ`ග ජීවිතේ දි කවුරු හරි කෙනෙක්‌ පටිච්ච සමුප්පාදය උගන්නන්න හැදුවොත්, එයත් ලියයි මේ වගේ ම චක්‍රයක්‌. එයා අවිද්‍යා සංඛාරය පෙරයි කියල පෙන්නනව ඇත්තෙ අද ජීවිතය නේ ද? ඉතින් කෝ මේ ජීවිතයෙ අවිද්‍යා සංඛාරය තියෙනව ද? නැහැ නේ?

එහෙනම් අපි පෙර ජීවිතය කියල ඇ`ගිල්ල දික්‌ කරන තැනත් තියෙන්නෙ ඔය සිදුවීම ම නෙ? එතනත් අවිද්‍යා සංඛාරය ඊට එහා ජීවිතයෙ එකක්‌ වෙලා නෙ?

එතකොට කවදා ම හරි දවසක අවිද්‍යාවෙන් කර්ම ඇති වෙලා ඒකට විපාකයක්‌ හැටියට අපි කියමු කාම භූමියෙ නම් ඉපදුණේ ඒ කාමාවචර විපාකයට තණ්‌හා කරල (ඊළ`ග භවයේ) කාම ලෝකෙක ම තමයි උපදින්න වෙන්නෙ.

කාමාවචර විපාකයකට තණ්‌හා කරල රූපාවචර බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන්න පුළුවන් ද? බැහැ.

(අපි මේක තවත් පැහැදිලි කරගනිමු.)

පෙර අවිද්‍යාව නිසා ඇති කරගත්ත සංඛාරය පුඤ්ඤාභිසංඛාරයක්‌, කාමාවචරයි කියල හිතන්න කො. එහෙනම් ඒකට විපාක වශයෙන් නම් මේ ඇති වෙච්ච විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා ටික, (ඒ කියන්නෙ) මේ ටික කාමාවචරයි නම්, ඔය වේදනාවට තණ්‌හා කළොත් කාමාවචර ධර්මයකට නේ ද තණ්‌හා කරන්නෙ?

එහෙම වුණොත් ආයෙත් උපදින්න වෙන්නෙ කොහෙ ද? කාම භවයෙමයි. එහෙම නම් මේ විදියට රූප භවයෙ හෝ අරූප භවයෙ යන්න පුළුවන් ද? බැහැ. ඒක වෙනස්‌ කරගන්න ක්‍රමයකුත් නැහැ. ඇයි ඒ? අවිඡ්C`ධා සංඛාරය (අතීතයේ) කවදා ම හරි එකක්‌ නෙ. කලින් ජීවිතයට ගියා ම එතනින් කියනව (අවිද්‍යා සංඛාර මෙහෙ නෙමෙයි) ඊට එහා ජීවිතයෙ කියල. එතනට ගියා ම කියනව, නෑ ඊට එහා කියල.

ඔය චක්‍රය ඔය විදියට අර්ථ දක්‌වනව නම් මනුස්‌සයෙක්‌ වෙච්ච කෙනා හැම දා ම මනුස්‌සයෙක්‌. දෙවියෙක්‌ වෙච්ච කෙනා හැම දා ම දෙවියෙක්‌. බ්‍රහ්මයෙක්‌ වෙච්ච කෙනා හැම දා ම බ්‍රහ්මයෙක්‌. එහෙම වුණොත් නම් හොඳයි. ප්‍රශ්නෙ තියෙන්නෙ අපායක ඉපදුණොත් හැම දා ම එතන ම තමයි.

ඔන්න ඔය විදියෙ වරදක්‌ මේ අර්ථ දැක්‌වීමේ තියෙනව.

භවය නැති වීමට නම්…

පසුගිය කලාපය හා සබැඳේ…

ඊට පස්‌සෙ උන්වහන්සේ දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය පෙන්නුවා. මොකක්‌ ද? තුන් ආකාරයේ ම තණ්‌හාව ඉතුරු නො කර නැති කිරීමක්‌ තියෙනව නම්, අත්හැර දැමීමක්‌ තියෙනව නම්, ගෙවා දැමීමක්‌ තියෙනව නම්, මතු නූපදවීමක්‌ තියෙනව නම්, මිදීමක්‌ තියෙනව නම් අන්න ඒකයි නිරෝධය.

මේ තුන් ආකාර තණ්‌හාව ප්‍රහීණ වෙන්න ඕන කොතන ද? නිරුද්ධ වෙන්න ඕන කොතන ද? මීට පෙර සඳහන් කරපු කාරණා හැටෙන් එක පොළක වත් තණ්‌හාව තියෙන්න බැහැ. මේ කාරණා හැටෙන් එකක්‌ වත් තණ්‌හාව ඇති වෙන්න උපකාර වෙන්නත් බැහැ. පවතින්නත් බැහැ. එයින් උපදින්නත් බැහැ.

ඔන්න ඔය විදියට දුක පෙන්නුව, දුකේ ඇති වීම පෙන්නුව (අර කාරණා 60), දුක්‌ඛ නිරෝධය පෙන්නුව, ඒ, තණ්‌හාව මේ කාරණා හැටේ නැති වෙන්න ඕන කියලා. අන්තිමට දුක්‌ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්‌ඨි.

එහෙම නම් දැන් නුවණ යෙදෙන්න ඕන පරිඤ්ඤෙය්‍ය වෙන්න (පිරිසිඳ දකින්න) ඕන මොකක්‌ ද? මෙන්න මේ කාරණා හැට. ඔන්න ඔය කාරණා හැට ම පිරිසිඳ දකින්න ඕන. ඒ පිරිසිඳ දකින නියායක්‌ තමයි මේ සතිපට්‌ඨානයේ ධම්මානුපස්‌සනාව.

දැන් අපි වෙන වෙන ම ගොඩවල් හයේ ඒව දහයක්‌ නෙ ඉගෙන ගත්තෙ. ප්‍රතිපදාවෙ දි, අර්ථය දකිද්දි නුවණින් වෙන වෙන ම දකින්න ඕන. ආධ්‍යාත්මික ආයතන හයෙන් ඇහැ ගන්නව. බාහිර ආයතන හයෙන් රූපය ගන්නව. විඤ්ඤාණ හයෙන් චක්‌ඛු විඤ්ඤාණය ගන්නව. ස්‌පර්ශ හයෙන් චක්‌ඛු සම්පස්‌සය ගන්නව. වේදනා හයෙන් චක්‌ඛු සම්පස්‌සජා වේදනාව ගන්නව. රූප සංඥාව, රූප සංෙච්තනාව, රූප තණ්‌හාව, රූප විතක්‌ක, රූප විචාර.

දැන් හොඳට දැන ගන්න ඕන ඇහැත් රූපයත් චක්‌ඛු විඤ්ඤාණයත් යන තුන් දෙනා ගෙ එකතුවට කියනව ස්‌පර්ශය. යමක්‌ ස්‌පර්ශ වේ නම් එය විඳිනව. යමක්‌ විඳියි නම් එය හඳුනනව. යමක්‌ හඳුනයි නම් එය කල්පනා කරනව. යමක්‌ කල්පනා කරයි නම් එය ප්‍රපංච වෙනව, තණ්‌හාව ඇති වෙනව. ඒ තණ්‌හාව මුල් කාරණාව කරගෙන ඒ ධර්මයො සිතින් සිහි කරනව, සිතින් හොයනව.

යම් වස්‌තුවක්‌ දැකල ඒකට කැමැත්තෙන් බැඳිල ඒක හිතින් සිහි කරල ඒක හිතින් හොයනව කියන සිද්ධිය නිර්මාණය වෙන හැටි තමයි මේ පෙන්නන්නෙ. අපි යමකට කැමැති වෙනකොට ඔය කාරණා හැට ම තියෙනව. ඇහැ මුල් කාරණාව කරගෙන කාරණා දහයක්‌ ම තියෙනව. සද්දයක්‌ අහල ඒකට කැමැති වෙන කොට කන මුල් කාරණාව කරගෙන ඒ දහයෙ ම බැඳිල තියෙනව.

ඇහැට පෙනෙන දේට ඔබ කැමැතියි කියන කොට මේ කාරණා දහයෙ ම ඒ මොහොතෙ දි තණ්‌හාව යෙදිල තියෙනව කියල දකින්න. කනට ඇහෙන සද්දයකට තණ්‌හා කරන කොට ඒ සද්දයට විතරක්‌ නෙමෙයි තණ්‌හා කළේ. ඒ සද්දය උපදවන්න ඒ එක්‌ක ම යෙදිල තියෙන කාරණා දහයක්‌ තියෙනව.

අනෙක්‌ අතට ඇහැට පෙනෙන රූපය විරාග ස්‌වභාවයට පමුණුවන්න විරාග ස්‌වභාවයට අනුව බලන්න උත්සාහවත් වෙන කොට රූපයට විතරක්‌ නෙමෙයි ඒ එක්‌ක යෙදිල තියෙන කාරණා දහයට ම විරාගයි කියල දකින්න.

පෙනෙන රූපයේ විතරක්‌ අනිත්‍ය දුක්‌ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරනව නම් මේ කාරණා දහයෙ ම අනිත්‍ය හැටියට, දුක්‌ හැටියට, අනාත්ම හැටියට දකිනව. ඒ කාරණා දහයෙ ම තණ්‌හාව නෑ. ඒකෙ ප්‍රතිඵලය තමයි දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනවා කියන එක සාක්‌ෂාත් වීම. එතකොට භවය නෑ. නිමිති හිටින්නෙ නෑ. ඒ විදියට දකින දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනවා ය කියන එකේ එළඹ සිටියොත් තමයි භවය නැති වෙන්නෙ. දැකපු දේ තියෙනවා ය කියන මතකය හිටින්නෙ නැහැ. එහෙම වුණොත් තමයි මරණාසන්න මොහොතෙ යන්න එකක්‌ නැති වෙන්නෙ.

භවය නැති වෙන්න නම් උපාදානය නැති වෙන්න ඕන. ඒ කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙන්න ඕන. දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙන්න නම් පෙනෙන දේ අනිත්‍ය දෙයක්‌, දුක්‌ දෙයක්‌, අනාත්ම දෙයක්‌ කියල පෙනෙන්න ඕන. පෙනෙනව කියන තැන දි අසිහිය නැහැ. අනිත්‍ය දෙයක්‌ දුක්‌ දෙයක්‌ අනාත්ම දෙයක්‌ කියල පෙනෙන දේ පෙනෙන්න නම් පෙනෙන දේ තුළ ඇත්ත අපි දකින්න ඕන.

මේකෙ දි තව කාරණාවක්‌ තමයි අපිට පුළුවන් නම් එක කාරණාවක්‌ දකින්න. මේ පංච උපාදානස්‌කන්ධ ලෝකය කියන එක. මම කෙටියෙන් කියන්නම්. හැම වෙලාවෙ ම අපි හැම කෙනෙක්‌ ම ඉන්නෙ ඇහැත් රූපයත් අතරෙ. කනත් සද්දයත් අතරෙ. අපිට යම් වෙලාවක දි ඇහැත් රූපයත් දෙන්න ම එක පැත්තකට දාලා එයින් අහකට යන්න පුළුවන් වුණොත් තමයි අපි ලෝකෝත්තර කියන්නෙ. පුළුවන් වෙයි ද එහෙම?

ඒ කියන්නෙ මෙන්න මෙහෙම ධර්මතාවක්‌ තියෙන්නෙ. මේ ඇහෙන් යම් රූපයක්‌ අපි බලනකොට අපිට රූප පෙනෙන්නෙ බාහිර රූප තියෙන හින්ද ම නෙමෙයි. බාහිර තියෙන්නෙ ක්‌ෂුද්‍රdෂ්ටක කියල රූප කලාප වශයෙන්. එහෙම තියෙන තැනක කර්මයට හැදුණු මේ ඇහේ හැකියාව තමයි මේ වගේ සටහනක්‌ පෙන්නන එක.

හරියට උපමාවකින් කියනව නම් නිල් පාට වීදුරුවකින් බාහිර සුදු පාට යමක්‌ බැලුවොත්? අපිට පෙනෙන්නෙ නිල් පාට රූප. ඒ බාහිර නිල්පාට රූප තියෙනවට නෙමෙයි. අපි බලන වීදුරුවෙ හැටි තමයි මෙහෙම පෙන්නන එක. මේ ඇහැට එපිටින් තියෙන වස්‌තූන් පෙන්නන්නෙ බලන්න වෙන්නෙ මේ ඇහැ හරහා. හිතෙන් තමයි අපි මේ ලෝකය බලන්නේ. හිත ඇහැටත් ඔබ්බෙන් තියෙන්නෙ.

ඇහැ උපකාරයක්‌ විතරයි බාහිර අරමුණු එක්‌ක සම්බන්ධ වෙන්න. බාහිර අරමුණු එක්‌ක සම්බන්ධ වෙන්න කන උපකාරයක්‌. කෙටියෙන් එක දෙයක්‌ මතක්‌ කරනව. අපි හිතාගෙන ඉන්නෙ තියෙන දේ ම පෙනෙනව, පෙනෙන දේ ම තියෙනව කියල. නමුත් ඇත්ත තමයි පවතින දේ අපිට පෙනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දේ පවතිනව නෙමෙයි.

නිල් පාට වීදුරුවකින් අපි බලනකොට පවතින්නෙ සුදු පාට. පෙනෙන්නෙ නිල් පාට. පවතින දේ පෙනෙන්නෙ නැහැ. පෙනෙන දේ පවතිනව නෙමෙයි. මේ වීදුරුවෙ හැටි එහෙමයි.

මිරි`ගුව දිහා මේ ඇහින් බලන කොට ජලය තියෙනව වගේ පෙන්නයි. තියෙන්නෙ මිරි`ගුව. පෙනෙන්නෙ ජලය. පෙනෙන දේ තියෙනව නෙමෙයි. තියෙන දේ පෙනෙනව නෙමෙයි. මෙන්න මේ ස්‌වභාවය යම් දවසක දි දැක්‌කොත් තේරුම් කරගත්තොත් මේ ආධ්‍යාත්මික සවිඥානක කයෙත් බාහිර සියලු නිමිතිවලත් අහංකාර, මමිංකාර, මානානුසය සම්පූර්ණයෙන් ම නැති වෙනව.

අන්න එදාටයි දැකපු දේ දැකීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනව, අහපු දේ ඇහීමෙන් පස්‌සෙ නිරුද්ධ වෙනව කියන තැනකට පත් වෙන්නෙ. එහෙම පත් වුණොත් අනිමිත්ත බව එළඹ සිටිනව. භවය නැති වෙනව. මේ නාම රූප දෙක පිරිසිඳ දැකල තණ්‌හාව නැති වෙන තැනට අපිව අරගෙන යන්න තියෙන ගමන් ම`ග තමයි මේ සතිපට්‌ඨාන සූත්‍රය.

හඳ ගැන ඕන තරම් අපිට අහන්න පුළුවන්. හඳේ ආවාට තියෙනව, මේ මේ දේවල් තියෙනව කියල කියන්න පුළුවන්. නමුත් අපි කාට වත් හැබැහින් දකින්න පුළුවන් ද? යන්න පුළුවන් ද? යන්න ක්‍රමයක්‌ නෑ. වාහන නෑ.

අන්න ඒ වගේ දුකත් සමුදයත් නිරෝධයත් ගැන අහන්න පුළුවන්. දැනගන්න පුළුවන්. නමුත් යන්න තියෙන වාහනය වගෙයි මේ සතර සතිපට්‌ඨානය. කොච්චර දැනගත්තත් එතනට යන්න බැරි නම් වැඩක්‌ තියෙනව ද? ඒ වගේ සමුදය දුරු කරල නිරෝධය සාක්‌ෂාත් කරගන්න යන්න කියෙන ම`ග සතිපට්‌ඨාන සූත්‍රය. ඒ නිසයි එක ම ම`ගයි කියල බුදුරජාණන්වහන්සෙ දේශනා කළේ. මොකට ද? සත්ත්වයන් ගේ පිරිසිදු බව ඇති කරන්න. ඒ වගේ ම ඇ`ඩීම්, දුක්‌ දොම්නස්‌ නැති කරන්න. සෝක කිරීම්, වැළපීම් ඉක්‌මවන්න. මාර්ගඵල ලබන්න ඔය කාරණාවල් ළ`ගා කරගන්න තියෙන එක ම ම`ග. මේ මාර්ගය වඩමින් යනවා නම් ඒ කෙනා ඒකාන්තයෙන් දුකින් මිදෙනව.

ඒ නිසා හැම දෙනා ම බොහෝ ම ආදරයෙන් ජීවිතය කරගෙන මේ දහම වඩාගන්නට ඕන. පිංවතුනි, මේ දීර්ඝ සංසාරයේ අපි හැම කෙනෙක්‌ ම බොහෝ කල් ආවා. ඒ මේ අත බොහෝ සැරිසැරුව, දිව්වා. අපිව බේරගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. තමාට පිහිට තමාමයි. වෙන කාගෙ වත් පිහිටක්‌ නෑ.

ලොව්තුරා බුදුරජානන්වහන්සෙ ජීවමාන ව වැඩ ඉන්නවා වගේ මේ ධර්මය තියෙනව. අප්‍රමාදීව මේ ධර්මය ජීවිතයට ළං කරගෙන මේ ජීවිතයේ දී ම මේ ජරා මරණ දුකින් එතෙර වන්නට ඕන කියල එක ම හිතෙන් මේ දහමෙ ආදරයෙන් හැසිරෙන්න යොදාගන්න.

සසරෙ දි ඕන තරම් ගෙවල් හදන්න ඇති, දරුවො හදන්න ඇති, යානවාහන ගන්න ඇති. ඒ වුණාට එක ජීවිතයක දි වත් අපිට දුකින් මිදෙන්න බැරි වුණා. බුද්ධොත්පාද කාලයත් තියෙන, මනුෂ්‍ය උත්පත්තියත් තියෙන මේ එක ම එක ජීවිත කාලෙ විතරක්‌ ශාසනේට පූජා කරන්න. ඕනෙ නම් පහු කාලෙ දි ආපහු ගෙවල් හදන්න. දරුවො හදාගන්න. මේ ජීවිතේ දි විතරක්‌ බලන්න. එපමණකින් ම දුකින් මිදෙයි.

ඉතින් මේ පිංවතුන්ට මේ දුක්‌ සහගත සසරින් එතෙර වෙලා උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න යම් පමණකින් හෝ මේ අවබෝධය හේතු උපනිශ්‍රය ම වේ වා කියන කළණ අදහස්‌ ඇති ව, කළණ සිත් ඇති ව මගේ මේ දේශනාව අවසන් කරනව.

අද කාලයේ මාර්ගඵල දුරස්‌ වීමට හේතුව පටිච්ච සමුප්පාදය අර්ථ විවරණය කරගැනීමේ දී සිදු ව ඇති අඩුපාඩුවක්‌ ද?

මාන්කඩවල සුදස්‌සන හිමියන් විසින් මෑතක දී පවත්වන ලද පටිච්ච සමුප්පාදය පිළිබඳ විශේෂ විවරණයක්‌ සහිත ධර්ම දේශනාවක්‌ ලබන සතියේ සිට බුදුමඟ තුළින් බලාපොරොත්තු වන්න.

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

කෙලෙසුන් ගෙන් මිදීමට තවත් කමටහන් දෙකක්‌

නිවන් දකින්න, ආස්‍රවයන් ගෙන් මිදෙන්න, කෙලෙසුන් ගෙන් මිදෙන්න, බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තව කමටහනක්‌ දේශනා කරනව. ඒ, බොජ්ජංග ධර්මයන් ගැන. බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව, මහණෙනි නැවත ද අනෙකක්‌ කියමි.

මහණ තෙම සප්ත බොජ්ජංග ධර්මයන්හි ධම්මානුපස්‌සීව වාසය කරනව. කොහොම ද භික්‌ෂුව මේ බොජ්ජංග හතේ ධම්මානුපස්‌සීව වාසය කරන්නෙ?

පළමුවැන්න සති සම්බොජ්ජංගය. හැම වෙලාවෙ ම තමන් ගෙ මනස පැත්තට නැඹුරු වෙල හොඳ අවධානයෙන් ඉන්නව – තමා තුළ සති සම්බොජ්ජංගය තියෙනව ද කියල හොඳට අවධානයෙන් ඉන්නව. එහෙම ඉන්නකොට තමන්ට තේරෙනව මම දැන් සිහිය අතහැරිල නේ ද ඉන්නෙ. සිහිය ගැන හොඳ අවධානයෙන් ඉන්නකොට තේරෙනව දැන් සිහියෙන් ඉන්නෙ කියල. නැත්නම් මෙච්චර වෙල සිහිය නැතිකමින් හිටියෙ කියල තේරෙනව. හැම වෙලාවෙ ම තමන් සිහියෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තියෙන්න ඕන.

විරිය සම්බොජ්ජංගය කියන්නෙ තමන් කෙලෙස්‌ තවාගන්න ඕන කියන උත්සාහයෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තබාගැනීම.

ධම්මවිචය තියන්නෙ නිතර ම දහමක්‌ සම්මර්ශනය කරමින්, දහම් කරුණු නුවණින් විමසමින් ද ඉන්නෙ කියන කාරණාවට සිහියෙන් ඉන්න ඕන.

ඊට පස්‌සෙ පීති බොජ්ජංගය කියන්නෙ තමන් තුළ නිරාමිස ප්‍රීති ස්‌වභාවයක්‌, ධර්මයෙන් යුක්‌ත නිරාමිස සතුටක්‌ ඇති ස්‌වභාවයක්‌ තිබෙනව ද නැද්ද කියන එක ගැන සිහියෙන් ඉන්න ඕන.

ඒ වගේ ම පස්‌සද්ධිය කියන්නෙ ධර්මය නිසා ම කයේ සන්සිඳුණ ගතියක්‌, රළු බව අඩු වෙච්ච ගතියක්‌ තමා තුළ තියෙනව ද නැද්ද කියල හොඳට සිහියෙන් ඉන්න ඕන.

ඊළගට සමාධි – තමා තුළ චිත්ත සමථයක්‌ තියෙනව ද නැද්ද කියල සිහියෙන් ඉන්න ඕන.

උපෙක්‌ඛා – තමා තුළ උපේක්‌ඛා ස්‌වභාවයක්‌ තියෙනව ද නැද්ද කියල හොඳ සිහියෙන් ඉන්න ඕන.

මෙන්න මේ විදියට ඉන්න කොට තමන් තුළ සිහිය අතහැරිල ඉන්නෙ කියල කොයි වෙලාවක හරි දැනගත්තොත් ඒ මොහොතෙ දි ම සති නිමිත්තකට පැමිණිල සතිමත් වෙන්නට ඕන.

විරිය, පීති, ධම්මවිච, කියන සම්බොජ්ජංග තුන හිත නගා සිටුවන්නයි තියෙන්නෙ. පස්‌සද්ධි, සමාධි, උපේක්‌ඛා කියන සම්බොජ්ජංග තුන අරමුණු සංසිඳුවන්නයි තියෙන්නෙ.

ගින්නක්‌ අවුළුවන්න ඕන වෙනකොට තෙත දර දාලා බෑ. වියළි දර ම දාන්න ඕන. ගින්නක්‌ නිවන්න ඕන වෙනකොට වියළි දර දාලා හරියන්නෙ නැහැ තෙතමනය තියෙන්න ඕන. අන්න ඒ වගේ හිතේ විසිරුණු ගතිය වැඩි වෙලාවෙ දි ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය වඩන්න එපා. එවැනි විටක වැඩිය යුත්තේ පස්‌සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්‌ඛා සම්බොජ්ජංගයයි.

නිදිබර ගතිය වැඩි වෙලාවට, සිත සැගවිච්ච වෙලාවට පස්‌සද්ධි, සමාධි, උපේකඛා තුන අතහරින්න. විරිය, ධම්ම විචය, පීති කියන සම්බොජ්ජංග තුන ඇසුරු කරන්න.

මේ විදියට කරගෙන යනකොට මෙතන මෙනෙහි කරන්නෙක්‌ නැත, සත්ත්ව පුද්ගල නො වූ බොජ්ජංග ධර්ම පමණක්‌ ඇත කියන නුවණත් ඇති වෙනව. මේ ධර්මතා මගේ නැත්නම් තව කෙනෙක්‌ ගෙ කියල ගන්නෙ නැහැ.

ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන්ට ප්‍රීති ප්‍රමෝදය උපදිනව. ඒ නිසා ම හිත කය සන්සිඳිලා, සැපසහගත වෙලා, හිත සමාධි වෙලා, ඇත්ත ඇති සැටියෙන් දැකලා, කලකිරිලා, නො ඇලිලා, ආස්‍රවයන් ගෙන් කෙලෙසුන් ගෙන් මිදෙනව.

ඊට පස්‌සෙ බුදුරජාණන්වහන්සෙ මේ සංසාරයෙන් එතෙර වීම සඳහා චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්න කියල දේශනා කරනව. කොහොම ද චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්නෙ?

මේ දුකයි කියල ඇත්ත ඇති හැටියෙන් දකිනව. මේ දුක්‌ඛ නිරෝධගාමිනී පටිපදාවයි කියල දකිනව. චතුරාර්ය සත්‍යය සිහි කරන්න සිහිය යොමු කිරීමයි මෙතන දි වෙන්නෙ. දවස පුරා ම කොයි වෙලාවෙත් චතුරාර්ය සත්‍යය අවබෝධ වන විදියට තමයි නිමිත්ත හසුරුවන්නෙ. එක්‌කො කුමක කුමන ඉරියව්වක හෝ හෝ දුක්‌ඛ සත්‍යය බලමින් ඉන්නව. සමුදය සත්‍යය ප්‍රකට කරගන්න බලනව. නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය ප්‍රකට කරගන්න බලනව. මේ ධර්මතා හතර අවබෝධ කරගැනීම සඳහා හිත නැඹුරු කරගෙනමයි ඉන්නෙ. චතුරාර්ය සත්‍යය සතිපට්‌ඨානය කරගෙනයි ඉන්නෙ. සිහිය පිහිටුවන්නෙ මේ සත්‍ය හතරේ.

මෙනෙහි කරන දුක මොකක්‌ ද? ඉපදීම, ලෙඩ වීම, මහලු බව, මරණය, අප්‍රියයන් හා එක්‌ වීම, ප්‍රියයන් ගෙන් වෙන් වීම, හිතන දේ නො ලැබීම වගේ මෙන්න මේව තමයි දුක්‌. මෙතන දි හොඳට තේරුම් කරගන්න ඕන මේ දුකයි කියල නුවණින් තමයි දැනගන්න ඕන. ඒ කියන්නෙ දුක කියන එක නුවණින් අවබෝධ කරගන්න දුක්‌ විඳින්න ඕනමයි කියල දෙයක්‌ නැහැ. අනුරුද්ධ මහ රහතන් වහන්සෙ කියන්නෙ ගිහි කාලෙ දි නැත කියන වචනය වත් අහල නැති කෙනෙක්‌. රජ ගෙදර හැදුණු ඒ වගේ අයත් ඒ ඔක්‌කොම සම්පත් ජරා මරණයන් ගෙන් යුක්‌තයි කියල දුක අවබෝධ කරගත්ත. සැපයි කියල හිතන බ්‍රහ්මයා කියන තැනත් දුකයි කියන නුවණ අපිට තියෙන්න ඕන.

අපේ ඉස්‌සරහ මල් වට්‌ටියක්‌ තියෙනව් නම් මෙන්න මේකත් ජාතිය, ව්‍යාධිය, මරණය ශෝක, පරිදේව, උපායාස ස්‌වභාව කොට ඇති බව අපිට තේරෙන්න ඕන. අන්න එවිටයි දුක දන්නව කියන්නෙ. මේ මල් වට්‌ටියෙ දුක නැහැ. ඒත් මල් වට්‌ටිය නිසා දුක එන්න පුළුවන්. මේ මල් වට්‌ටියට තණ්‌හා කෙරුවොත් ඒ තණ්‌හාව නිසා ආපහු අපි උපදින්න බැරි ද? පුළුවන්. ඉපදුණොත් ලෙඩ වෙනව, මහලු වෙනව, මරණයට පත් වෙනව. ඒ ඔක්‌කොම දුක්‌ ආවෙ ඉපදුණ නිසයි. ඉපදුණෙ තණ්‌හාව නිසයි. තණ්‌හාව ඇති වෙන්න හිතෛෂී වුණේ නැද්ද මල් වට්‌ටිය? එහෙනම් දුකට හිත වූවක්‌ මිස නිවනට හිත වූවක්‌ නෙමෙයි නේ ද මේ මල් වට්‌ටිය? අපිව දුකට පත් කරන්න වෙනත් විදියකට පෙනී හිටින දෙයක්‌ මේ. මෙයා දුක හැටියට ම පෙනී හිටියොත් අපි ඇලෙන්නෙ නැහැ. සැප හැටියට පෙනී ඉඳිමින් දුකට ගෙනියන එකයි කරන්නෙ. කෙළින් ම ඇති වන දුකට වඩා කපටියි. දුකයි සැපයි දෙක ම දුකයි කියල තේරෙන්න ඕන.

ඊට පස්‌සෙ දුක්‌ඛ සමුදය සත්‍යය. දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය කියන්නෙ මොකක්‌ ද? කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හා කියන මෙන්න මේ තුන් තණ්‌හාවයි දුක ඇති වෙන්නට තියෙන හේතුව. ඒ තණ්‌හාව උපදින්නෙ කොහෙ ද? පවතින්නෙ කොහෙ ද? ලෝකයේ යමක්‌ ප්‍රියයි නම් මධුරයි නම් තණ්‌හාව උපදින්නෙ එහියි. තණ්‌හාව පවතින්නෙ එහියි. එතකොට ලෝකයේ මොනව ද ප්‍රිය? මොනව ද මධුර?

තණ්‌හාව උපදින තණ්‌හාව පවතින කාරණා 60ක්‌ බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව. ආධ්‍යාත්මික ආයතන හයයි – ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. බාහිර ආයතන හයයි – රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම. විඤ්ඤාණ හයයි – චක්‌ඛු, සෝත, ඝාන, ර්ව්හා, කාය, මනෝ විඤ්ඤාණ. ස්‌පර්ශ හයයි – චක්‌ඛු සම්පස්‌සය, සෝත සම්පස්‌සය, ඝාන සම්මපස්‌සය, ජිව්හා සම්පස්‌සය, කාය සම්පස්‌සය, මනෝ විඤ්ඤාණ සම්පස්‌සය. වේදනා හයයි – චක්‌ඛු සම්පස්‌සජා වේදනා, සෝත සම්පස්‌සජා වේදනා, ඝාන සම්පස්‌සජා වේදනා, ජිව්හා සම්පස්‌සජා වේදනා, කාය සම්පස්‌සජා වේදනා, මනෝ සම්පස්‌සජා වේදනා. සංඥා හයයි – රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම සංඥා. චේතනා හයයි – රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්‌ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. තණ්‌හා හයයි – රූප තණ්‌හා, ශබ්ද තණ්‌හා, ගන්ධ තණ්‌හා, රස තණ්‌හා, පොට්‌ඨබ්බ තණ්‌හා, ධම්ම තණ්‌හා. විතක්‌ක හයයි – රූප විතක්‌ක, ශබ්ද විතක්‌ක, ගන්ධ විතක්‌ක, රස විතක්‌ක, පොට්‌ඨබ්බ විතක්‌ක, ධම්ම විතක්‌ක. විචාර හයයි – රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්‌ඨබ්බ විචාර, ධම්ම විචාර.

මෙන්න මේ කාරණා හැටේ ම තණ්‌හාව උපදින්න පුළුවන්, පවතින්න පුළුවන්.

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

ආයතන පිරිසිඳ දැක සසරින් මිදෙන මග

නිවන් දකින්න උපකාර පිණිස බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් කමටහනක්‌ පෙන්නනව. ආධ්‍යාත්මික, බාහිර ආයතන ධර්මානුකූලව නුවණින් බලමින් වාසය කරන්න කියල. කොහොම ද ආධ්‍යාත්මික බාහිර ආයතන ධර්මානුකූලවබලමින් වාසය කරන්නෙ?

චක්‌ඛුඤ්ච පජානාති, ඇහැ දැනගන්න, රූපෙච පජානාති, රූපය දැනගන්න. මේ දෙදෙනා නිසා යම් සංයෝජනයක්‌ උපදිනව නම් ඒකත් දැනගන්න. නූපන් සංයෝජනය උපදින හැටිත්, උපන් සංයෝජනය දුරු කරන හැටිත්, නූපන් සංයෝජනය නූපදවන හැටිත් දැනගන්න.

මෙතන දි මම එක ආයතනයක්‌ දීර්ඝ වශයෙන් විස්‌තර කරන්නම්. ඒ අනුසාරයෙන් ඉතුරු ආයතන ටික ඔක්‌කොම දැනගන්න. චක්‌ඛුඤ්ච පජානාති කියපු න්‍යාය මයි. අර්ථය ඒ සමාන මයි.

පජානාති කියන්නෙ නුවණින් දැනගන්න ඕන කියන එක. කොහොම ද අපි ඇහැ දැනගන්න ඕන? අපි දන්නා වූ, අපි දක්‌නා වූ, අපි හිතාගෙන ඉන්න විදියට නෙමෙයි. බුදුරජාණන්වහන්සෙ දේශනා කරනවා ඇහේ නියම ස්‌වභාවය. අන්න ඒ විදියට යම් කිසි කෙනෙක්‌ දන්නව නම් තමයි චක්‌ඛුඤ්ච පජානාති කියන්නෙ. ඇත්ත ඇති හැටියෙන් දැක්‌කමයි අපට බොරුව අහු වෙන්නෙ. මේක තමයි සංයෝජනය කියල අහුවෙන්නෙ එතකොටයි.

ඇහැ කියන්නෙ සතර මහා ධාතූන් නිසා හටගත්ත උපාදාය වූ රූපයක්‌. ඒක ආධ්‍යාත්මිකයි. අනිදස්‌සනං, කවදා වත් දකින්න බැරි එකක්‌. අතීතයෙ දි අපිට අපේ ඇහැ පෙනිලත් නැහැ. දැන් ද ඇහැ පෙනෙන්නෙ නැහැ. ඇහෙන් හැම දෙයක්‌ ම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ බලන්න පුළුවන් ද? බැහැ. එතකොට හොඳට තේරුම් කරගන්න ඕන ඇහැ කියන එක කවදා වත් ම දැකල නැති බව.

ඊට පස්‌සෙ ඇහැ කියන එක පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතු ව ම නැති වෙන එකක්‌. ඇහැ කියන එකේ ලක්‌ෂණ තමයි, ආධ්‍යාත්මිකයි, ඒ කියන්නෙ තමා තුළ පවතින එකක්‌. දකින්න බැරි එකක්‌. ගැටෙන එකක්‌, පෙර නො තිබී ම හටගන්න එකක්‌. ඉතුරු නැතු ව ම නැති වෙන එකක්‌. අවිද්‍යාවෙන් හටග්න්න, කර්මයෙන් හටගන්න, තණ්‌හාවෙන් හටගන්න, ආහාරයෙන් හටගන්න එකක්‌ කියල බුදුරජාණන්වහන්සෙ පෙන්නුව.

ඊට පස්‌සෙ රූපෙච පජානාති, බාහිර රූපය නුවණින් දකින්න. බාහිර රූපය කියන කොට සතර මහා ධාතූන් ගේ උපාදාය රූපයක්‌ වූ, සනිදස්‌සනං, දකින්න පුළුවන්. නිල් කහ රතු කොළ වගේ නොයෙක්‌ වර්ණ පෙනෙන බව උදාහරණයක්‌. ඒ රූපයෙ ස්‌වභාවයත් පෙර නො තිබී ම හටගන්නව, ඉතුරු නැතු ව ම නැති වෙනව. ඒ රූපය බාහිරයි. එය ද අවිද්‍යා, කර්ම, ආහාර කියන ප්‍රත්‍යයන් ගෙන් හටගත් එකක්‌ කියල උන්වහන්සෙ පෙන්නුව.

දැන් එතන දි පොඩි ධර්මතාවක්‌ තියෙනව බලන්න. මේ රූපය කියන එක වර්ණ සටහනක්‌. වර්ණ රූපයක්‌. රූපංච පජානාති කියනකොට රූපය වර්ණ සටහනක්‌ කියල තේරුම් ගන්න ඕන.

මෙන්න මේ ඇහැයි රූපයයි දෙදෙනා තේරුම් ගත්තහම පුළුවන් ඒ දෙදෙනා නිසා උපන්න සංයෝජනය හඳුනගන්න. ඇහැට පෙනෙන්නෙ අර කියපු විදියේ රූපයක්‌ විතර මයි. මෙතන දි රූපය කියනකොට බිත්තියක ඇඳපු මහ විශාල චිත්‍රයක්‌ වගේ. චිත්‍රයක්‌ කියන්නෙ වර්ණ සටහනක්‌. දැන් ඔය චිත්‍රය ඇතුළෙ නොයෙක්‌ නොයෙක්‌ බඩුමුට්‌ටු තියෙන්න පුළුවන් ද? ගෙවල් දොරවල්, ළිං, කළ, මුට්‌ටි, මිනිස්‌සු තියෙන්න, ඉන්න පුළුවන් ද? චිත්‍රයක්‌ ඇතුළෙ ඉන්න පුළුවන් ද බැරි ද? ඉන්න බැහැ. චිත්‍රෙ නම් චිත්‍රෙ ම නෙ?

ඔන්න බලන්න බුදුරජාණන්වහන්සෙ පෙන්නනව, මේ ලෝකෙ චිත්‍ර මිස කාමය නෙමෙයි. සංකප්ප රාගො පුරිසස්‌ස කාමො, කාමය කියල කියන්නෙ පුද්ගලය ගෙ සංකල්පනාව. සංකල්ප වශයෙන් උපදින රාගයයි කාමය. දැන් විශාල චිත්‍රයක්‌ තියෙනව නම් මේ චිත්‍රය දිහා බලාගෙන අන්න ගහක්‌, අන්න මනුස්‌සයෙක්‌ කියල අපිට හිතන්න බැරි ද? පුළුවන්. මනුස්‌සයෙක්‌ ගහක්‌ කියල හිතුවට එතන චිත්‍රයට මොකද වුණේ? චිත්‍රය චිත්‍රය මයි. චිත්‍රයට ගහක්‌ හෝ මනුස්‌යෙක්‌ ඉන්නව ද? නැහැ. චිත්‍රය ගහක්‌ හෝ මනුස්‌සයෙක්‌ හෝ කරන්නෙ කවුද? අපි. කාමය කියන්නෙ සංකප්ප රාග වශයෙන් උපදවගන්න එකක්‌.

අපි හිතමු මේ මොහොතෙ දි අපිට මේ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයකට නඟල එල්ලුවොත්, ඔය ඡායාරූපයෙ සත්ත්වයො හෝ පුද්ගලයො හෝ ඉන්න පුළුවන් ද? බැහැ. එහෙනම් මේ දැනුත් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක්‌. මේ ෆොටෝ එකේ ඇතුළ ඇත්ත වෙලා, සත්ත්වයෝ පුද්ගලයෝ මේ ෆොටෝ එකේ ඉන්නව කියල අපිට දැනෙන මට්‌ටමට තමයි සංයෝජන කියන්නෙ. කාම රාග සංයෝජන.

අර බිත්තියෙ ඇඳපු චිත්‍රය ඇතුළෙ මිනිස්‌සු ගෙවල් දකින්න පුළුවන් නෙ. ඒ විදිය මයි මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න ”චිත්‍රය” ඇතුළෙත් අපි මනුස්‌සයො දකිනව, ගෙවල් දකිනව. මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න වෙලාවෙ දිත්, අර වෙලාවෙ දිත් සිද්ධිය එක මයි. එතකොට රූපෙච පජානාති කියනකොට හොඳට දැනගන්න ඕන ඇහැට පෙනෙන්නෙ වර්ණ සටහනක්‌ විතරමයි. ඒ වර්ණ සටහන පෙනෙන කොට මේ මනුස්‌සයෙක්‌, මේ ගහක්‌, මේ ගෙයක්‌ කියල ඒ ඒ හැඩ සටහන් හිතෙන් සිහි කරල, මිල කරල, බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි. චිත්‍රෙ ඇතුළෙ නොයෙක්‌ බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි නෙමෙයි ද? අපි තමයි. චිත්‍රෙ චිත්‍රෙ මයි. ඒ වගේ මේ දැනුත් චිත්‍රෙ වගේ කියල හඳුනගන්න.

කැමරාවක්‌ අරගෙන මේ වෙලාවෙ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයට නඟන්න බැරි ද? පුළුවන්. දැන් ඇහැට පෙනෙන මට්‌ටමයි කැමරා කාචයට අහු වුණේ. එහෙනම් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක්‌ විතර මයි. ෆොටෝ එක ඇතුළෙ පුද්ගලයො, සත්ත්වයො ඉන්නව කියන හැගීමක්‌ ඇති වෙනව නම් ඇති වෙල තියෙනව නම් ඇහෙන් බලන කොට සත්ත්තවයො පුද්ගලයො ඉන්නව කියල හැගීමක්‌ ඇති වෙනව නම් ඇති වෙලා තියෙනව නම් අන්න ඒක දැනගන්න, මොකක්‌ කියල ද? කාම රාග සංයෝජනය.

බුදුරජාණන්වහන්සෙ පෙන්නුව ඇහැ කවදාවත් දකින්න බැහැ. ඒ වගේ ම ඒක තමා තුළ වූවක්‌. ඒ වගේ ම පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතු ව නැති වෙනව කියල. ඇහේ ඇත්ත එහෙම පෙන්නුව ම අපිට තේරෙන්න ඕන ඇහැ බලන්න පුළුවන් කියල අපිට හිතෙන මට්‌ටමක්‌ තියෙනව නම් මෙන්න මේක තමයි සංයෝජනය කියල. ඉඳගන්න, හිටගන්න, නිදාගන්න, ඇවිදින හතර ඉරියව්වෙ දි ම ඇහැක්‌ තියෙනවා කියල දැනෙන මට්‌ටම තමයි සංයෝජනය.

ඇහැ පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්‌ වුණත්, ඇති බවට වැටහෙන එක තමයි කෙලේසය. අපේ ඇහැ බාහිරින් දකින්න පුළුවන් කියල හිතෙනව නෙ කණ්‌ණාඩියෙන් බලනකොට. එහෙම නැත්නම් ෆොටෝ එකකින් අපේ ඇහැ දකින්න පුළුවන් කියල හිතෙනව නේ. ඒ දකින්න පුළුවන් කියල හිතෙන ටික තමයි කෙලේසය. මෙන්න මේ විදියට ඇහැ ගැන තේරුම් කරගන්න ඕන.

අයොනිසො මනසිකාරය නිසා මේ සංයෝජන ඇති වෙනව. යොනිසො මනසිකාරය පැවැත්වීමෙන් සංයෝජන නැති කරන්න පුළුවන්. මේ විදියට ඇහෙන් පෙනෙන දේ වගේ ම කනට ඇහෙන දේත් සොතංච පජානාති, සද්දෙච පජානාති. සද්දයක්‌ ඇහුණොත් ඒකත් චිත්‍රයක්‌ වගේ. මේ ගිරවෙක්‌ ගෙ සද්දෙ, කපුටෙක්‌ ගෙ සද්දෙ, බල්ලෙක්‌ ගෙ සද්දෙ කියල ශබ්දය එක එක දේවලට හදන්නෙ අපි හිතෙන්. එතකොට තමයි සද්දෙ කාම වෙන්නෙ.

අපි නිකමට කියමු අපිට මොනව හරි සද්දයක්‌ ඇහෙනව. අපේ භාෂාව නො තේරෙන අන් භාෂාවක කෙනකුටත් ඒ සද්දය ඇහුණොත්? සද්දය අහෙන මට්‌ටම, සොත විඤ්ඤාණය විඤ්ඤෙය (දැනෙන්න) වෙන මට්‌ටම දෙන්නට ම එකයි. ඒත් අසවලා මෙහෙම කිව්ව කියල මැවෙන්න දෙයක්‌ එයාට නැහැ. මේ සද්දය අරභයා අපි හදාගත් දේවල් තමා බල්ල ගෙ සද්දෙ, කපුට ගෙ සද්දෙ, ගිරව ගෙ සද්දෙ කියන එක. සද්දය “කෙනෙක්‌ ගෙ” කියල දැනුණොත් හොඳට දැනගන්න ඒ ශබ්දය අරභයා ඇති වූ සංයෝජනයයි.

ඒ වගේ ගන්ධය (නාසය), රසය (දිව), ස්‌පර්ශය (කය), ධර්මාරම්මණ (මනස) ඇතුළු ආයතන හය ම එහෙමයි. මෙන්න මේ විදියට ආයතන ටික ගැනත් දන්නව, ඒ නිසා ඇති වන සංයෝජන ගැනත් දන්නව. එතකොට සත්ත්ව නො වූ පුද්ගල නො වූ ආයතන ටික පමණක්‌ ඉතුරු වෙනව. මේ ආයතන හය ඇසුරු කරගෙන තමන් තුළ ඇති කරගත්තු සංයෝජන මාත්‍රයක්‌ විතරයි සත්ත්ව පුද්ගල ආත්ම කියන හැගීම කියල ආයතන ටික වෙන ම පැත්තකටත් සත්ත්ව පුද්ගල ආත්ම ස්‌වභාවය වෙන ම පැත්තකටත් එනව.

මෙන්න මේ විදියට තමන් තුළත් අනුන් තුළත් ආයතන ටිකේ ආයතන ලක්‌ෂණ හොඳට දැනගන්නව. ආයතන කෙනෙක්‌ ගෙ ය, ආයතන කෙනෙක්‌ ය කියන හැගීම මනස පිළිබඳ වූවක්‌. ඒක සංයෝජනයක්‌ කියල ඒ ධර්මතා ටික වෙන ම දකිනව. මේ විදියට ආයතන ටිකයි සංයෝජන ටිකයි වෙන වෙන ම දැක්‌කහම මේ ආයතන කිසිවක්‌ සත්ත්වයෙක්‌ හෝ පුද්ගලයෙක්‌ කියල ගන්නෙ නැහැ. ඇහැ මගේ රූපෙ මගේ කියල ගන්නෙ නැහැ. ඇහැ වෙනමත් මගේ කියන හැගීම වෙනමත් තේරෙනව. ආයතන ටික වෙන ම දැක්‌කහම සංයෝජන වෙන ම දැක්‌කහම ඒ ස්‌කන්ධ ටිකත් කෙලෙස්‌ ටිකත් වෙන් වෙන් කරල තේරෙනව. එතතකොට කෙලෙසුන් ගෙන්, සංයෝජනයන් ගෙන්, හැගීම්වලින් මේ ආයතන ටික පරාමර්ශනය කරන්නෙ නැහැ. ආයතනයන් ගේ ආයතන ලක්‌ෂණ පමණක්‌ ඉතුරු වෙලා සත්ත්ව පුද්ගල හැගීම මනෝ විඤ්ඤාණ සම්පස්‌සයෙන් උපදින හැගීම් මාත්‍රයක්‌ ය කියන නුවණ ඇති වුණහ ම මේ ධර්මතා දෙක වෙන් වෙනව.

ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන් ගෙ හිතට ලොකු ප්‍රීතියක්‌ ලොකු ප්‍රමෝදයක්‌ ඇති වෙනව. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා ම හිත කය දෙක සංසිඳිල, සැප සහගත වෙල, හිත සමාධිගත වෙලා, ඇත්ත දැකල කලකිරිලා, කෙලෙසුන් ගෙන් ආස්‍රවයන් ගෙන් මිදෙනව.

මෙන්න මේ විදියට ආයතනයන් පිරිසිඳ දැකලත් මේ සසරින් මිදෙන්න හැකි බව බුදුරජාණන්වහන්සේ දේශනා කළා.

පූජ්‍ය මාන්දන්කඩවල සුදස්‌සන හිමියන්ගේ ධර්ම දේශනයක්‌ ඇසුරිණි.