Category Archives: Dharma Deshana

සම්මාදිට්ඨි සූත්‍රය – තණ්හා වාරය

මෙය අපගේ අලුත්ම පොතේ පළවීමට නියමිත කොටසකි

නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස

෴ සම්මාදිට්ඨි සූත්‍රය – තණ්හා වාරය෴

යථො ඛො අවුසො අරියසාවකො තණ‍්හඤ‍්ච පජානාති. තණ‍්හසමුදයඤ‍්ච පජානාති. තණ‍්හනිරෝධඤ‍්ච පජානාති. තණ‍්හනිරෝධගාමිනී පටිපදඤ‍්ච පජානාති. එත‍්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම‍්මාදිට‍්ඨි හොති. උජුගතාස‍්ස දිට‍්ඨි ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො ආගතො ඉමං සද‍්ධම‍්මං’ති.

ධර්මශ්‍රවණාභිලාශී ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ සම්මා දිට්ඨි සූත්‍රය ආශ්‍රිතව කරන මේ සසර දුක් ගිනි නිවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා සියලු දෙනා ඔය කය නිසල ව තියනවා වගේ හිතත් නිසල කර ගෙන නොයෙක් අරමුණු වල හිත දුවන්නට නො දී බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න.

අද දවසෙ දී සම්මා දිට්ඨි සූත්‍රයේ, ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කල අටවැනි පරියාය නැත්නම් අට වෙනි ක්‍රමය වූ තණ්හා වාරය ගැනයි අපට අවබෝධ කර ගන්න තියෙන්නේ. එදා සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උපාදානය පිළිබඳ පවතින ධර්මය දේශනා කරලා, ඒ දේශනාව ශ්‍රවණය කල භික්ෂූන් වහන්සේලා එයින් බොහොම සතුටට පත් වෙලා, පැහැදීමට පත් වෙලා, නැවතත් ඒ ස්වාමීන් වහන්සේලා සැරියුත් මහ රහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. “ඇවැත්නි සාරිපුත්ත ස්ථවිරයන් වහන්ස, බොහොම හොඳයි ඔබ වහන්සේ දේශනා කල සම්මා දිට්ඨිය ඇති වීම පිණිස පවතින ක්‍රමය. ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති වීම පිණිස ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වුනා කියල කියන්න පුළුවන් තව ක්‍රමයක් එහෙම තියනව ද?” කියල.

ඒ වෙලාවෙ දී සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා, ඇවැත්නි, එහෙම ක්‍රමයක් තියනවා. “යථො ඛො අවුසො අරියසාවකො තණ‍්හඤ‍්ච පජානාති – ඇවැත්නි, යම් කලක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ තණ්හාව කුමක් ද කියල දන්නවා නම්, තණ‍්හසමුදයඤ‍්ච පජානාති, තණ්හාවේ ඇති වීම කුමක් ද කියල දන්නවා නම්, තණ‍්හනිරෝධඤ‍්ච පජානාති, තණ්හා නිරෝධය කුමක් ද කියලත් දන්නවා නම්, තණ‍්හනිරෝධගාමිනී පටිපදඤ‍්ච පජානාති, තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක් ද කියල දන්නවා නම් මෙන්න මෙපමණකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඇද නැති, පළුදු නැති, සෘජු බවට ගිය එකක් වෙනවා. මේ ධර්මයේ අර්ථය, ගුණය දැන ගෙන පැහැදුණ කෙනෙක් වෙනවා. ඒ වගේම මේ සද්ධර්මයට ආපු, ආර්‍ය්‍ය භූමියට ආපු කෙනෙක් කියලා කියන්නත් පුළුවන්” කියලා පෙන්නුවා. ඒ කියන්නේ දර්ශන සම්පන්න පුද්ගලයෙක්, දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා තණ්හාව කියලා කියන්නේ කුමක් ද කියලා දන්නවා නම්. එතකොට තණ්හාව කියලා කියන්නේ කුමක් ද කියන කාරණාව, තණ්හාව ඇතිවෙන්නේ කොහොමද කියන කාරණාව, තණ්හාව නැති වෙන්නේ කොහොමද කියන කාරණාව ගැනත් අපි පොඩ්ඩක් සම්මර්ශනය කරල බලමු.

එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියලා පෙන්නන කොට සැරියුත් මහ රහතන් වහන්සේ ම ආපහු ප්‍රශ්නයක් අහනවා මෙතන දී, “ඇවැත්නි තණ්හාව කියලා කියන්නේ කුමකට ද?, තණ්හාවට නිධානය වූ තණ්හාව ඇතිවුන හේතු කාරණාව කුමක් ද?, තණ්හාව නැති වෙන්නේ කුමන ධර්මයක් නැති වීමෙන් ද?, තණ්හාව නැති කරන්න‍ පුළුවන් මාර්ගය කුමක් ද?” කියල. සැරියුත් මහ රහතන් වහන්සේ ම ප්‍රශ්න කරල, සැරියුත් මහ රහතන් වහන්සේ ම ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, “ඡයිමෙ, ආවුසො, තණ්‌හාකායා” කියල. “මේ තණ්හාව කොටස් හයක් තියනවා. කුමක් ද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා. මෙන්න මේ හය ආකාර තණ්හාවට තමයි තණ්හාව කියලා කියන්නේ කියලා” පෙන්නුවා. ඊට පසුව, වෙදනාසමුදයා තණ්‌හාසමුදයො, එතකොට වේදනා හේතුවෙන් තණ්හාව ඇතිවෙනවා. වෙදනානිරොධා තණ්‌හානිරොධො, වේදනාවේ නැති වීමෙන් තණ්හාව නැති වෙනවා. අයමෙව අරියො අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො තණ්‌හානිරොධගාමිනී පටිපදා, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය තණ්හාව නැති කරන ප්‍රතිපදාවයි කියල සැරියුත් මහ රහතන් වහන්සේ එදා දේශනා කලා.

එතකොට පින්වතුනි, තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව දන්නවා නම් කොහොමද පින්වතුනි අපි තණ්හාව දැන ගන්නේ? එක මොනවාගේ එකක් ද?. පින්වතුනි අපට තණ්හාව කියන විට බොහෝ දුරට හිතෙන්නේ අපේ හිතේ යම් යම් දේවලට තියන කැමැත්ත කියලා. ඒ කැමැත්ත තමයි. නමුත් මෙතන දී අපි තණ්හාව කියන විට තණ්හාව දැන ගන්න‍ ඕන පළමු වෙන් ම ප්‍රභේද වශයෙන්. තණ්හාව කියන එක ඉස්සෙල්ලා ම දෙකට බෙදෙනවා පින්වතුනි, සමුදාචාර තණ්හාව සහ වට්ඨමූලික තණ්හාව කියල. සමුදාචාර තණ්හාව කියන්නේ, සමුදාචාර කියල කියන්නේ මේ ආයතන වල හැසිරීම් වශයෙන් පවතින තණ්හාවට. ඒ සමුදාචාර තණ්හාව තමයි පින්වතුනි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා නම් කලේ. මේ සමුදාචාර තණ්හාව පැවතුනාම, සමුදාචාර තණ්හාව නිසා පින්වතුනි වට්ඨමූලික තණ්හාව ඇතිවෙනවා. වට්ඨමූලික තණ්හාව කියලා කියන්නේ සංසාර වට්ඨය සඳහා, සසර ඉපදීම සඳහා මුල් වන තණ්හාවයි. ඒ තණ්හාවට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියල. එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට මුලින් ම මේ තණ්හාවේ ප්‍රභේද දෙක දකින්න ඕන. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන කාරණාව හා ඒ තණ්හාව අනුසාරයෙන් මේ සසර ප්‍රතිසන්‍ධි වශයෙන් පමුණු වන තණ්හාව හදනවා. ඒ තණ්හාව නිසායි පින්වතුනි උපාදානය කියන ධර්මතාව. උපාදානය නිසායි භවය, භවය නිසායි ජාතිය. එතකොට ජාතිය නිසා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ඇතිවෙනවා. තණ්හාව කියල කියන්නේ ජරා මරණ දුක ඇති කරවන ධර්මයක් කියල දන්නවා නම්, තණ්හාව ගැන ඔන්න ටිකක් දන්නවා. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියල කියන්නේ දුකට යන්න තියන ක්‍රමයයි, දුක ඇති කරවන හේතුවයි කියල දකින්න.

ඒ වගේම තණ්හාවේ ලක්ෂණ ටිකත් අපි දැන ගන්න ඕන. හොඳට දකින්න මේ කෙලෙස් කියන ධර්මතාවය – අවිද්‍යා, කර්මය, තණ්හාව, උපාදානය කියන මේ නොයෙක් කෙලෙස් – පින්වතුනි, මේ කෙලෙස් විතරක් අපේ ජීවිතයට හම්බ වෙන්නේ නෑ. ඒ කෙලෙස් යෙදිල කෙරෙන වැඩකු යි අපේ ජීවිතයට හම්බ වෙන්නේ. ඒ ක්ලේශය හඳුන ගන්න වෙන්නේ ක්ලේශය කරන වැඩෙන්. තණ්හාවත් එහෙමයි පින්වතුනි. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියන එක, අපි හිතන විදියේ යමකට කැමති වෙනවා කියන ගතියෙන් විතරක් දකින්න බැහැ. ඊටත් වඩා මුළු ජීවිතය පුරාවට ම හරියට අතරක් නැතිව පැතිර තියන වතුර වලක් වගේ, ජීවිතය පුරාවට ම අතරක් නැතිව හැම අරමුණක ම පැතිර තියන ධර්මතාවයක් පින්වතුනි මේ තණ්හාව. එතකොට ඒ තණ්හාවෙන් කෙරෙන වැඩේ දෙස බලල තමයි අපට තණ්හාව ගැන අනුමාන දැක්මක්, නුවණින් දැක්මක් ඇති කර ගන්න වෙන්නේ, අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. මොකද තණ්හාව කිසිම වෙලාවක තණ්හාවේ සාමාන්‍ය ස්වභාවයෙන් පවතින්නෙ නෑ. තණ්හාව හැම වෙලාවෙ ම යමක් අල්ලනවා කියන, උපාදාන කරවනවා කියන ගතියෙන් විද්‍යාමානයි. එතකොට ඒ අල්ලා ගන්නවා, උපාදාන කරනවා කියන ලක්ෂණයෙන් තමයි අපට තණ්හාව කියන කාරණාව දැන ගන්න වෙන්නේ. ඒ කියන්නේ තණ්හාව කියන විට, මෙයා (තණ්හාව) ඉන්න නිසා නේද මේ ධර්මය යෙදෙන්නේ කියල තේරුම් කර ගන්න ඕන.

තණ්හාවට පොඩි උපමාවක් බලමු. යම්කිසි යුධ කඳවුරක් තියනවා කියල හිතමු. මේ යුධ කඳවුරට නොයෙක් දිශා වලින්, නොයෙක් ආකාරයෙන් සතුරු ආක්‍රමණ එන්න පුළුවන්. එතකොට නොයෙක් සතුරන්ගෙන් බලපෑම් මේ කඳවුරට ඇතිවෙන නිසා මේ කඳවුර රැක ගන්න ඕන. මේ කඳවුර රැක ගැනීමේ උවමනාව යම්කිසි කෙනෙකුට තියනවා නම් එයා මොකද කරන්නේ? මේකට ආරක්ෂාවක් යොදනවා. හොඳට බලන්න, කඳවුර ඇතුළේ සිට කඳවුර ආරක්ෂා කරන්න බෑ. ඒකට කඳවුරෙන් පිටට ගිහින් ‘සිකියුරිටි’ ගෙවල් හදා ගෙන ඒ ගෙවල් ඇතුළේ ඉඳ ගෙන තමයි කඳවුර රකින්නේ. කඳවුර රකිනවා කියලා කරන්න තියෙන්නේ කඳවුරේ කටයුත්තක් නොවේ, පිටත කටයුත්තක්. ඒ කියන්නේ ඈත බලා ගෙන තමයි ඉන්න වෙන්නේ. ඈත ඉඳල යන එන අය දෙස බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. කවුද එන්නේ කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. වටපිටේ වෙන්නේ මොනවා ද කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. මේ කරන හැම එකකින් ම මේ කඳවුර ආරක්ෂා කිරීමට යෙදිල ඉන්න කෙනාට පිටත තමයි රකින්න වෙලා තියෙන්නේ. පිටත තමයි සෝදිසි කරන්නේ. පිටත සෝදිසි කරන එකෙන් කරලා තියෙන්නේ කඳවුර ආරක්ෂා කරන එක මිසක්, පිටතට ගිහින්, යන එන පුද්ගලයෝ ගැන පරීක්ෂාකාරී වෙන්නේ, බාහිර අවට භූමිය ගැන පරීක්ෂාකාරී වෙන්නේ, අවට භූමියේ තියන ගහ කොළ ගැන පරීක්ෂාකාරී වෙන්නේ ඒවායින් යමක් හදන්න එහෙම නොවේ. ඒවායේ හරි වැරැද්ද හොයන්න, වැඩි දියුණු කරන්න නොවේ. ඒ බාහිර දෙස පරීක්ෂාකාරී ව ඉන්නේ අභ්‍යන්තරය ආරක්ෂා කර ගන්න ඕන නිසා.

එතකොට ඇතුළත කඳවුර ආරක්ෂා කරන්න පිටතට යන්න වෙනවා වගේ පින්වතුනි, අපි මේ තණ්හාව තමයි හැම වෙලාවෙ ම තමන් කැමති විදියට තබා ගන්න – අපි කියමු තණ්හාවට නිධාන කාරණාව පෙන්වනවා වේදනා පච්චයා තණ්හා කියල. හැම වෙලාවෙ ම දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියන කැමැත්ත, සැප වේදනාව ලබාගන්න තියන කැමැත්තයි අපට දැන් තියෙන්නේ. මේ තමන් තුළ තියන කැමැත්තට ආහාර ලැබෙන්නේ නෑ තමන් තුළින්. එහෙනම් තමන් තුළ තියන තණ්හාවට තමන් කැමති විදියට පැවැත්ම ආරක්ෂා කර ගන්න නම්, අර කඳවුරෙන් එළියට ගිහින් කඳවුර රකින්න වෙනවා වගේ, බාහිර දේවල් ආරක්ෂා කරන්න වෙනවා. හොඳට බලන්න අපට ගෙවල් දොරවල් හදන්න වෙලා තියෙන්නේ, යාන වාහන, ඉඩකඩම් හදන්න වෙලා තියෙන්නේ, දූ දරුවෝ හදන්න වෙලා තියෙන්නේ කුමක් නිසා ද? දූ දරුවන්ට ආදරේකට කරනවා නොවේ, තව කෙනෙකුට යහපතට ගෙවල් දොරවල් හදනවා නොවේ. අපි හිතන්නේ තව කෙනෙකුට උපකාරය පිණිස ගෙවල් දොරවල් හදනවා, දූ දරුවන්ට උපකාරය පිණිස දූ දරුවන් හදනවා, මුනුබුරන්ට උපකාරය පිණිස මුනුබුරන් හදනවා, ලෝකයට උපකාරය පිණිස සේවයක් කරනවා කියල. නමුත් හොඳට දකින්න, තමන්ගේ ආධ්‍යාත්මයේ තියන කැමැත්ත ඉෂ්ට කර ගන්න යි අපි බාහිර දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කඳවුර රකින කෙනාට කඳවුරෙන් පිටත බලා ගෙන ඉන්න වෙනවා වගේ, අපි තුළ ඇති කැමැත්ත, ආශාව ඉෂ්ට කර ගන්න තමයි පින්වතුනි අපි බාහිරට ගිහිල්ලා තියෙන්නේ.

අපි උපමාවක් ගත්තොත්, අපට ප්‍රියමනාප රූපයක් බලන්න රූප තණ්හාව තියෙන්නේ. නමුත් මේ රූපය අපට ලැබෙන්නේ රූපවාහිනී නාලිකාවකින් නම් දැන් අපට මේ රූප පෙට්ටිය කැඩෙන්නේ නැතිව පරිස්සම් කර ගන්න වෙනවා. ඒක දුහුවිලි වැදෙන්නේ නැතිව පිහින වාරයක් පාසා, ආරක්ෂා කරල තියන වාරයක් පාසා, මේ බාහිර රූපවාහිනී යන්ත්‍රයක් වේවා, රේඩියෝ එකක් වේවා, ශීතකරණයක් වේවා ඇයි මේ කෑලි අපේ ගෙවල් වලට අවශ්‍ය? පින්වතුනි මේ තණ්හාව නිසායි. මේක තියනවා නම් මේ රූපය බලන්න පුළුවන්. රූප තණ්හාව ඉෂ්ට කර ගන්න පුළුවන් නිසා. ඇයි මේ ‘කැසෙට්’ එකකට, ගුවන් විදුලියකට වගේ දෙයකට කැමති? ඒ කෑලි ටික ඕන නෑ. නමුත් ඒ කෑලි ටික නිසා නම් අපට ශබ්දයක් අහල සැප විඳින්න පුළුවන් කම තියෙන්නේ, එහෙනම් ශබ්දය අහල සැප විඳින්න ඕන කමයි තියෙන්නේ. ඒ නිසා මේ ගුවන් විදුලි යන්ත්‍රය රකින්න ඕන. කයට මෘදු පහසක් ලබා දෙන්න නම්, සිසිල් යමක් ලබා දෙන්න නම්, ශීතකරණය තියෙන්නේ. ඒකට මේක රකින්න වෙලා. මේ වගේ අපට හිතට සතුටු වෙන යමක් ලැබෙන්න නම්, හිත සතුටු කරන්න නම් ඒ සඳහා තමයි මේ දරු මුනුබුරෝ, ගෙවල් දොරවල් තියෙන්නේ. එතකොට හොඳට බලන්න, තමන් තුළ තියන සැප වේදනාව බලා ගෙන, ඒ සැප වේදනාව ගන්න ඕන කමට කරන දේ දකින්න තණ්හාව කියල.

මේ මුළු ලෝකය ම තණ්හාවට දාසයෙක් කියලා පෙන්නනවා. මේ කාරණාව හොඳට සිහි කරන්න තණ්හාවට දාසයෙක් කියන්නේ ඇයි කියල. අපි අර උපමාව තව ටිකක් සම්මර්ෂණය කරල බලමු. මේ තණ්හාවට දාසයෙක් කියන කාරණාව තේරුම් ගත්තොත් තමයි පින්වතුනි අපේ චරිතය ගැන, අපේ ජීවිතය ගැන අපි හරියට කලකිරීමට පත් වෙන්නේ. අපි කියමු මෙහෙම කාරණාවක්. යම් කිසි ගෙදරක වැඩකාර කමට කෙනෙක් ගියා කියලා හිතමු. මෙයාට ගෙහිමි පුද්ගලයා කියනවා, ‘ළමයෝ, කඩේට ගිහින් එන්න’ කියල. කඩේට ගිහින් එනවා. ආපු ගමන් කියනවා, ‘මේ මිදුල අතුගාල දාන්න’ කියල. ඔන්න මිදුලත් අතුගානවා. ඒ ගමන් කියනවා, ‘ළමයෝ, මේ රෙදි ටික හෝදලා දාන්න’ කියල. ඒකත් කරනවා. ඒක ඉවර වෙනවාත් එක්ක කියනවා, ‘ළමයෝ මේ ටික උදලු ගාලා දාන්න’. ඒකත් කරන විට කිපෙන්නේ නැද්ද, තරහ එන්නේ නැද්ද? එතකොට සමහර විට ඒ වැඩ ගන්න ස්වාමියාට බණින්න පුළුවන්. එක්කෝ ගහන්න පුළුවන්. ‘මේ මනුස්සයා පමණ දන්නේ නෑ’ කියලා ඒ වැඩ ගන්න කෙනා ගැන කලකිරෙන්න පුළුවන්. සමහර විටක මට මේ වගේ රස්සාව ඕන නෑ කියල දමල ගහල යයි. සමහර විටක ඔය කියන කියන විදියට එක දවසක් කරයි. දවස් දෙකකුත් කරයි. තුනකුත් කරයි. හතරකුත් කරයි. ඊට පස්සෙ දී ඕක කරන්නෙ නෑ, ඇතිවෙනවා. මේ වැඩ ගන්න, මේ විදියට වැඩ කරන තැනක කිසිම කෙනෙක් ඉඳියි කියල හිතනවා ද? මේ පින්වතුන් බොහොම හොඳට කල්පනා කරල බලන්න, ‍එහෙම බාහිර ලෝකයේ වැඩකාරයෙක් ලවා වැඩ ගන්න හැදුවොත් එයා දවසක් දෙකක් මේ විදියට කියන කියන එක කරයි, ඊට එහා කරන්නේ නෑ. එයා ගැන අපැහැදීමට පත් වෙනවා, පිළිකුලට පත් වෙනවා, ප්‍රතික්ෂේප කරන තැනට පත් වෙනවා. ඒ රස්සාව එපා කියන තැනට පත්වෙනවා. කිසි විවේකයක් නෑ හරිම අපහසුයි කියල සමහර විට දොස් කියල, බැණල, සමහර විට පහර දීල එතැනින් පිට වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, මේ තණ්හාවට දාසයෙක් කියල කියන තැන මෙන්න‍ මේ අර්ථයෙන් දකින්න ඕන. බාහිර දාස කම් කරන කෙනා බාහිර දාස කම් නිසා කලකිරෙන්න වුනත් පුළුවන්. නමුත් පින්වතුනි, තණ්හාවත් ඔය වගේම යමක් කරනවා, ඒත් කිසි දිනක අපි කවුරුත් මෙයාගෙ දෝෂය දැකලා නෑ, මෙයාට කලකිරිල නෑ. මේ තණ්හාවෙ දෝෂය දැකල තණ්හාවට කලකිරුනොත් එදාට තමයි පින්වතුනි අපි දාස භාවයෙන් මිදෙන්නේ. එතෙක් මේ ස්වාමියාට අපි වැඳ‍ ගෙන ඉන්නවා. මේ ස්වාමියාට අපි හරි කීකරුයි. මෙයාගේ දෝෂයක් දකින්නේ නෑ.

අපි උදාහරණයක් ගත්තොත් පින්වතුනි ඔබේ ම සිත කියනවා ‘අනේ මෙතන ඉන්න බෑ, කම්මැළියි, යන්නට ඕන අහවල් නගරයට/රටට’ කියල, දැන් ඔබ යනවා. සමහර විට දින ගණනක් උත්සාහවත් වෙලා බොහොම වෙහෙස මහන්සියෙන් තමයි පින්වතුනි ඒ නගරයට යන්නේ. ගිහිල්ලා අනිත් අතට ම හිත කියනවා, ‘අයියෝ, මේකෙ නම් ඉන්න බැහැ, ආපසු යන්න ඕන’ කියලා. ඔන්න කියපු ගමන් ම ආපසු එනවා. ඒ ආපු ගමන් ම දැන් හිත කියනවා ‘අහවල් රූපය බැලුවොත් නම් හොඳයි’ කියලා. ඔන්න කියපු එක අරන් දෙනවා. ඊට පස්සෙ කියනවා සිංදුවක් ඇහුවොත් නම් හොඳයි. ඊට පස්සෙ ඒක කරන විටම හොඳ කෑමක් කෑවොත් හොඳයි. දැන් කෑම කනවා. ඊට පස්සෙ අහවල් ස්පර්ශය ලබන්න තිබුනොත් හොඳයි. ඔන්න ඒක ලබා දෙනවා. ඊට පස්සෙ අහවල් කෙනා එක්ක පොඩ්ඩක් කතා කරන්න ගියොත් හොඳයි. ඔන්න එතනට යනවා. මේ හිත කියන කියන එකට වැඳ ගෙන එහෙයි කියන මට්ටමේ අපි අහනවා, කරනවා මිසක් කිසිවෙක් මෙයා ගැන කලකිරෙන්නෙ නෑ. හොඳට බලන්න. මේ හිත ම විටක කියනවා අහවල් තැනට යන්න කියල, අහවල් දේ කරන්න කියල. එයා ම කියනවා දැන් ඔතන හිටිය ඇති, දැන් ඔය දේ කලා ඇති, ඕක නතර කරන්න අහවල් තැනට යන්න කියලා. ආපහු ඒ විදියට කරනවා. ආපහු කියනවා නෑ කමක් නෑ, ආපහු අතන ට යන්න කියලා. ආයෙත් එතන ට යනවා. අර බාහිර කෙනෙක් නම් එක වැඩක් ඉවර කරලා තව වැඩක් කරන විටම ඒ හේතුවෙන් ස්වාමියා ගැන කලකිරෙනවා. එයා ගැන බොහොම අප්‍රසාදයට පත් වෙනවා. නමුත් තමන් ගාව ඉන්න තණ්හා කියන ස්වාමියා ගැන කවුරුත් කලකිරෙන්නේ නෑ. තණ්හාව නමැති ස්වාමියා දවස තිස්සේ ම තමන්ගෙන් දාසයෙකුගෙන් වගේ වැඩ ගන්නවා. ඒත් කවුරුත් මේක දන්නේ නෑ. හොඳට බලන්න දරුවන්ට දැන් මෙහෙම කරන්න කී විට ඒ විදියට කරනවා. දරුවන්ගේ සුබ සිද්ධිය සඳහා මෙහෙම කරන්න කී විට එහෙම කරනවා. දැන් දරුවන් පාසලට රැගෙන යන්න කී විට එහෙම රැගෙන යනවා. දැන් ගෙදර මේ මේ ටික හදන්න කී විට ඒ ටික හදනවා. වත්ත මේ විදියට ලස්සනට මල් වැට කපලා හදන්න කී විට ඒ විදියට හදනවා. ඉස්සරහ ටික පිරිසිදු කරලා තීන්ත ටිකක් ගාන්න කී විට ඒ විදියට කරනවා. දැන් ගෙදරට වතුර අඩුපාඩුයි. වතුර හදන්න කී විට ඒ ටික කරනවා. කියන කියන එක ඔබලා කලා මිසක් කිසි දිනක ඔබලා මේ ස්වාමියා ගැන කලකිරිල තියනවා ද කියල බලන්න. මේ වැඩ ගන්න ස්වාමියා දැකලා තියනවා ද බලන්න. නෑ. මේ තණ්හාව නමැති ස්වාමියායි පින්වතුනි මෙතන ඉඳ ගෙන අපි ව මේ මේ දේවල් වලට යොමු කරන්නේ. වේදනාව උපදවා ගන්න පුළුවන් හැම ක්ෂේත්‍රයක ම මෙයා ඇවිදිනවා. වේදනාවට තියන තණ්හාවෙන් අපි ව මිරිකලා අර ගෙන හැම තැන ම ජීවිතයට යොදවනවා. ඒත් අපේ තියන අවාසනාව කියන්නේ පින්වතුනි අපි මෙහෙම ස්වාමියෙකුට යටත් ව කීකරු ව සිටින ගෝලයෝ කියලා අපි දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒ නිසායි දේශනා කලේ මුලු ලෝකය ම තණ්හාවට දාස යි කියලා.

තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට දකින්න, අද අපේ ස්වාමියා අපි නොවේ, තණ්හාවයි කියල. ඔබලාට ස්වාධීන පැවැත්මක් නෑ කියන එක ඔබලා දකින්න. ඔබලා ව මෙහෙයවන, ඔබලා ජීවත් කරවන, ඔබලා හැම දෙනාගේ ම ස්වාමියා තණ්හාවයි කියන තැනකින් දකින්න තරම් ඔබ දක්ෂ වෙන්න ඕන. මේ ගෙවල් දොරවල් හැදුව නම් හැදුවේ, දූ දරුවෝ හැදුව නම් හැදුවේ, යාන වාහන ගත්ත නම් ගත්තේ ඔබගේ උවමනාවට නොවේ, මේ ස්වාමියාගේ උවමනාවටයි කියන එකත් දකින්න. ඔබ ස්වාමියාට උපස්ථාන කර ගෙනයි ඉන්නේ කියන කාරණාවත් දකින්න ඕන. ස්වාමියාට උපස්ථාන කරමින් ඉන්නේ නිකං නම් නොවේ. වැඳ ගෙන ඉන්නේ. පොඩ්ඩක් වත් වෙනස් වෙන්න දෙන්නේ නෑ, එයාගෙ වචනය අකුරට ම ඉෂ්ට කරමින් සුවච කීකරු ගෝලයින් වෙලා හැම දෙනා ම ඉන්නවා කියන තැනින් දකින්න. “තණ‍්හඤ‍්ච පජානාති“ කියන විට මේ තණ්හාවේ ලක්ෂණය තමා අද අපි ව මේ විදියට හසුර වන එක කියලා දකින්න. එතකොට ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ‘තණ්හාවට දාස යි ලෝකය ම’. එතකොට දාසයෙක් වගේ මේ කටයුතු කරන්නේ ස්වාමියා කියන නිසායි කියල තේරුම් ගන්න ඕන. උදේ වැඩට යන්නේ, වැඩ ඇරිල ගෙදර එන්නේ එයා කියන විදියටයි. එයා කීවොත් වැඩිය වියදම් කරන්න බෑ, මෙහෙමයි වියදම් කරන්නෙ කියල, ඔබලා කරන්නේ එහෙමයි. එයා කීවොත් මේ ටික ඉතුරු කරන්න ඕන කියල, ඒ විදියට කරන්නේ. එයා කීවොත් මේ ටික වැය කරන්න කියලා ඒ විදියටයි කරන්නේ. ඒ නිසා තණ‍්හඤ‍්ච පජානාති කියන විට අන්න ඒ ටික දකින්න ඕන. ඒ ස්වාමියා කියන වැඩ ටික කරන අර්ථයකිනුත් මේ තණ්හාව දකින්න.

ඊළඟ කාරණාව තමයි මේ ස්වාමියා සෑම විටම අපි ව වැඩේ යොදවන්නෙ, අර කඳවුරෙන් පිටත වගේ, තමන්ගෙන් පිටත දූ දරුවෝ, ගෙවල්‍ දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්. දුක් ‍වේදනාව එන ඒව අයින් කරන්න, සැප වේදනාව එන ඒව ළං කරන්න තමයි ඔබලා ව යොදවලා තියෙන්නේ. එතකොට සෑම විටම මේ බාහිර ලෝකය රැස් කරන ගතියෙන් දුක්, අප්‍රිය, අමනාප දේවල් අයින් කරන ගතියෙන් දකින්න තණ්හාව. තණ්හාව ඇති තාක් පින්වතුනි තියන ලක්ෂණය තමයි මේ ලෝකෙ අනිත්‍ය වූ, දුක් වූ, විපරිණාම වූ, සංඛත වූ දේවල් රැස් කරන ගතිය නතර වෙන්නෙ නෑ. ඒවා එකතු කරන ක්‍රම නතර වෙන්නෙ නෑ. පින්වතුනි, එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට “දාසයා“ අර්ථයෙන් දකින්න. අපි මෙච්චර වැඩ කලත් මේ ස්වාමියාගේ ඇති වීමක් නෑ. එබඳු ස්වාමියා කෙරෙහි අපේ කලකිරීමකුත් නෑ. කලකිරීමක් නැති තමන් ගැනත්, ඇතිවීමක් නැති ස්වාමියා ගැනත් හොඳට ඔබලා තේරුම් ගන්න. එදාට කියනවා යම් මට්ටමකට තණ‍්හඤ‍්ච පජානාති කියලා.

ඊට පස්සෙ, මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන මේ තණ්හාවෙ කෘත්‍ය නිසා තමයි – මේ තණ්හාව නිසා තමයි, අපට ටීවී, කැසට්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් රැස් කරන්න වෙලා තියෙන්නේ කියල දකින්න. තණ්හාවේ චරිතය දකින්න. ගෙදර තියන බඩු මුට්ටු දෙස බලන විට ඔබගේ ජීවිතයේ තියන තණ්හාව දකින්න. මේ තණ්හාවට උපකාර ධර්මතා ටික. තණ්හාව පෙනෙන්නේ ඔය කාරණා ටිකෙන්. ඔබලා හිතනවා ද තණ්හාව නැති කරපු රහතන් වහන්සේ නමක් කැසට්, ඩෙක්, ටීවී, ශීතකරණ, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් රැස් කරගෙන ඉඳියි කියල, නෑ. මේ කාරණා රැස් කර ගෙන ඉන්නේ ඇයි? වේදනා පච්චයා තණ්හා – වේදනාවටයි තණ්හාව ඇති කරලා තියෙන්නේ. යම් යම් ආකාරයට සැප වේදනාව ලැබෙනවා නම් ඒ දේවල් වලට තණ්හායි. ඒ දේවල් රැක ගන්නවා. එතකොට ඔබලාට තණ්හාව කියන විට යම් දෙයකට හිතේ තියන කැමැත්ත කියන ගතියෙන් දකින්න එපා. ගෙදර බඩු මුට්ටු ටික ඔක්කොම දකින්න තමන්ගෙ තණ්හාව හැටියට. තමන්ගෙ තණ්හාවේ ප්‍රභේදය දකින්න, තණ්හාවේ වැට දකින්න, තමන් වටේ තියන ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් කියන මේ දේවල් දෙස බලල තමන්ට වටිනා වස්තු ටිකක් තියනවා, තමන්ට මෙච්චර වටිනා දරු මුනුබුරෝ ඉන්නවා නොවේ, තමන්ට මෙපමණ තණ්හාවේ ප්‍රභේද තියනවා කියලා දකින්න. තමන් වටා තණ්හාව මේ මේ ආකාරයෙන් රැස් වෙලා කියලා දකින්න. තමන්ගේ ස්වාමියා, තණ්හාව නමැති ස්වාමියා, මේ දේවල් එකතු කරන්න කියලා, ඒ නිසා තමන් ඒ දේවල් එකතු කරලා කියලා දකින්න. එතකොට ඔය අරමුණු පාසා තමන්ගේ චරිතය තමන්ට පෙනෙන්න ඕන. ඇයි තණ්හාවෙන් යුක්ත සසරෙ ඉන්න තමන්ගේ චරිතයයි හෙලි වෙන්නෙ මේ දේවල් රැස් කර ගෙන වට කර ගෙන ඉන්නවා කියන එකෙන්.

එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට, තණ්හාව දන්නවා කියනවා නම්, තණ්හාව නිසා එකතු කරපු හැම දෙයක් ම පෙනෙන්න ඕන තණ්හාවේ කෘත්‍යයක් නේද, තණ්හාව කියන ධර්මතාවය නිසා ගන්න දෙයක් නේද කියලා. රූපවාහිනියක් ගන්නෙ කුමකට ද ප්‍රියමනාප රූප බලන්න. රූප බලන්න ගත්තේ රූප තණ්හාව නිසා නොවේ ද? එහෙනම් රූප තණ්හාව නමැති ස්වාමියා කියපු නිසා නොවේ ද ඔබලා රූපවාහිනියක් ගෙනාවේ. එහෙනම් ගෙදර රූපවාහිනියක් තියනවා කියන්නේ මේ තණ්හාව නියෝජනය කරන්න තියන සංකේතයක් නොවේ ද? ඒ වගේම ශබ්දය, ගන්ධය, රසය. ඔන්න ඔය ටික ඔය විදියට ම දකින්න ඕන. එතකොට තණ්හාව හඳුන ගන්න පුළුවන් තමන් වටා තියන බඩු මුට්ටු වලින්. ඒ වගේම තමන් යමක් කරනවා, ආපහු බෑ කියල හිතෙනවා, ආපහු ඒක ම කරනවා. ආපහු බෑ කියල හිතෙනවා. අහවල් තැනට යන්න කියල තමන්ගේ හිත බල කරනවා. ගිහිල්ලා ක්ෂණයකින් ම අනේ දැන් මෙතන ඉන්න බෑ කියලා ආපහු එනවා. ආපහු එතන ඇවිල්ලා තව ටිකකින් ආපහු යන්න කියනවා. මේ වගේ අතරක් නැතිව නිරන්තරයෙන් ඇවිද වනවා. මේ වැඩ ගන්න ස්වභාවයෙනුත් තමන්ගේ ස්වාමියා තමන් හඳුන ගන්න. මේ ටික තේරුණා ම තණ‍්හඤ‍්ච පජානාති. ඒ විතරක් නොවේ, මේ ස්වාමියා අන්තිමට ඔබලා යොදවලා තියෙන්නේ කොතැනට ද? හොඳට බලන්න, මෙයා මෙහෙම කරවලා අන්තිමට උපාදානීය ධර්මයන් උපාදාන කරවල යි තියෙන්නේ. බලන්න, ඔබලා එකතු කරල තියෙන්නේ රූපයක් නොවේ ද, වේදනා, සංඥා, සංඛාර, විඥාන නොවේ ද? මේ පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම, උපාදානයි කියල දකින්න.

එක්තරා අවස්ථාවක මජ්ඣිම නිකායේ මහා පුණ්ණමා සූත්‍රයේ දී පුණ්ණමා කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස. මේ උපාදානස්කන්‍ධයත්, උපාදානයත් දෙකක් ද, එකක් ද?” කියල. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පුණ්ණමා, පංච උපාදානස්කන්‍ධයත් උපාදානයත් එකක් නොවේ දෙකක්. එතෙකුදු වුවත් පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම උපාදානය යි”. එතකොට හොඳට දකින්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම උපාදානය යි. එතකොට හොඳට දකින්න දුක එකතු කරන ගතියෙන්, දුක රැස් කරන ගතියෙන්. ඇයි, පංච උපාදානස්කන්‍ධය කියන්නේ සැප එහෙම නොවේ, දුක නේද?. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ධර්මයන්. මේවා එකතු කරවන රැස් කරවන තමන් වටා ජරා මරණ එකතු කරන ලක්ෂණයෙන් දකින්න තණ්හාව. තණ‍්හඤ‍්ච පජානාති කියන විට ඒ ටිකත් දකින්න. ඒ විතරක් නොවේ, මේ තණ්හාව කියන කාරණාව තිබුනොත් මේ තණ්හාව නිසා කාමාවචර වූ, රූපාවචර වූ, අරූපාවචර වූ යම් ධර්මතා ටිකක් තියනවා නම් ඒ කාමාවචර වූ, රූපාවචර වූ, අරූපාවචර වූ සියලු ධර්මතා තමන්ට හසු වෙන්නෙ, ඒවා අල්ලා ගෙන ඉන්නෙ තණ්හාව නිසායි. මේ තණ්හාවේ ලක්ෂණය තමයි ඇසට පෙනෙන රූප අල්ල ගන්න එක. කණට ඇහෙන ශබ්ද ඇසුරු කරන එක. නාසයට දැනෙන ගන්ධ ඇසුරු කරන එක. දිවට දැනෙන රස ඇසුරු කරන එක කියන එක ඒ තණ්හාවේ කෘත්‍ය හැටියට දකින්න. ඇසෙන් දැකපු රූපය සිහි කරල ආපහු රූපය සොයා ගෙන යන්නෙ, රූපය දකින විට සතුටු වන්නේ, දැකපු රූපය ආපහු ඇති බවට අපි මතක තබා ගන්නේ, තණ්හාවේ ඇති දාස බව නිසායි, තණ්හාව නමැති ස්වාමියාගේ හැකියාවක් බව දකින්න. එතකොට තණ්හාව තිබුනොත් ඇසෙන් දැකපු රූපය දැඩිව අල්ලා ගෙන ඉන්නවා, දැකපු රූපය තිබුණා කියන මානසික මට්ටම එළඹ සිටිනවා. යම් රූපයක් දැකලා දැකපු රූපය තියනවා කියන මට්ටමට එන විට එතන තියනවා පින්වතුනි, ‘රූප තණ්හාව නිසා රූපය උපාදාන වෙලා’ කියන එක. රූපය උපාදාන වූ නිසා භවය පිහිටලා තියනවා. ඒ කියන්නෙ දැකපු රූපය තියනවා කියන මානසික මට්ටම එළඹ සිටිනවා. භවය නිසා ජාතිය. දැකපු රූපය බලන්න යනවා. ඔය ‘යෑම’ මයි අද යන විදියට ප්‍රතිසන්‍ධි වශයෙනුත් යන්නේ. ඒ නිසා ජාතිය. ඉන්පසු ජරා මරණ.

මේ තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව දකින්න, කුමන අර්ථයකින් ද?, සසර ජරා මරණ දුක ඇති කරවන ධර්මයක් තණ්හාව කියන්නේ, පංච උපාදානස්කන්‍ධය හා ගෙතුණ ධර්මයක් තණ්හාව කියන්නේ, පංච උපාදානස්කන්‍ධය ඇති කරවන ධර්මයක් තණ්හාව කියන්නේ, දුකට පමුණු වන ධර්මයක් තණ්හාව කියන්නේ, දුක ඇති කරවන හේතුවක් තණ්හාව කියන්නේ, කියන කාරණාව දකින්න. තණ්හාව යම් තැනක තිබුනොත් – තණ්හාව කියන විට වචන නොවේ ඔබලා දකින්න ඕන මේ දාස බව කර කර ඉන්න එකයි – තණ්හාව කිව්වේ දාස බව කර කර හිටියොත් ජරා මරණ වලින් මිදෙන්නෙ නෑ කියන එකයි. දැන් හිත කියන කියන දේ කර ගෙන බණක්, භාවනාවක් ඔබලාට කරන්න යන්න පුළුවන් වෙයි ද? ආරණ්‍යයකට ගිහිල්ල සිල් ගන්න කියල හිතන්න, ‘අනේ මේ දරුවගෙ වැඩ ටික තියනවා නේද? මේ රස්සාව මේ ටික කරන්නේ කවුද, මේ ටික කරන්න ඕන නේද, ඕකට ගියා ම මේ ගේ හදන්නේ කවුද, මේ ඉඩම බලන්නේ කවුද?’ ඒ ස්වාමියාට විරුද්ධව ඔබලාට යන්න පුළුවන් වෙයි ද?. හොඳට දකින්න. ඔබලා ස්වාමියාට කීකරු ව ඉන්නවා කිව්වේ තණ්හාව. තණ්හාව කුමකට හේතුවක් කියලා ද අහලා තියෙන්නේ, දුකට හේතුවක්, දුක්ඛ සමුදය. එහෙනම් මේ පින්වතුන් ඔය ස්වාමියාට කීකරු ව ඉන්න එක, ඒ කිව්වේ මේ හිත කියන කියන විදියට ඔය වැඩ කර කර ඉන්න එක දුකට හේතුවක්. ඔය දුක ඇති වන විදියට ඉන්නවා කියන එක. දුක නැති කර ගන්න කියලා හිතා ගෙන ඔබලා කරලා තියෙන්නේ දුක ඇති වන විදියට ජීවත් වෙලා නොවේ ද කියල හොඳට හිතල බලන්න. දුක නැති කරන්න කියලා ගෙවල් හදන්න, යාන වාහන ගන්න, ඉඩකඩම් ගන්න, මිල මුදල් ගන්න, දූ දරුවෝ ඇති කරන්න කියල කියන්නේ කවුද? දුක නැති කර ගන්න කියලා තණ්හාව නමැති ස්වාමියායි කියන්නේ. ඒක කරන්න කරන්න බලවත් වුනේ, අනතුරක් නැතිව ඉන්නේ, මහා ඉහල තත්වයක වැජඹෙන්නේ කවුද කියලා බලන්න, ස්වාමියා නොවේ ද? කියලා. එතකොට මේ ස්වාමියා නිසාම නම් දුක එන්නේ, ඒ ස්වාමියා කියපු දේ කරලා දුක නැති කර ගන්න පුළුවන් කියලා හිතනවා ද. මේ පින්වතුන් හොඳට දකින්න මේ පුද්ගලභාවය ඉක්මවා පවතින ධර්මතාවය දෙස. තණ්හාව නමැති ස්වාමියා ඉන්නවා කියන්නේ දුකට හේතුව තියනවා. ඒ කියන්නේ ගෙවල් ටීවී කැසට් ශීතකරණ ගන්න කියලා කියනවා නම්, ඔය නොයෙක් බඩු එකතු කරන්න කියලා කියනවා නම්, ඒ එකතු කරන්න කියලා කියන්නේ ස්වාමියා කියලා දකින්න. එහෙනම් මේ එකතු කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නැති බවත් දකින්න. අහවල් දේ කරන්න, අහවල් දේ කරන්න, අහවල් වැඩේ කරන්න එපා, කියලා ස්වාමියා කියන කියන විදියට කරනවා නම් දකින්න, මේ තණ්හාව, මේ ස්වාමියා. එහෙම කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නෑ කියලා දකින්න. දුකට හේතුව තණ්හාවයි කියන විට අපි මේ විදියට කර කර හිටියොත් දුකෙන් මිදෙන්නෙ නෑ කියන තැන දකින්න තරම් ඔබලා පොහොසත් වෙන්න ඕන. එතකොට ඔන්න ඔය ටික දන්නවා නම් තණ‍්හඤ‍්ච පජානාති කියලා කියන මේ ස්වාමියා දැන ගන්න පුළුවන්. ස්වාමියා දැන ගන්නවා කියන විට ස්වාමියා කියන්නේ දුක්ඛාර්ථයෙන් දකින්න, මෙයා ඉන්න තාක් දුකෙන් හිස් නෑ, දුකෙන් මිදෙන්නෙ නෑ, පපුවෙ අත් ගසමින් විලාප දෙමින් අඬමින් මේ සසර යන්න පුළුවන්, එක්ක ගෙන යන කෙනෙකු යි කියල දකින්න. අද අපේ චරිතය මේ දුකට හිමිකාරයෙක් වූ චරිතයයි කියලා දකින්න තරම් ඔබලා දක්ෂ වෙන්න ඕන.

ඔන්න ඔය මට්ටම දැක්කොත් ඔබලාට තණ‍්හඤ‍්ච පජානාති කියන කාරණාව කියනවා. තව මේකෙ ගොඩක් විස්තර ලැබෙන්න ඕන. දැනට තණ්හාව දන්නවා කියන කාරණාව කියනවා නම්, ඔය මට්ටමට වත් දකින්න. තණ්හාව කියන විට හිතේ ඇති වන යම් යම් වස්තූන්ට ඇති වන කැමැත්ත කියන ගතියෙන් දකින්න එපා. අද ජීවිතයෙන් ම, එහාට දුවනවා මෙහාට දුවනවා, මේ එහෙ මෙහෙ දුවන මේ ජීවිතයෙන් ම දකින්න මේ තණ්හාව, මේ ස්වාමියා කියපු වැඩ කටයුතු කරන්න ගිහිල්ලා තියෙන්නේ. උදේ ඉඳන් රෑ වන තෙක් එහාට මෙහාට දුවන්නේ මේ ස්වාමියාට කීකරු වයි. මෙන්න මේ කටයුතු කරන පුද්ගලයෙක් නෑ, ස්වාමියායි ඉන්නේ. මෙතන අනාත්ම ධර්මතා ටිකක් තියෙන්නේ. යථාර්ථ වශයෙන් නම් ස්කන්‍ධ ටිකක් හා කෙලෙස් ටිකක් මේ තියෙන්නේ, මම, පුද්ගලයා, සත්වයා, කියලා අපි හිතා ගෙන ඉන්න තැන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ එකලාව (හුදකලාව) වාසය කරනවා කියන්නේ කුමක් ද? මේ තණ්හාව නැතිව ඉන්නවා නම්. තණ්හාව තමයි පුරුෂාර්ථ දෙවැන්නා. තමන්ගේ තනියට ඉන්න දෙවැන්නා තමයි කවුද? තණ්හාව. තණ්හාව තමයි පුරුෂයාගේ දෙවැන්නා. එතකොට තණ්හාව එක්ක ඉන්නවා නම් කිසිම වෙලාවක හුදකලා වෙන්නේ නෑ. තනිවම ඉන්නෙ නෑ. එකලාව වාසය කරන්නේ නෑ. එයා දෙන්නෙක් එක්කයි ඉන්නේ. ඒ කියන්නෙ තමන්ගෙ ස්වාමියා එක්කයි තමන් ඉන්නේ. තමන් කොතැනවත් තනිව එහෙ මෙහෙ යන්නේ නෑ. අන්න ඒ අර්ථයෙනුත් දකින්න ඕන තණ‍්හඤ‍්ච පජානාති කියන විට.

ඊට පසුව සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා, වේදනා පච්චයා තණ්හා. එතකොට මේ තණ්හාව කුමක් අරමුණු කර ගෙන ද පවතින්නේ? සෑම විටම වේදනාව අරමුණු කර ගෙනයි. තමන් ව ඒ ඒ තැන් වලට යොදවන්නේ, ඒ ඒ කාරණා බඩු මුට්ටු රැස් කරවලා තමන්ගෙන් වැඩ ගන්නේ මේ තණ්හාවෙන්. එයා එහෙම කරන්නේ ඇයි? ඒ ඒ වේදනාව බලාපොරොත්තුවෙන්. යම් සැප වේදනාවක් නම් එන්නේ, ඒ ඒ දේවල් එකතු කරවනවා. ඒ ඒ තැන්වලට ඔබව යවනවා. යම් තැනක දුක් වේදනාවක් එයි නම්, ඒ ඒ බඩු මුට්ටු අයින් කරවනවා. ඒ ඒ තැන්වලට යාම වළක්වනවා. එතකොට හොඳට දකින්න. සැප වේදනාවකට තණ්හාවෙන්, දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියන තණ්හාවෙන්. සැප වේදනාව ලබාගන්න තියන තණ්හාවෙන්, දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියන තණ්හාව නිසායි. ඒ නිසායි වේදනා පච්චයා තණ්හා. මෙන්න මේ තණ්හාව නිසායි ඔබලා වටා බඩු මුට්ටු ගොඩ ගසලා තියෙන්නේ, ගෙවල් දොරවල් තට්ටු ගණන් වලට සාදවා ගෙන තියෙන්නේ. ඒ ඒ බඩු මුට්ටු පුරවලා එකතු කරවලා ඔබලාගෙන් වැඩ අර ගෙන. ඔබලා සමහර විට ටිකක් හරි ආඩම්බරෙන් ඉන්නේ අපට මෙච්චර දේවල් තියනවා කියලා. නමුත් යථාර්ථය අනුව සලකන විට හරි ලැජ්ජා හිතෙන වැඩක්, ‘මෙයාගෙන් මෙච්චර වැඩ අර ගෙනයි’ කියලා. වැඩිපුර වැඩ ගන්න තරමට, වැඩ කරපු තරමට, තේරෙනවා මෙයා දාස භාවය, වහල් බව වැඩි කෙනෙක් කියන එක. මේ පුද්ගලයෙක් ගැන නොවේ තමන් ගැන දකින්න අදහසක් මේ කියන්නෙ. හොඳට දැකලා තමන් ගැන කලකිරෙන්න මිසක් ආපහු ලෝකෙ අනුන්ගේ ඇදක් එහෙම බලනවා, අල්ලපු ගෙදර කෙනා බඩු මුට්ටු දාල ද තියෙන්නේ, එයාගෙ ගොඩක් තණ්හාව ද කියලා පුද්ගලභාවයෙන් බලන එකක් නොවේ මේ කියන්නේ. එහෙම එකක් නෑ. එතනත් තමන්. මෙතනත් තමන් තමයි. අනික් කෙනා ගැන බලනවා කීවත් ඒ තමන්ගෙ ස්වාමියා කරන තව වැඩක් කියලා දකින්න. අනික් කෙනාත් බඩු මුට්ටු රැස් කර ගෙන ඉන්නේ, එහෙනම් ඒ කෙනාගෙත් හොඳට තණ්හාව කියලා කීවොත්, ඔය දැන් තමන්ගේ ස්වාමියා විඳින්න ගත්ත තව ක්‍රමයක්. තමන් තුල බවත් දකින්න. එපමණකින් තමන්ගේ ස්වාමියාට තමන් කීකරු වැඩියි කියල දකින්න. එතකොට හොඳට දකින්න ඕන වේදනා පච්චයා තණ්හා කියන විට මේ වේදනාවෙ තියන ප්‍රභේද මතයි මේ බඩු මුට්ටු එකතු කරලා තියෙන්නේ. එහාට මෙහාට තමන් ව අර ගෙන ගිහිල්ලා තියෙන්නේ.

වේදනා නිරෝධෝ තණ්හා නිරොධා – යම් වෙලාවක ඔබලාට ප්‍රියමනාප වේදනාව නැති වෙනවා කියල දැනුනොත්, ඒක ආපහු හොයා ගෙන යන්න බැහැ, පෙර නො තිබීම හට ගෙන මේ වේදනාව නැති වෙනවා කියල පෙනුනොත් එවිට පින්වතුනි, ඔබලාට වේදනාව පිළිබඳ තණ්හාවක් නෑ. එහෙම වුනොත් අර වේදනාව ගන්න, අහවල් දේ ගන්න, එහාට මෙහාට යන්න කියල තණ්හාවට අණ කරන්න විදියක් නෑ. එතකොට දුක් වේදනාවට හේතු වූ ස්පර්ශය නිසා දුක් වේදනාව හට ගන්නවා, ස්පර්ශය නැති වන විට නැති වෙනවා කියල පෙනුනොත්, එතකොට උපේක්ෂා වේදනාවට හේතු වෙන ස්පර්ශය හට ගෙන ඒ නැති වෙනවා කියලා පෙනුනොත්, ඔබලාට මේ වේදනාව නැති වුනොත්, යම් වෙලාවක පින්වතුනි වේදනාවේ නිරෝධය එළඹ සිටියොත්, සැප වේදනාවක් හට ගත්තත් ඒක රැස් වෙන්නේ නෑ, උපචයට යන්නෙ නෑ, තියනවා නොවේ අනිත්‍යයි. දුක් වේදනාවක් හට ගත්තත් ඒකෙ ගැටෙන්න බෑ, ද්වේශ කරන්න බෑ, තරහ ගන්න බෑ. ගැටෙන්න බෑ, ඇයි ඒක අනිත්‍යයි කියල දකිනවා. එවිට නරක දේ අයින් කරන්නත්, හොඳ දේ ගන්නත් කියලා ජීවිතයෙන් ආපහු ක්‍රියාත්මක වෙන්න පැත්තක් නෑ. මොකද සැපය කියන එක කොච්චර අනිත්‍ය ද කියනවා නම් ඒක ගන්න අත දාන්න බැරි මට්ටමට දකිනවා. දුක් වේදනාව කොච්චර අනිත්‍ය ද කියන එක දැක්කොත් ඒකෙන් ඉවත් වෙන්න අත දාන්න බෑ, ඉවත් වෙන්න හැරෙන්න බෑ. ඒක අනිත්‍යයි කියලා මට්ටමට ආවොත් ඒ සිද්ධියට ප්‍රතිචාරයක් නැති වෙනවා. එහෙම වුනොත් තමයි මේ ස්වාමියාගේ ඒ චරිතය කියන එක නැති වෙන්නෙ. ස්වාමියාගේ රඟපෑම නැති වෙන්නේ. අන්න ඒ මට්ටමට යම් කිසි කෙනෙකුට වේදනාව නිරුද්ධ වුනොත් තණ්හාව නැති වෙනවා.

මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම තණ්හා නිරෝධ ගාමිණී පටිපදාව යි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා. එතකොට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය කියන විට සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියට මේ පරියායේ දී දකින්න ඕන තණ්හාව නැති කරන ක්‍රමය. තණ්හාව නැති වෙන්නේ වේදනාව නැති වූ විට නම් වේදනාව නැති කරන පරියාය යි දැන් ඔබලාට තණ්හාව නැති කරන්න හම්බ වෙන්න ඕන. චක්ඛු සම්පස්සය නිසා ඒ කියන්නේ ඇසට ප්‍රියමනාප රූපයක් ගැටුණා ම සැප වේදනාව උපදිනවා. අප්‍රිය අමනාප රූපයක් ගැටුණා ම දුක් වේදනාව උපදිනවා. උපේක්ෂා රූපයක් ගැටුණා ම උපේක්ෂා වේදනාව උපදිනවා. ඔබලාට පුළුවන් වුනොත් මේ තුන් වේදනාවේ ම අනිත්‍යය දකින්න, මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය. ඒ වගේම කණ හරහාත් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා තුන් වේදනාවක් ඇති වෙනවා. නාසය අරබයාත් සැප, දුක්, උපේක්ෂා ආකාරයෙන් තුන් ආකාරයි වේදනාව. ඒ වගේම දිව හරහා, කය හරහා, මනස හරහා. එතකොට මේ තුන් ආකාරයෙන් ම ඇති වන වේදනාව මුල් කාරණාව කර ගෙනයි තණ්හාව පැවතුණේ. යම්කිසි කෙනෙකුට ඒ ඒ වේදනාවේ අනිත්‍ය දකින්න පුළුවන් නම්, ඒ ඒ වේදනාවේ පටිච්ච සමුප්පන්න බව දකින්න පුළුවන් නම්, ඒ ඒ ස්පර්ශය නමැති ප්‍රත්‍ය නිසායි වේදනාව හටගන්නේ, ඒ ඒ ප්‍රත්‍ය නැති වන විට නැති වෙනවා කියල දකින්න පුළුවන් වුනොත්, මෙන්න මේ දැක්මට කියනවා සම්මා දිට්ඨි කියලා – මෙන්න මේ දැක්ම (සම්මා දිට්ඨිය) ජීවිතය වූ දවසට, එළඹ සිටපු දවසට. ප්‍රියමනාප වූ වේදනාව අනිත්‍යයි, අප්‍රිය අමනාප වේදනාව අනිත්‍යයි කියල ‘දන්න මට්ටම’ නොවේ පින්වතුනි මේ කියන්නේ, ‘දකින මට්ටම’ – දන්නවා සහ දකිනවා කියන විට ලොකු අර්ථ 2ක් තියනවා. දන්නවා කියන මට්ටමේ දී අසිහියයි වෙන්න පුළුවන්. කලකිරෙන්නෙ නෑ. දකිනවා කියන මට්ටමේ දී අසිහිය කියලා යෙදෙන්නෙ නෑ, කලකිරෙනවා.

මම ‘දකිනවා’ කියන එක උපමාවකින් පැහැදිලි කරනවා. මේ උපමාව මතක තියා ගන්න ‘දකිනවා’ කියන කාරණාව තේරුම් ගන්න. පාරේ මේ පින්වතුන් යන විට සතෙක් ජරා කරල අසූචි ටිකක් තිබුනොත්, දැන් බැලූ බැල්මට ඇසෙන් දකින විටම මෙතන තියෙන්නෙ අසූචි කියල පෙනෙනවා. පෙනෙන හින්දා බැරි වෙලාවත් අසිහියකින් වත් ඔය ටික අර ගෙන සාක්කුවේ දා ගන්නවා ද?. වෙන්නෙ නෑ. දැන් මේක ඔබලා හිතල බලලා ද? – ‘නෑ. මේක අසූචි නේද. මේක අසුභ යි නේද, අසාරයි නේද’ කියලා හිතන්න ඕන ද?. හිතුවත් නැතත් ඒ දෙස බලපු පමණින් ම පෙනෙනවා. ඕන නම් හිතන්න, ‘නෑ නෑ, මේක හොඳයි, මේක සුබ යි, මේක හරි‍ හොඳ අරමුණක්’ කියලා හිතන්න. එහෙම කොච්චර හිතුවත් කයත් පස්සට අදිනවා, හිතත් පස්සට අදිනවා මේ ‘දකින මට්ටම’ නිසා. ‘දකිනවා’ කියල කියන්නේ ඊට අනුව මෙනෙහි කලත්, නො කළත් පෙනෙනවා. ඒ වගේ හැම වේදනාවක් ම අනිත්‍ය වෙනවා කියන එක දකින මට්ටමට ආවොත් අන්න එදාට අනිත්‍ය වෙන, අනිත්‍ය වූ වේදනාව ගන්න යන්නෙ නෑ. අනිත්‍ය වූ සැප වේදනාව ගන්න යන්නෙ නෑ. අනිත්‍ය වූ දුක් වේදනාව ඉවත් කරන්න යන්නෙ නෑ. ඒක තමන් ප්‍රතිචාරයක් දැක්වුවත් නො දැක්වුවත් අනිත්‍යයි කියන එක දකින මට්ටමට එනවා.

එතකොට ඔතනට යන්න තව ප්‍රතිපදාවක් තියනවා, තව විස්තර කරන්න ඕන – ශීල, සමාධි, ප්‍රඥා. මම මේ දේශනා සියල්ල අවසානයෙ දී ඒ සියල්ලේ ම මාර්ග ටික එකට එකතු කරල මාර්ගය ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඒ ඒ ධර්මතාවය තියන ඒ ඒ පරියායන් තේරුම් කර ගන්න. මේ ඕනෑම පරියායකින් අන්තිමට එළඹෙන්න ඕන සම්මා දිට්ඨි කියල. ඒ ඒ පරියාය තමයි අපට හසු වෙන්න ඕන. නමුත් ඒ සම්මා දිට්ඨිය ජීවිතයෙන් විශේෂයෙන් දකින්න ඕන කුමන ආකාරයකට ද කියලා වෙනම ම විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැනට මම ඒ ඒ න්‍යායේ දී අපේ ජීවිතය තුළ තියන ඒ ඒ තැන්වලින් හඳුන ගන්න ඕන අපේ චරිතයේ නොයෙක් ලක්ෂණ ටික විතරක් මතක් කරනවා. ඒ නිසා මෙතන දී තණ‍්හඤ‍්ච පජානාති කියන විට මේ ස්වාමියා හඳුන ගන්න. ස්වාමියා මේ විදියට අපෙන් වැඩ ගන්නේ අපි ව යොදවන්නේ වේදනාව නිසායි කියලා දැන ගන්න – වේදනාව කෙරෙහි තණ්හාව නිසායි කියල. ඒ වේදනාව නිරුද්ධ වුනොත් තණ්හාව නැමති ස්වාමියාට පවතින්න බැහැ. එහෙම වුනොත් අපට විවේකයෙන් ඉන්න පුළුවන්, වැඩ ගන්නෙ නෑ කියල දකින්න. එහෙම වුනොත් දුක නෑ කියල දකින්න. ඊට පස්සෙ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වේදනාව, තණ්හාව නැති කරන මාර්ගයයි කියල දකින්න. ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා වඩල එක තැනකට ගන්න ඕන ක්‍රමයක් තියනවා. ඒ ගන්න ක්‍රමයේ දී ඔබලාට මේ පරියායෙන් පෙන්වන්නේ කුමක් ද? හැම වේදනාවක් ම අනිත්‍යයි කියන එක දකින මට්ටමට ගේනවා. අපි දැන් උපාදානයට හේතුව තණ්හාවයි කියල තණ්හාව හික්මන්න හේතු ටික දකින තැනටත් ඇවිල්ලා, තණ්හාව ඇති කරන හේතුව වන වේදනාව නැති කරන තැනටත් ඇවිල්ලා – මේ ඔක්කොම එක ම අර්ථයකින් වෙනවා. නමුත් මේ මේ පර්යායෙන් දකින්න.

එතකොට ඔබලා හැම වේදනාවක් ම අනිත්‍යයි කියන තැන දකින මට්ටමට පැමිණි විට මෙන්න මේ තණ්හාව නැති වෙලා ජරා මරණ ටික නැති වෙනවා. ඒ දකින මට්ටමට තමයි මේ සම්මා දිට්ඨිය කිව්වේ. ඉතිං මෙන්න මේ තණ්හාව පිළිබඳ ව ධර්ම දේශනාව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරල සැරියුත් මහරහතන් වහන්සේ ම තවදුරටත් දේශනා කරනවා,

“යතො ඛො ආවුසො, අරියසාවකො එවං තණ‍්හඤ‍්ච පජානාති, එවං තණ‍්හසමුදයඤ‍්ච පජානාති, එවං තණ‍්හනිරොධඤ‍්ච පජානාති, එවං තණ‍්හනිරොධගාමිනි පටිපදඤ‍්ච පජානාති, සො සබ‍්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්‍වා, අසමීති දිටඨිමානානුසයං සමූහනිත්‍වා, අවිජ‍්ජං පහාය විජ‍්ජං උප‍්පාදෙත්‍වා දිට්ථෙවධම‍්මේ දුක්‍ඛස‍්සන්‍තකරො හොති.” කියලා.

 

මෙහෙම යම් කිසි කෙනෙක් තණ්හාවත්, තණ්හාවේ ඇතිවීමත්, තණ්හාවේ නැතිවීමත්, නැති කරණ මගත් දැන ගත්තොත් එයාට පුළුවන් වෙනවා සියලු ආකාරයෙන් ම – රාගානුසයං පහාය – රාගානුසය නැති කරල, – පටිඝානුසයං පටිවිනොදෙත්‍වා – පටිඝානුසය දුරින් ම දුරු කරල දාල, මම වෙමි යි කියන දැකීම හා මානය නසලා, – අවිජ‍්ජං පහාය විජ‍්ජං උප‍්පාදෙත්‍වා – අවිද්‍යාව දුරු කරල, විද්‍යාව උපදවා ගෙන, – දිට්ථෙවධම‍්මේ දුක්‍ඛස‍්සන්‍තකරො හොති – මේ ජීවිතයේ ම දුක නැති කර ගන්න පුළුවන්, අවසන් කර ගන්න පුළුවන් කියල සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කලා.

මේ විදියට තමන්ගේ ස්වාමියා හඳුන ගෙන, ස්වාමියාගේ මෙච්චර කල් අපෙන් ගත්ත වැඩ ගැන කලකිරිල, මේ ස්වාමියා ගැන කලකිරිල, තවදුරටත් ස්වාමියාට වැඳ ගෙන කටයුතු කරන්නෙ නැතිව, ස්වාමියාට පොඩ්ඩක් අකීකරු වෙලා, ස්වාමියා අකමැති පැත්තක් තමා බණ අහනවා, ධර්මයේ යෙදෙනවා, ශීල සමාධි ප්‍රඥා කියන්නේ. ස්වාමියා නසන්න තියන පැත්ත. නසන්න තියන පැත්තට ස්වාමියා කිසි දිනක කැමති වෙන්නේ නෑ. ඒ නිසා ස්වාමියා අකමැත්තෙන් වුනත් ස්වාමියා නසන පැත්තට තමන් ගිහිල්ල, මේ සසර දුක අවසන් කර ගන්න කියල මතක් කරනවා. ස්වාමියාගේ යටතේ ජීවත් වන නිසායි, ස්වාමියාගේ වැඩ කරන නිසායි, පින්වතුනි බණ දහමට ලෝකෙ කවුරුත් කැමති නැත්තේ. ස්වාමියා නැසෙන පාරට යොමු කරන්න ස්වාමියා කැමති වෙන්නේ නැති බව තේරුම් කර ගන්න. ඔබලා ස්වාමියාට කීකරු ව යටත් වෙන්න ඕන නම් ඒ විදියට ඉන්න කියල දකින්න, නැති නම් අර පැත්තට යන්න කියල දකින්න. ෴

 

**************************

නිවන් දැකීමට නම්…

avisopama upamava

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සසර ගැන කතා කරනවා. සසරින් එතෙරවීම ගැන කතා කරනවා. දුක ගැන කතා කරනවා. දුකේ නැති බව කතා කරනවා. නිවන් දකින්න ඔක්කෝමලා කැමතියි. නිවන් දකින්න උත්සාහවත් වෙනවා. එහෙම නේ. එතකොට මේ නිවන කියන්නෙ මොකක් ද? මොකේ නිවීම ද?

කොහොම ද අපි ඒක හඳුනගන්නේ?

දැන් අපි තුළින් මෙන්න මේ ස්වභාවය උපදවා ගැනීමයි. මෙන්න මේ ස්වභාවයට මනස පත්කර ගැනීමයි නිවන කියන්නේ කියලා අපි අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතුයි. දැක්ක යුතුයි. එතකොට තමයි අපිට ඒ නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්. නොදන්නා තැනකට යන්න බෑනෙ අපිට. දන්න තැනකට එපැයි යන්න. නේද?

එතකොට අපි ඉස්සෙල්ලා කොහොමද හරියට නිවන කියන එක දැනගන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

‘‘කතමෙ ධම්මා සංඛතා, කතමෙ ධම්මා අසංඛතා’

සංඛත ධමයෝ කියලා කියන්නේ මොනවාද?

අසංඛත ධමයෝ කියලා කියන්නේ මොනවාද?

බුදුරජාණන් වහන්සේ කතමෙ ධම්මා සංඛතා, කතමෙ ධම්මා අසංඛතා කියලා මාතෘකා කරලා, සංඛත ධමයොයි, සංඛත ධමයන්ගෙ ලක්ෂණ ටිකයි. හොඳට පෙන්නනවා. අසංඛත ධමයොයි අසංඛත ධමයන්ගෙ ලක්ෂණ ටිකයි හොඳට පෙන්නනවා. අපි පොඞ්ඩක් ඒ සංඛත ධමයොත්, සංඛත ධමයන්ගේ ලක්ෂණ ටිකත්, අසංඛත ධමයොත් අසංඛත ධමයන්ගේ ලක්ෂණ ටිකත් කතා කරමු. කතා කරලා අනුපිළිවෙලින් ඒ අසංඛත ස්වභාවය සාක්ෂාත් කරගන්නෙ කොහොම ද කියලත් කතා කරමු. එතකොට එතෙන්ට අන්තර්ගතයි ඔය අපි කතා කරන හැම දෙයක් ම. අර්ථ සහිතව එතෙන්ට එනවා.

බුදුරජාණන් වහන්සේ කවදාවත් ස්කන්ධයන්ගේ නැතිවීමෙන් නිවන පනවන්නෙ නෑ. මේ ස්පර්ශ ආයතන හයේ නැතිවීමෙන් අසංඛත බවක් පනවන්නේ නැහැ. පනවන්න බැහැ. අපි ඒක අනුක‍්‍රමයෙන් කතා කරමු. ඇයි එහෙම නොකරන්නෙ කියන එකත්, භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රශ්නයක් අහනවා.

‘‘කතමේ ධම්මා සංඛතා’’ සංඛත ධමයෝ කියලා කියන්නේ මොනවාද? ඒකෙන් පෙන්නනවා, ‘‘චතුසු භූමිසු කුසලං අකුසලං – චතුසු භූමිසු විපාකො තිසූ භූමිසු කිරියා අව්‍යාකතං’’ ‘‘සබ්බං රූපං ඉමෙ ධම්මා සංඛතා’’

සංඛත ධමයෝ ටිකක් විස්තර කරලා කිවුවොත්, සතර භූමියේ ම තියෙන කුසල ධම.

සතර භූමිය කිවුවෙ මොනව ද?

කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න භූමිය.

අපරියාපන්න කියන්නේ ලෝකෝත්තර භූමිය, එතකොට මේ කාමභූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න නැත්නම් ලෝකෝත්තර භූමිය කියන මෙන්න මේ සතර භූමියෙම තියෙන කුසල් ධර්ම ගත්තහම, කුසල කියලා කියන්නෙ මාර්ග ටික. මේවා සංඛතයි. සියළුම අකුසලයක් තියෙනවා නම් ඒ අකුසල ධමත් සංඛතයි. චතුසු භූමිසු විපාකො – සතර භූමියෙම තියෙන විපාක කියලා ටිකක් තියෙනවා නම් මෙන්න මේ විපාකත් සංඛතයි. තීසු භූමිසු කිරියා අව්‍යකතා – තුන් භූමියෙ තියෙන කි‍්‍රයා කියලා ටිකක් තියෙන්නෙ. කි‍්‍රයා සිත් කියලා තියෙනවා. ‘‘න කුසලං, න අකුසලං, න විපාකං’’ කුසල් ද වෙන්නෙත් නෑ. අකුසල් ද වෙන්නෙත් නෑ. කමත් නොවෙන, විපාකෙකුත් නොවෙන ඒ ඒ ධමයන්ගේ අර්ථ සිද්ධිය සඳහා පමණක් සිත් උපදින, පැවැත්ම පිණිස පවතින, ඔය ධ්‍යාන අභිඥා ලාභීන්ගේ ධ්‍යාන අභිඥාවන් උපදවාගන්න, පවත්වා ගන්න උපකාරී වෙන සිත් තියෙනවා. ඒවාට කියනවා කි‍්‍රයා සිත් කියලා. ඒ වගේ ම හැම රූපයක් ම ගත්තහම මෙන්න මේ ටික සංඛතයි.

එතකොට මෙන්න මේ ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනවා නම් මේ සතර භූමිය අනුව ගිය ස්කන්ධයන්ගේ, ධාතුන්ගේ, ආයතනයන්ගේ යම් පැවැත්මක් තියෙනවා නම්, ඉන්ද්‍රියන්ගේ යම් පැවැත්මක් තියෙනවා නම් මෙන්න මේ ටික තමයි සංඛත කියලා කියන්නේ. ඔය ටික කෙටි කරලා, කැටි කරලා ගත්තහම කියන්න පුළුවන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය කියලා. එතකොට මේ සංඛත ධාතුවට කෙටියෙන් නමක් කිවුවහැකි පංචස්කන්ධය. එතනදී, දැන් මේ ස්කන්ධයන්ගේ තුන් භූමිය අනුව ගිය, යම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයක් තියෙනවා නම්, කුසල කමයක්, අකුසල කමයක්, විපාක කි‍්‍රයා තියෙනවා නම්, හැම රූපයක්මත්, මෙන්න මේ ටික අයිතියි පංච උපාදාන ස්කන්ධයට.

අපරියාපන්න භූමිය කියලා අපි කතා කරපු ටික පංචඋපාදාන ස්කන්ධයට අයිති නෑ. ඒ ටික අයිති ස්කන්ධ කියන ටිකට. නමුත් මේ ඔක්කොම සංඛතයි. සංඛත කියලා කියන්නේ සකස් වෙච්ච, ප‍්‍රත්‍යයෙන් හටගත්ත, හේතුන්ගෙන් හටගත්ත කියන අදහස. මේ සංඛත ධාතුවේ කිසිම දෙයක් නැහැ. එහෙම්පිටින්ම ඒවා. ඒ දේ නොවන ද්‍රව්‍ය කාරණාවන්ගෙන් හැදිච්ච දේවල්.

මං කලින් කියපු උපමාවක් තියෙනවා. තේ එක කියන එක ගන්න. තේ කියලා එකක් ලෝකෙ කොහේවත් නෑ. තේ එක නොවෙන කෑලි ටිකක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නෙ. සීනි, ඉගුරු, තේ කොළ, උණුවතුර කියලා. මේවා හේතු ටිකක්, ප‍්‍රත්‍ය ටිකක්, මේ වගේ හේතු ටිකක් එකට එකතු කළහම ඔන්න හැදෙනවා තේ එකක්. එතකොට තේ එකට කියනවා සංඛතයි. සකස් වෙච්ච එකක්. හැදිච්ච එකක්. පිළියෙල වෙච්ච එකක්. එතකොට හැදිලා තියෙන්නෙ මොනවයින් ද? තේ එක නොවෙන දේවල් වලින්. මේ සංඛත ධාතුවෙ අපිට හම්බවෙන හැම වස්තුවක් ම එහෙමයි. අපිට හම්බ වෙන දේ ඇත්ත නෙමෙයි කියන්නෙ, අපිට මෙහෙම දේවල් හම්බ වෙන්නෙ එහෙම දේවල් නොවෙන කෑලි ටිකක් එකතු වෙලා. දැන් අපි මේ පුද්ගලයෙක් කියලා හිතන තැන කය කියලා එකක් හම්බ වෙනවා. හම්බ වෙන මේ රූපෙ බලන්න. ඒ දේ නොවෙන කෑලි ටිකක් එකතු වෙලා තියෙන්නෙ. කෙස්, ලොම්, නිය, දත්, හම්, මස් කියලා. මෙහෙම කොටස් රාශියක් එකතු වෙලා හැදිච්ච එකක් තමයි අපි කෙනෙක් කියලා රැවටෙන මේ රූපෙ. එතකොට මේ රූපෙට කියනවා සංඛතයි. සකස් වෙච්ච එකක්. ප‍්‍රත්‍යයෙන් හටගත්ත එකක්.

හේතුන්ගෙන් හටගත්ත එකක්. ඒ වගේ දැන් ගහක් ගත්තත්,  ඕනම දෙයක් ගත්තත් සංඛතයි කියලා කියන්නෙ ඒකයි. සකස් වෙච්ච කියලා, ප‍්‍රත්‍යයෙන් හටගත්ත කියලා, කියන එකෙන් කියන්නෙ ස්ථීර නෑ. මොකද ඒ හම්බවෙන දේ නොවෙන කෑලි ටිකක් එකතු කරලා නම් හැදිලා තියෙන්නෙ, එතන තියෙන කෑලි ටික වෙන් වෙන් වුනාම ඒ හම්බ වෙච්ච ඵලය ඉතුරු වෙන්නෙ නෑ. පවතින්නේ නෑ. ඒක ලිහිලා යනවා. ඒ නිසා අනිත්‍යයි. යමක් හේතුන්ගෙන් නම් හටගත්තෙ, ප‍්‍රත්‍යයන්ගෙන් නම් හටගත්තෙ, ඒ හේතු ප‍්‍රත්‍යය නැති වෙනකොට හටගත්ත දේ නැතිවෙනවා. එතකොට අපිට හම්බවෙන්නෙ හැම වෙලාවෙම ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. අපි හටගත්ත දේටයි බැඳෙන්නෙ. නමුත් එතන අපි බැඳිලා හිටියට, ඒ වස්තුව හැදිලා තියෙන්නෙ යම් යම් ධමතා ටිකකින් නම්, ඒ ධමතා ටික ලිහෙනකොට ප‍්‍රත්‍ය ටික වෙන් වෙනකොට අර හටගත්ත ඵලය නැතිවෙනවා. එතකොට අපිට අපි කැමති දේ නැතිවුනා කියන එක විතරයි පෙනෙන්නෙ. වෙච්ච දේ මොකක් ද කියලා දන්නේ නෑ. ඇතිවෙච්ච හැටි දන්නේ නෑ. නැතිවෙච්ච හැටි දන්නෙත් නෑ.

නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි. ප‍්‍රත්‍යයෙන් හටගත්ත දේවල් ප‍්‍රත්‍ය නැති වෙනකොට නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඒක දුකයි. ඒක මම මගේ කියලා ගන්න එහෙම සුදුසු නෑ. එහෙනම් ඒක තමන්ගෙ නෙමෙයි අනාත්මයි. එතකොට මේ සංඛත ධාතුවෙ තුන් භූමිය අනුව ගිය ටිකට අපි කිවුවා, පංච උපාදානස්කන්ධය කියලා. ඒ තුන් භූමියට කියන තව නමක් තමයි දුක්ඛ සත්‍යය කියන එක. දුක්ඛ සත්‍යයට තව නමක් පංච උපාදාන ස්කන්ධ කියලා කියන්නෙ. තුන් භූමිය කියලා කියන්නෙ දුක්ඛ සත්‍යය.

එතකොට සංඛතයි කියලා කියනකොට අපිට හොඳට නුවණ තියෙන්න  ඕන. සංඛතයි කිවුවෙ එහෙම්පිටින් ම තිබුණ එකක් නෙමෙයි කියලයි මේ කියන්නෙ. ඒ හම්බ වෙන දේ පවතින දේ නොවෙන ධමතා රාශියකින් හැදිච්ච දෙයක් කියලයි මේ කියන්නෙ, සකස් වෙච්ච එකක් කියලයි මේ කියන්නෙ, කියන නුවණ අවබෝධය අපිට තියෙන්න  ඕන.

එතකොට මේ සංඛත ස්වභාවය ගත්තහම ගොඩාක් ගැඹුරට යනවා. අපි ඔය පොඩි වචන ටිකකින් කතා කළේ. ඔය සංඛත ස්වභාවය හරියට ඉගෙන ගන්න ගියොත් අපිට ඉගෙන ගන්න වෙනවා ප‍්‍රත්‍ය විසි හතරක්.  ඕකට කියනවා සූවිසි ප‍්‍රත්‍යය කියලා. පට්ඨානය කියලා

කියන්නෙ.  ඕකෙන් කියන්නෙ, සංඛත, සකස් වෙන්න යමක් හැදෙන්න උපකාරි වෙන ප‍්‍රත්‍ය ටික. හරියට ම මේ සංඛත ධාතුව කෙනෙක් ඉගෙන ගත්තොත්, ඉගෙන ගන්නවා නම් මනාකොට ඉගෙන ගන්නවා නම්, එයාට ඉගෙන ගන්න වෙනවා පට්ඨානප‍්‍රකරණය. මේ පට්ඨානය තමයි ශාසනය පිහිටුවලා තියෙන තැන. ඒ කියන්නේ මේ සංඛතය කියන එක ගැන කතා කරොත්, මැනවින් ම කතා කරොත්, මැනවින් ම පෙන්නන තැන තමයි මේ පට්ඨානෙ. ඒ කියන්නෙ අපි දැන් ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තා කිවුවනේ. සංඛතයි කියන්නෙ, සකස් වෙච්ච, රැස්වෙච්ච, ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්ත. එතකොට ඒ සූවිසි ප‍්‍රත්‍යය කියන එකේ ප‍්‍රත්‍ය විසි හතරක් පෙන්නනවා. මෙන්න මේ ප‍්‍රත්‍ය විසි හතර එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ මේ ප‍්‍රත්‍ය යෙදිලා හටගන්න දේවල් තමයි පෙන්නන්නෙ. මේ සංඛත ධාතුව හැදෙන හැටි. සකස් වෙන හැටි. උපදින හැටි.

යම් ඵලයක් උපදින කොට ඒකට ප‍්‍රත්‍ය වෙන දේවල් එකින් එක, එකින් එක, ඔය ආරම්මණ ප‍්‍රත්‍යය, හේතු ප‍්‍රත්‍යය, අධිපති ප‍්‍රත්‍යය කියලා මේ වගේ මේ ප‍්‍රත්‍ය වලින් පෙන්නන්නේ  ඕක. ඉතින්  ඕකෙදී, ඔය ප‍්‍රත්‍යයේ කෙළවරට ගියාම බොහොම වටිනා තව කාරණා ටිකක් තියෙනවා. අන්තිමට ගත්තහම අත්ථි ප‍්‍රත්‍යය සහ නත්ථි ප‍්‍රත්‍යය කියලත් ප‍්‍රත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ සංඛත ධාතුවෙ යමක් රැස්වෙන්න, නැහැයි කියන එකත් ප‍්‍රත්‍ය වෙනවා. ඇතිකම කියන එකකින් විතරක් තියෙනවා නෙමෙයි. නැහැයි කියන කම ද ප‍්‍රත්‍යයක් හේතුවක්. දැන් ඒකෙන් පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ කිසිම කලෙක දුක්ඛ සත්‍යයකින් නිවනක් පනවන්නෙ නෑ.

නිවන කියන්නෙ මොකක් ද? අපි අනුමානෙට අහලා තියෙනවා අජරාමරකම, ජරා මරණ නැතිකම කියලා. ජරා මරණ නෑ කියන්නෙ දුක නෑ කියන එකනෙ. නමුත් ඒ අජරාමර නිවන, ජරා මරණ නැති නිවන, බුදු රජාණන් වහන්සේ කවදාවත් දුක්ඛ සත්‍යය නැති වීමෙන් පනවන්නේ නෑ. පනවලා නෑ. ඒක මං තේරුම් කරලා දෙන්නම්. ස්පර්ශ ආයතන හයේ නැතිවීම කියන තැනින් බුදු රජාණන් වහන්සේ නිවන පනවලා නෑ. එහෙම පනවන්න බැහැ. මොක ද ඒ ටික හදන හේතුව නැතිවෙලා නැත්නම් ආයෙත් හැදෙනවා. ඒ නිසා දුක් වූ ස්කන්ධයන්ගේ නැතිකම නිවනයි කියලා පනවන්න බෑ. දුක් වූ ස්කන්ධයන්ගේ නැතිකම සංඛතයි. ස්කන්ධයෝ නැතැයි කියන ප‍්‍රත්‍යය නිසා ඇතිවෙච්ච එකක්, ඔය නැති කම. 05

ඔතෙන්දී මට කියන්න  ඕනේ මේ සංඛත ධාතුව අපි ඉගෙන ගන්න ගියොත් ඇතිකම සහ නැතිකම කියන දෙකම අපිට හම්බ වෙනවා සංඛතයි කියලා. ඒ නිසා අපි අසංඛත ස්වභාවය කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා සංඛත ධාතුව කියන එක හොඳට තේරුම් ගන්න වෙනවා. සංඛත ස්වභාවය තේරුම් නොගත්තොත් අපි නිවන කියලා හිතන්නෙ, රැවටෙන්නෙ ඔය සංඛතයෙම තව පැත්තකට. එතකොට දැන් මං කිවුවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ධමයෝ කෙටියෙන් ගත්තහම සංඛතයි කියලා කියන්න පුළුවන්.

සංඛතයි කියන්නේ රැස්වෙච්ච, ප‍්‍රත්‍යයෙන් හටගත්ත, ඒ ප‍්‍රත්‍යය ගැන හරියට කතා කරනවා නම් අපිට කතා කරන්න වෙනවා සූවිසි ප‍්‍රත්‍යයම එකතු කරලා. එතන දී යම් යම් දේවල් උපදින්න පුළුවන් ප‍්‍රත්‍යයක් තමයි ප‍්‍රත්‍ය නැතිකම. වෙන ප‍්‍රත්‍යයක් නැතිකම කියන එක ප‍්‍රත්‍යයක් වෙලා. දැන් අපි කියමු. අපිට බඩගින්න කියන එක ගන්නකො. බඩගින්න කියන එක සංඛතයි. ප‍්‍රත්‍යයෙන් හට ගත්ත එකක්. බඩගින්න කියන එක ඇතිවුනේ මොකක් හින්ද ද? ගත්ත ආහාර පාන නැතිකම, නැතිවුනා කියන කම නිසා ඇතිවෙච්ච එකක් තමයි බඩගින්න. එතකොට නත්ථි ප‍්‍රත්‍යයෙන් උපන්න එකක්. මේ ධමය නැතැයි කියන එක නිසා ඇතිවෙච්ච එකක් තමයි බඩගින්න. දැන් බඩගින්න ඇතිකම සංඛතයිනේ. ඊට පස්සේ අපි ආහාර පාන ගන්නවා. ගන්නකොට මොකද වෙන්නේ? නත්ථි ප‍්‍රත්‍යය අත හැරලා අත්ථි කියන ප‍්‍රත්‍යයට වැටෙනවා. ආහාර ඇත කියන එකට. එතකොට ඒ ඇත කියන ප‍්‍රත්‍යයෙන් මොකද වෙන්නෙ. බඩගින්න කියන එක නැතිවෙනවා. දැන් බඩගින්න කියලා ඉස්සෙල්ලා තිබුන එක නැතිවෙනවා. දැන් බඩගින්න කියන එක නෑ.

බඩගින්න නැතිකම කියන එක සංඛත ද? අසංඛත ද? සංඛතයි. ඒක සංඛතයි. ඇයි ඒ? අත්ථි කියන ප‍්‍රත්‍යය නිසයි මේ නෑ කියන එක තියෙන්නේ. එතකොට දැන් බඩගින්න කියන එක ඇති කමත් නැති කමත් කියන දෙකම සංඛතයි නේ. ප‍්‍රත්‍යයෙන් ඇතිවෙලා තියෙන්නේ. එතකොට බඩගින්න විතරක් සංඛතයි. බඩගින්න නැතිකම නිවීමයි කියලා ගත්තොත් හරි ද? වැරදියි. ඒ වගේ දකින්න හැම දුකකම, දුක ඇතිකම වගේම දුක නැතිකමත් සංඛතයි. එතකොට දුක් වූ ස්කන්ධයෝ, මේ නාම රූප දෙක, ස්පර්ශ ආයතන හය ඉතුරු නැතුව ම නැතිවෙනවා, මරණාසන්න මොහොතෙ දී. එහෙම වුනොත් අපි භාවනා කළත්, නැතත් ඒකාන්තයෙන් ගොඩයි. ඇයි ඒ? දුක් වූ ස්කන්ධයන්ගේ නැතිකම නිවන වුනොත් හොඳට තේරුම් ගන්න  ඕනෙ. මේ ස්කන්ධයන්ගේ ඇතිකමවත්, නැතිකමවත් නිවන නෙමෙයි. එහෙනම් අපි හොඳට භාවනා කරලා කරලා හොඳ සමාධියක් ඇතිකරගෙන කිසිම ස්කන්ධයක් හසු නොවෙන ශුන්‍යතාවයකට මනස ගත්තොත් හරි ද? හරි නෑ. ඇයි ඒ? ඇයි හරි නැත්තෙ. ඇයි ඒ නිවන නෙමෙයි කියන්නේ. කිසිම නිමිත්තක් නැති අනිමිත්ත බව නිවන නෙමෙයි ද? ඔන්න දැන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ටික හම්බවෙන තැන දුක. යම්කිසි කෙනෙකුට ඒ දුක් වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන එකම ස්කන්ධයක්වත් තමන්ගෙ මනසට ස්පර්ශ වෙන්නෙ නැත්නම්, හමුවෙන්නෙ නැත්නම්, අනිමිත්ත බවකට, ශුන්‍යතාවයකට, මනස පත්කර ගන්න පුළුවන් වුනොත් මෙන්න මේකට කියන්න බැරි ද අපිට අසංඛතයි කියලා. දැන් රූප, වේදනා, සංඥා, සංඛාර විඥාන, තියෙනව ද? ඒකට කියන්න බැරිද අපිට නිවන කියලා.

එතනත් ශුන්‍යතාවයක් තමයි. ඇත්ත. නමුත් ඒක ද සංඛතයි. ඒක නිවන නෙමෙයි. ඇයි ඒ. මේ ස්කන්ධයෝ නැතිකම නිසා ඇති වෙච්ච එකක් ඒ. ඒකෙ වෙනස සොයාගත්ත හැකි. අපි ආපහු ස්කන්ධයෝ පරිහරණය කරන තැනට ආවම, අර ශුන්‍යතාවය නැතිවෙනවා.

ස්කන්ධයන්ගෙන් මිදිලා අපිට කිසිම දෙයක් නැති, අරමුණක් නැති, ශුන්‍යතාවයකට එළඹෙන්න පුළුවන්. ඇත්ත, ඒකත් යම් නිවීමක් තමයි. නමුත් ඒ විමුක්තිය ඒ ශුන්‍යතාවය ඒ අනිමිත්ත බව කෝප්‍යයි නම්, වෙනස් වෙනවා නම්, වෙනස් වෙනවා කියන්නෙ අපි රූපාදී අරමුණු පරිහරනය කරන ලෝකෙට ආවම අර ශුන්‍යතාවය තියෙනව ද අපේ මනසෙ. නෑ. එතකොට විටෙක තියෙනවා, විටෙක නැතිවෙනවා නම්, මේ අනිමිත්ත බව වෙනස් වෙනවා නෙමෙයි ද? වෙනස් වෙනවා. එහෙනම් දැන් නිමිති ටික ඇතුලත කිසිම නිමිත්තක් ඇසුරු කරලා සැනසිල්ලක් ලබන්න බෑ. ඔක්කොම සංඛතයි. යමක් සංඛතයි නම් ඒකෙ ලක්ෂණ ටිකක් තියෙනවා. අනිත්‍යයි, දුකයි. තමන්ගෙ නෙමෙයි. එහෙනම් ඒ කියන්නෙ අජරාමර නෑ. ඔන්න කිසිම නිමිත්තක් ඇසුරු කරලා නෑ.

ඊට පස්සෙ කිසිම නිමිත්තක් නැතිකම ඇසුරු කරලත් හරියන්නෙ නෑ දැන්. ඇයි? කිසිම නිමිත්තක් නැතිකම ගත්තහම ඒකත් අනිත්‍යයි. ඇයි? ප‍්‍රත්‍යයෙන් හටගත්තා. ඒකට කැමති වුනොත් ඒකටත් දුක එනවා. ඇයි දැන් කෙනෙක් ඒ වගේ සමාපත්තියකට සමවැදිලා ඉන්නවා. මේ රූපාදී අරමුණු වල ඉන්නකොට ඒ සමාපත්තිය නැතිවෙනවා. එතකොට එයාට ඒක අපරාදෙ කියලා හිතෙන්නෙ නැද්ද? හිතෙනවා. දැන් එතකොට යන්න තියෙන හැම අන්තයකට ම ගියා අපි. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ මොන මොන ප‍්‍රභේද වලින් හොයලා හොයලාවත්, ස්කන්ධ ඇතුලේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ටික සංඛතයි.  ඕවා ඇතුලෙ නම් නිවනක් මොන විදියටවත් නෑ කියලා ස්ථිරයි නේ. ඊගාවට ඉතුරු වෙලා තිබුනෙ අපිට නිවන කියලා ගන්න,  ඕවයෙ නැතිකම. දැන් නැතිකම කියන එක ඇතුලෙත්, නැතිකම කියන එකත් සංඛතයි කියනවා මේ හාමුදුරුවො.

ඇයි ස්කන්ධයන්ගේ ඇතිකමත් සංඛතයි නම්, නැතිකමත් සංඛතයි නම් දැන් එහෙනම් කෝ නිවනක්?

එක්කො දුක් වූ ස්කන්ධ තියෙන්න පුළුවන්. එක්කෝ නැතිවෙන්න පුළුවන්. ඔය තියෙනවයි නැතැයි කියන දෙකට අතරක් තියෙනව ද? ස්කන්ධයන්ගේ ඇතිකම හෝ නැතිකම කියන ධමතා දෙක ගන්න. එක්කො නිවන කියන එක තියෙන්න  ඕන ස්කන්ධයන් ඇතුලෙ. ඒක ගන්න බෑ ඒක කලම අයින් කළහැකි. එහෙනම් ස්කන්ධයන්ගේ නැතිකම තුළනෙ තියෙන්න  ඕන. නැතිකම වෙන්න එපායැ දැන්. ජරා මරණ නැතිකම. අජරාමර. අජරාමර කිවුවෙ ජරා මරණ නෑ. ජරා මරණ කිවුවෙ මොකක් ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ ජරා මරණයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ගේ නැතිකම අජරාමරයි. කියලා අපිට ගන්න පුළුවන්. දැන් එහෙමත් ගන්න බෑ. මොකද දැන් මේ නැතිකමත් ජරා මරණයි කියනවා.

හැමෝම නිවන් දකින්න උත්සාහවත් වෙනවා. නිවන හොයනවා. කැළෑවල් ගානෙ යනවා. ගල්ලෙන් ගානෙ යනවා. ආරණ්‍ය ගානෙ යනවා. මේ නිවන් දකින්න.

ඉස්සෙල්ලා හොයන නිවන බලාගන්න. සමහරවිට හම්බවෙනව ද දන්නෙත් නෑ නේද? ඒත් දන්නෙ නැති නිසා හඳුනාගන්න නම් බෑ. ඉස්සෙල්ලා දැන්  ඕනෙ හොයන්න යාම නතර කරලා, හොයන පුද්ගලයගෙ තොරතුරු ටික දැනගන්න.

දැන් අපි ඉස්සෙල්ලා හොයාගන්න  ඕනෙ නිවන කියන්නෙ මොකක් ද කියලා. දැන් මුල් ටිකේ දි අපිට තේරෙන්න  ඕන සංඛතය කියන එකට අයිති ස්කන්ධයන්ගේ ඇතිබව සහ නැති බව කියන දෙක ම. එහෙනම් ස්කන්ධයන්ගේ ඇති බව තුළින්වත් අජරාමර බව ලැබෙන්නේ නැත. නැති බව තුළින්වත් අජරාමර බව ලැබෙන්නේ නැත කියන එක තේරුම් ගන්නට  ඕන. ඒක නැති බවක් තමයි. පිළිගන්නවා. ජරා මරණත් නෑ තමයි. ඒක තදංග වශයෙන් විශ්කම්භන වශයෙන් විතරයි. ඒකට කියන්නෙ නෑ නිවන කියලා. නිවනට විශේෂ වචනයක් තියෙනවා අනුත්පාදය, අසංඛතය, ප‍්‍රත්‍යයෙන් නොකළ, ප‍්‍රත්‍යයෙන් හට නොගත්, කියලා විශේෂ වචන ටිකක් තියෙනවා. ඒ නිසා මේක පහළ වෙච්ච එකක්. හට ගත්ත එකක්. මේක ප‍්‍රත්‍යයෙන් උපන්න එකක්, ඔය නැතිකම.

එහෙනම් දැන් අපි කොහොම ද මේ අසංඛත ස්වභාවය පාදන්නෙ. මං අද දවසෙදි මේ අසංඛත ස්වභාවය කියලා, කරන්න භාවනා කමටහනක් කියලා දෙනවා. අද මුළු දවසෙම භාවනා කරන්න හුරු වෙන්න  ඕන.

එතකොට ඒ අසංඛත ස්වභාවය තේරුම් ගන්න අපි අපේ පෞද්ගලික අදහස් පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේගෙම දේශනාව සිහිකරලා බලමු.  ඕගොල්ලන්ට මතක ද චතුරාර්ය සත්‍යය?

දුක්ඛ සත්‍යය? දුක්ඛ සත්‍යය විස්තර කරනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, සංඛිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා, ඔන්න ඔය අර්ථයෙ පිහිටියාම හොඳට ම ඇති. දුකට හේතුව හැටියට පෙන්නුවෙ මොකක් ද? තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මෙන්න මේ තුන් ආකාර තණ්හාව නිසා දුක ඇතිවුනා කියලා පෙන්නුවා. ඒකට කිවුවෙ දුක්ඛ සමුදය. දුකේ හට ගැනීම. දුකේ ඇතිවීම මොකක් නිසා ද තණ්හාව නිසා.

‘‘කතමංචාවුසො දුක්ඛ නිරොධ අරියසච්චං’

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියන්නෙ මොකක් ද? කොහොම ද දුක්ඛ නිරෝධය පෙන්නන්නෙ. ‘‘යො තස්සායෙව තණ්හා නිරොධො’ ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතිරි නොකර නැති කිරිමක් වෙයි නම්, කියලා නිරෝධ සත්‍යය පෙන්නුවා. ඒකෙ ලොකු අර්ථයක් තියෙන නිසා.   නමුත් අපි ඒවා බලන්නෙ නෑ. දැන් දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා කියලා කියන්නේ මොකක් ද? ‘‘අය මෙව අරියො අට්ඨංගිකො මග්ගො’’ ඔය දුක නැති කරන මාර්ගය.

දැන් අපි බලමු. දුක්ඛ නිරෝධය නැත්නම් නිවන බුදුරජාණන් වහන්සේ පැනෙවුවෙ කොතනින් ද? තණ්හාවගේ නැති කිරීමෙන්. සමුදය දුරු කිරීමෙන්. ඇයි ඒ සමුදය දුරු කිරීම නිවනයි කියලා පැනෙවුවෙ. නිරෝධය කියලා පැනෙවුවෙ. තණ්හාව නැති කිරීම නිසා නිවන කියන එක ඇතිවෙනවා නම් ඒ නිවන සංඛතයි. ඇයි? තණ්හාව කියන එක නැතිවෙච්ච නිසා ඇතිවෙච්ච එකක්. එහෙනම් ඒක නත්ථි කියන ප‍්‍රත්‍යයෙන් හටගත්ත නිවනක්. තණ්හාව කියන එක දුක ඇති කරන හේතුව නම්, තණ්හාව කියන එක නැතිකරාම, නිවන නම්, එතකොට මේ තණ්හාව නැතිකිරීම නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයිද ඒ නිවීම.

එතකොට ඒ නිවීම සංඛත නෙමෙයි ද? ඒකෙත් එහෙනම් නත්ථි ප‍්‍රත්‍යය තියෙනවනෙ. දැන් තණ්හාව නැතිවෙච්ච නිසා ඇතිවුනානෙ. මෙතනදී බොහොම සියුම් කාරණාවක් තියෙන්නෙ. සමුදය දුරු කිරීම නිරෝධයයි කියලා පැනෙවුවෙ, තණ්හාව නැති කළොත් නිවන කියන එකක් ඇතිවෙන නිසා නෙමෙයි. තණ්හාව නැති කළාම වෙන්නෙ මොකක් ද? දුක කියන එක නොහටගන්නවා. නූපදිනවා. සමුදය දුරු වුනාම, දුක කියන එක, දුක් වූ ස්කන්ධයෝ නූපදිනවා. ඒ නූපදීම අසංඛතයි. එතකොට තණ්හාව නැති විම නිවන නෙමෙයි. තණ්හාව කිවුවෙ සමුදය. සමුදය දුරු වුනාම, දුක නැතිවෙනවා කියන එක ඵලය කියන්න සුදුසු ද? තණ්හාව නැති කළාම දුක නැතිවෙනවා කියන්න සුදුසු ද? තණ්හාව නිසා දුක ඇතිවුනා නම් තණ්හාව නැති වුනොත් දුක හට ගන්නෙ නෑ. නියම වචනෙ තමයි අනුත්පාදය.

මෙතන කාරණා දෙකක් තියෙනවා. ස්කන්ධයන්ගේ නැති කමයි. ස්කන්ධයන්ගේ අනුත්පාදයයි කියන එක දෙකක්. හොඳට මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා. මේ දෙක දෙකක්. ඒ කියන්නේ මේ ස්කන්ධයන්ගේ අනුත්පාදය නොඉපදීම අකෝප්‍යයි. වෙනස් වෙන්නේම නෑ. නමුත් නැතිකම කියන එක විටෙක ඇතිවෙනවා. විටෙක නැතිවෙනවා. දැන් ස්කන්ධයෝ නැතිකම නිසා තමයි ජරා මරණ නැත්තෙ. එක අජරාමර බවක් අපට හම්බවෙනවා. හටගත් ස්කන්ධයන්ගේ නැතිකම නිසා. තව   විදියකින් අජරාමර බවක් අපට හම්බවෙනවා. ස්කන්ධ නූපන්න නිසා.

ජාති නිරොධො ජරා මරණ නිරෝධා. ඉපදීම නැති නිසා. ඒකෙන් මං මතක් කළේ මේ නිරෝධයට තදංග, සමුච්ඡ්ද, විශ්කම්භන කියන තැනකින් නම් කරනවා. නමුත් යම් මේ සමුදය ඉතිරි නොකොට නැති කිරීම නිසා ස්කන්ධයෝ නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් නම්, මෙන්න මේ ස්කන්ධයන්ගේ නොහටගත්ත බව, අනුත්පාද ස්වභාවයට කියනවා අසංඛතය කියලා. එතකොට අසංඛතය කියලා කිවුවේ සකස් වුනේ නෑ. ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තෙ නෑ. මොකක් ද හටගත්තෙ නැත්තෙ? මොකක් ද හටගත්තෙ කියන ප‍්‍රශ්නෙම යෙදෙන්නෙ නෑ. ඒ කියන්නේ නොහටගැන්ම, යම් රූප වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ප‍්‍රත්‍ය ටිකත්, ස්කන්ධ ටිකත්, යම් සමුදය කියන තණ්හාව කියන ප‍්‍රත්‍යයෙන් නම් උපදින්නෙ, මේ තණ්හාව කියන ප‍්‍රත්‍යය නැති කරලා මේ ස්කන්ධයන්ගෙන් නූපදීමකට, නූපදින ස්වභාවයකට පත් කළොත්, දැන් නැති වෙනවා හෝ දිරනවා හෝ මැරෙනවා හෝ කතාවක් අපිට කියන්න පුළුවන් ද? නැතිවෙන්න ඇතිවෙලාවත් නැත්නම්, ඉපදෙන්නවත් නැත්නම්, ඒ නොඉපදෙන ස්වභාවයට කියනවා අසංඛත ස්වභාවය කියලා.

මේක ගොඩක් සියුම්. අපි ඔය අද වචන ටිකක් විතරයි. නමුත් මේකෙ ලොකු අර්ථයක් තියෙනවා. ඒ කියන්නෙ ස්කන්ධයක නැතිකම සහ ස්කන්ධයන්ගේ අනුත්පාද බව අතර විශාල වෙනසක් තියෙනවා.

එතකොට දැනට  ඕක තේරුම් ගන්න. මේ සංඛත ධමයන්ගේ නැත්නම් පංචඋපාදානස්කන්ධයේ අනුත්පාද ස්වභාවයට, නොහටගන්නා ස්වභාවයට පත් කරන තැනට කියනවා සෝපදිශේෂ කියලා. සියළුම ස්කන්ධයන්ගේ. නමුත් එතන සෝපදිශේෂ කියලා කියන්නේ තව ස්කන්ධ ටිකක්තියෙනවා අපි අර අපරියාපන්න භූමිය කියලා කියන්නෙ. ඔන්න ඔතෙන්ට හිත තියලා මේ පංච උපාදනස්කන්ධයෝ අනුත්පාද ස්වභාවයකට පත් කරන්න පුළුවන්. නොඉපදෙන ස්වභාවයට.

එතකොට ඒක අකෝප්‍යයි. වෙනස් වෙන්නේ නෑ. මේ ආයතන පරිහරණය කෙරුවත්, නැතත්, එයා මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදිලමයි ඉන්නෙ.

එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ අකෝප්‍ය, වෙනස් නොවෙන ස්වභාවයට පත් කරන තැනට කිවුවා, නූපදින ස්වභාවයට පත් කරන තැනට කිවුවා, සෝපදිශේෂ නිබ්බාන කියලා. එතකොට හැම වෙලාවෙම නිවන කියලා කිවුවේ අසංඛත කියලා කිවුවේ අනුත්පාද බව කියන එක මතක තියා ගන්න. අනුත්පාද බව කියලා කියන්නේ හට නොගන්නා බව. නූපදින බව. තමන් තුළ ස්කන්ධයෝ නූපදින බව ඔයගොල්ලෝ අනුක‍්‍රමයෙන් සාක්ෂාත් නොකළොත්  ඕගොල්ලන්ට නිවනක් නෑ. තේරුම් ගන්න. තාවකාලිකව ස්කන්ධයෝ නැති තැනකට හිත තබාගත්තට වැඩක් නෑ. ආපහු ස්කන්ධ පරිහරණය කරන්න එනකොට අර නැතිකම වෙනස් වෙනවා. ස්කන්ධයන් ගේ අනුපිළිවෙලට දුක් වූ ස්කන්ධයන්ගේ ඉපදීම අනුක‍්‍රමයෙන් නවත්ත නවත්තා යන්න තියෙන්නෙ.

අපි ඒකට මෙහෙම කියමු. සෝවාන් මාර්ගය ගන්න. සෝවාන් මාර්ගයෙන් කරන්නෙ මොකක් ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡුා, සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික නැති කරන එක. මේ කෙලෙස් ටික අයිති සත්‍ය හතරෙන් මොන සත්‍යයට ද? සමුදය සත්‍යයට, සෝවාන් මාර්ගයෙන් කරන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡුා, සීලබ්බත පරාමාස කියන කෙලෙස් දුරු කරන එක. සමුදය දුරු කරන එක, එතකොට යම් මොහොතක දී ඵලය කියලා කියන්නේ ඉතිරි නැතිවම අනුශයත් සමඟම ඒ කෙලෙස් ටික දුරු වෙච්ච තැන. මාර්ගයෙන් කරන්නෙ ඒ කෙලෙස් ටික දුරු කරන්න පටන් ගත්තා කියන එක. ඵලය කියන්නෙ දුරු වෙච්ච තැන. ඵලය කියන්නෙ, දුරු වුනා කියන්නෙ වෙන මුකුත් නෙමෙයි ඒ මොහොතෙමයි ඒ හේතුවෙන් හටගත්ත ස්කන්ධයන්ගේ නූපදින බව සාක්ෂාත් වෙන්නෙ. දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡුා, සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික යම් මොහොතක ද නැතිවෙන්නෙ, ඒ මොහොතෙ ඉඳලම ඒ දිට්ඨි සහගත ස්කන්ධයන් ගේ ඉපදීම නෑ. සතර අපායෙ ස්කන්ධයන්ගේ ඉපදීම ඒ මනසෙ නෑ. කවදාවත් ම නෑ. එයා එක තැනක ඉඳගෙන හිටියත් නැතත්, හිස් බවක් අරමුණු කෙරුවත් නැතත් මේ රූපාදී අරමුණු දැක්කත් නැතත් ඒ ස්කන්ධයෝ ඒ සන්තානයෙ ඉපදෙන්නෙම නෑමයි. ඒ ඉපදීම නිසා ලෝකයා දුක් විඳිනවා නම් ඒ දුක එතෙන්ට නෑ මයි. ඒ දුකෙන් මිදීම අකෝප්‍යමයි. ඒ වෙනස් නොවෙන බව වෙනස් වෙන්නේ නෑ මයි.

මත්තෙත් එයා වෑයම් කරන කොට  ඕදාරික කාමරාග, පටිඝ කියන කෙලෙස් ටික ගෙවුනා කියන්නේ ඒ මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදිම ඒ මනසෙ නෑ කියන එක. ඉපදීම නැති වුනා. ඉපදෙන්නෙ නැත්නම් ඒ අනුව ගිය ජරා මරණත් නෑනෙ. ඒ ස්කන්ධයන්ගෙ නොඉපදීම වෙනස් වෙන්නෙම නෑ. අපි වෙනදට ස්කන්ධයන්ගෙ නැතිකමක් උපදවා ගත්තා නම් ආපහු ස්කන්ධ පරිහරණයට එනකොට ඒක නැති වුනා. දැන් ස්කන්ධ පරිහරණය කෙරුවත් නැතත් මේක නැතිවෙන්න තැනක් නෑ.

මොකද ඇතිවෙන්න තියෙන හේතුව නැතිවෙලා නිසා ඇතිවෙන්නෙ නෑ. එතකොට නැතිවෙන කතාවක් කියන්න නෑ. මේ දැන් ඔක්කොම සමුදය දුරු කරන පැත්තෙන් පෙන්නන්නෙ. හැම මාර්ගයක් ම ඵලයක් ම පෙන්නලා තියෙන්නෙ කෙලෙස් ටික නැතිවෙන තැනින් විතරයි. ඊට පස්සෙ මත්තෙත් වෑයම් කරනකොට අවශේෂ කාමරාග, පටිඝ කියන හේතු ටික නැතිවෙනවා. ඒ කියන්නෙ සමුදය දුරු වෙනවා. තණ්හාව නැතිවුනා කියලා කිවුවෙ. එතකොට ඒ අනුව ගිය කාම භූමි මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම ම නෑ ඒ සන්තානයෙ. ඒ ඉපදීමම අකෝප්‍යයි.

අකෝප්‍යයි කියන්නේ මේ ආයතන ටික පරිහරණය කළත් ඒ මනස ලෝකයාගේ මට්ටමේ ස්කන්ධ, කාම භූමි මට්ටම උපදින්නෙ නෑ මයි. එතකොට එක තැනක ඉඳගෙන හිස් බව අරමුණු කරන කොට කවර කතාද නේද?

මේ ලෝකය පරිහරණය කරද්දිත්, ඒකට අසංඛතය කියලා කියන්නෙ එයා නිවන සාක්ෂාත් කරනවා. මේ නිවන අනුක‍්‍රමයට වැඩෙන්නෙ. ස්කන්ධ නිරෝධය අනුපූර්ව විදියටයි සාක්ෂාත් වෙන්නෙ.

නිවීම නිවීමම තමයි. නමුත් අරමුණු කරන්න දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡුා, සීලබ්බත පරාමාස කියන ටික දුරු කරලා දුක් වූ ස්කන්ධයෝ නූපදින ස්වභාවයට පත් කළාට, එයාට ඒ තරම් හිතට ගරු බවට ස්කන්ධයන්ගේ නැතිකම අහුවෙන්නෙ නෑ. දුක් සහගත අපාය සහගත ස්කන්ධයන්ගේ නූපදීම සාක්ෂාත් වෙලාමයි. ඒ නිසා එන දුක නෑමයි.

නමුත් ඒක සිහි කරන්න එයාට ඒ තරම් බෑ. නමුත් එන්න එන්න එන්න මේ අසංඛත ස්වභාවය අහුවෙනවා හොඳට. ඊට පස්සෙ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිඡ්ජා කියන ටික සමුදය සත්‍යය. ඔය ටික ඉතුරු නැතුව නැති කළොත් රූප භව, අරුප භව මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම නැති වෙනවා. එතකොට මේ   කෙලෙස් ටික මේ පැත්තෙන් නැතිවෙන කොට, සමුදය දුරු වෙනකොට දුක නූපදිනවා. දැන් මේ තුන් භූමිය අනුව ගිය දුක් වූ ස්කන්ධයෝ උපදින්න පුළුවන් ස්වභාවයට තිබුන හේතුව සම්පූර්ණ නැති කරලා නූපදින ස්වභාවයට පත් කරලා නම් තියෙන්නෙ, ආයෙ විටෙක නිවන අරමුණු කරනවා. විටෙක අරමුණු කරන්නෙ නෑ. එහෙම එකක් නෑ.  ඕකට කියනවා වජ්ර උපමා, රහතන් වහන්සේට. වජ්රය බිඳෙන්නේ නෑ වගේ, මේ විමුක්තිය බිඳෙන්නෙ නෑ. අකෝප්‍යයි. ඔතෙන්ට කියනවා සසරෙන් එතෙර වුනා, භවයෙන් එතෙර වුනා, දුකෙන් එතෙර වුනා, තව ඔතෙන්ට ගියාම නුවණක් එනවා ඛීණා ජාති. මගේ ඉපදීම ඉවරයි. දුක් වූ ස්කන්ධයන්ගේ ඉපදීම නෑ. ඇයි? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ඡ කියන ඒ කෙලෙස් ටික දුරු කළහම රූප භව, අරූප භව මට්ටමේ ස්කන්ධයන්ගෙත් ඉපදීම නැති කළහම, නැති කළොත් නෙමෙයි නූපදින ස්වභාවයට පත් කළොත්, කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුන් භවය අනුවම ගිය ධමයෝ තමන්ගේ සන්තානයේ නූපදින බවට පත් කළොත්, එයාට රූපී බ‍්‍රහ්මයෙක් කියලා කියන්න බෑ. බ‍්‍රහ්මයෙක් ළඟ තියෙන කෙලෙස් එයා ගාව නෑ. එහෙනම් අරූපි බ‍්‍රහ්මයෙක් කියලා කියන්න පුළුවන් ද? බෑ. ඒ මට්ටමේ කෙලෙස් නැ. එහෙනම් දෙවියෙක් මනුෂ්‍යයෙක්, යක්ෂයෙක්, තිරිසනෙක් කියලා කියන්න පුළුවන් ද? බෑ ඒ මට්ටමේ කෙලෙස් එකක්වත් නෑ. එතකොට එතන දුකෙන් මිදිලා දුක නූපදින ස්වභාවයට පත් කරලා.

ඕකට පෙන්නනවා හිස සුන් තල් කඳක් වගේ. තල් ගහක හිස ගසා දැම්මොත් ආයෙ ඒ තල් ගහ පැලවෙන්නෙ නෑ. දළු දාන්නෙ නෑ. ඒ වගේ දුක නූපදින ස්වභාවයට පත් කරලා ජීවත් වෙනවා. එතකොට ඒ තුන් භූමියෙම නූපදින ස්වභාවයට පත්වෙලා, තුන් භවයෙන් ම එතෙර වෙලා, සසරින් එතෙර වෙලා, කෙලෙස් නැති කරලා, දැන් ඉස්සෙල්ලා කියපු වචන ටික ඔක්කොම  ඕකට කියන්න පුළුවන්. නමුත් ස්කන්ධ ඉතිරිය සහිතව තව ජීවත් වෙනවා. මොකද මේ ජීවිතේ මුල් කරගෙන මේ ස්කන්ධ ටික පවතිනවා. ඔතෙන්ට තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නෙ. අපි එක එක විදියට රහතන් වහන්සේ කෙනෙක් දැක්කට, අපි පුද්ගලයෙක් දැක්කට එතෙන්ට එහෙම ධමතා ටිකක් නෑ.

එතෙන්ට තියෙන්නෙ තුන් භූමිය අනුව නොගිය, වතමානයේ හටගන්න ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයක් එක්ක ජීවත්වන නුවණක් විතරයි. එතකොට මං එතෙන්දී මතක් කළේ   අසංඛතය කියලා කියන්නෙ අනුක‍්‍රමයෙන් අපේ මනස තුල මේ ලෝකය නූපදින ස්වභාවයට පත් කර කර යාම මිසක තාවකාලිකව ස්කන්ධයෝ නැති තැනකට හිත හුරු කර කර යාම එහෙම නෙමෙයි. ඒ නැතිකම කියන එක නිවන හෝ නැතිකම කියන එකෙන් සතුටුවෙන්න පුළුවන් කමක් හෝ නෑ. මේක ටිකක් ගැඹුරුයි. ඔය ස්වභාවය අනුමානෙට මතක තියාගන්න. අසංඛත කියලා කියන්නෙ, නිවන කියලා කියන්නෙ මොකක් ද?

ප‍්‍රත්‍යයන්ගෙන් නොකළ, ප‍්‍රත්‍යයන්ගෙන් හට නොගත්, සකස් නොවිච්ච. සමුදය කියන එක දුරු කරලා ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ගේ නොඉපදීමකට පත් කළොත් ඒ නොඉපදීම කියන අනිමිත්ත බව, නොඉපදීම කියන සිද්ධිය තව ප‍්‍රත්‍යයකින් හැදිච්ච එකක් නෙමෙයි. ඒ කියන්නෙ දැන් ස්කන්ධයෝ නැති ශුන්‍යතාවය අපිට දෙආකාරයකින් අහුවෙනවා. එකක් තමයි ස්කන්ධයෝ නැති ශුන්‍යතාවයක් හසුවෙනවා. ස්කන්ධයෝ නූපදින ස්වභාවයට පත් කරලා තවත් ශුන්‍යතාවක් හම්බ වෙනවා.

ස්කන්ධයෝ නැතිකම නිසා යම් ශුන්‍යතාවයක් හම්බවුනාට ස්කන්ධයෝ ඇතිකරන්න තියෙන හේතුව නැතිවෙලා නැති නිසා ආපහු හැදෙනවා. ස්කන්ධයෝ ඇති කරන්න තියෙන හේතුව නැති වුන නිසාම ස්කන්ධයෝ නූපදින ස්වභාවයට පත් වුනා. ඒ නොහටගැන්ම අසංඛතයි කියන එක දැනට තේරුම් ගන්න අනුමානෙට. ඒකෙන් මං මතක් කළේ නිවන ගැන වෙන සංකල්පනා මවා ගන්න එපා. පොදු මනස කියලවත්, අහස වගේ කියලවත්, හිස් බවක් කියලවත්, මුකුත් නැති බවක් කියලවත්, නිමිති නැති කමක් කියලවත් ඔය පැත්තෙන් යන්න බෑ. හැම වෙලාවෙම ආධ්‍යාත්මික පැත්තෙන් තමයි යන්න වෙන්නෙ. හේතුව නැති කරලා නූපදින ස්වභාවයට පත් කර කර යන්න වෙන්නෙ. ඒ නිසා දැනට ඔන්න ඔය අසංඛත ස්වභාවය කියන එක ඔය විදියට දැනගෙන තියාගන්න. ස්කන්ධයන්ගේ අනුත්පාද බව කියන එක, අනුත්පාද නිරෝධයට පත්වෙන්න මනස ගන්න අපි කළයුත්තේ කුමක් ද?

ඒකට තියෙනවා විශාල ගමන් මාර්ගයක්. මේ ගමන් මාර්ගය අපිට එක එක විදියට විස්තර කරන්න පුළුවන්. නමුත් මේ නිවන් මඟ වෙනස් වෙන්නෙ නෑ. මාගය කියලා කියන්නෙ යන්න උපයෝගී  කරගන්න වාහනේ එහෙම නෙවෙයි. දැන් අපි මෙතන ඉඳන් කොළඹට යනවා කියන්නකො. මාර්ගය එකමයි. කෙනෙකුට බස් එකක යන්න පුළුවන්. කාර් එකක, වෑන් එකක, බයිසිකලේක හෝ පයින් යන්නත් පුළුවන්. යන වාහනේ දිහා බලලා විස්තර කරලා මේකයි මාගය කිවුවොත් හරිද? එහෙම නෑ. ඒකෙන් මං කිවුවෙ කෙනෙක් සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. සම්‍යක් ප‍්‍රධානය වඩන්න පුළුවන්.

ස්කන්ධයන්ගේ උදය වැය අරමුණු කරන්න පුළුවන්. මේ එක එක්කෙනා යන වාහන, මාර්ගය කියන එක තියෙන්නෙ එකම එක ක‍්‍රමයකට. අපි ඒකෙදි මෙහෙම ගත්තොත්, ආරම්මණ නානත්වය අපි වෙනම දැනගන්න  ඕන. අර්ථ නානත්වය වෙනම දැනගන්නට  ඕන. මාර්ගය කියලා කියන්නෙ තව පැත්තකින් ගත්තොත් චිත්ත වීථිය. ගමන් මඟ අපේ. මෙහෙම කියන කොට ද්වාරයක තියෙන චිත්ත වීථියක් සිහිකරගන්න එපා. මං චිත්ත වීථිය කියලා කිවුවෙ සිත ගෙනියන්න  ඕන ගමන් මග. සිත අරගෙන යන්න  ඕන ක‍්‍රමය. ඔය ටික හැම වෙලාවෙම තියෙන්නෙ බඹයක් පමණ ශරීරය හරහා. කිසිම වෙලාවක බාහිරින් නෑ මේ නිවන් මඟ. බාහිරින් නිවන් මඟ නෑ කියන එක තේරුම් ගන්නට  ඕන.

බුදු රජාණන් වහන්සේ හොඳට ඒ ගමන් මඟ පෙන්නනවා වම්මික සූත‍්‍රය, ආසිවිසෝපම සූත‍්‍රය වගේ සූත‍්‍රවල. දවල්ට ගිනිගන්න ?ට දුම් දමන හුඹහ හාරන්න කියලා. හාර හාරා යන අනුක‍්‍රමයක් පෙන්වනවා. ආසිවිසෝපම සූත‍්‍රයේ සර්පයෝ හතර දෙනාට උපමා කරලා, සර්පයන්ගෙන් බේරිලා, සතුරු වධකයන්ගෙන් බේරිලා වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයාගෙන් බේරිලා යන මේ අනුක‍්‍රමයක් තියෙනවා. අන්න ඒකයි මං මතක් කළේ. අපේ හිත මේ නිවන් මඟ ඔස්සේ ගෙනියන ක‍්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක‍්‍රමය අපි ඉගෙන ගන්න  ඕන. ඉගෙන ගත්තට මේකෙන් අපිට පටන් ගන්න බෑ. අපිට පටන් ගන්න වෙන්න ඉතාම සරල තැනකින්. සරල වුනත් එතන නුවණ, උත්සාහය තියෙන්න  ඕන.

කායානුපස්සනාවෙන් තමයි අපිට පටන් ගන්න තියෙන්නෙ. හැබැයි කෙළවර දක්වා ඥාණ දර්ශනය දක්වා අපි ඉගෙන ගෙන තියෙන්න  ඕනෙ. ඒකෙන් මම අද මුල් ටික මතක් කරන්නම්. ඒ ටික නැතුව අපිට එතනින් එහාට යන්න බෑ. ඒ ටිකෙන් පටන්ගෙන ඊට පස්සෙ මේ ගමන් මඟ ඊට ඔබ්බෙන් තියෙන සියුම් විතර්ක හඳුනාගන්නට  ඕනෙ. ඒ අනුව සිහි නුවණ පවත්වලා ඒ මට්ටම අතහැරෙන කොට ඊට ඔබ්බෙන් තියෙන  විතර්ක හඳුනාගන්නට  ඕනෙ. ඒ ටිකේ සිහි නුවණ පවත්වලා ඒ ටික අතහැරෙනකොට ඊට ඔබ්බෙන් තියෙන සියුම් විතර්ක අල්ලගන්නට  ඕනෙ. මේ විදියට මේ හුඹහ තුලින් නැත්නම් තමන්ගෙ මනස තුළින්මයි මේක තේරුම් ගන්න තැනට යන්න  ඕනෙ. හැමදාම ඇහැට පෙනෙන රූපෙ අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දෙ අනිත්‍යයි කිය කියා හිටියට ඒක වැඩෙන්නෙ නෑ. ඒක අල්ලගන්න බෑ. ඔය පැත්තෙන් යන්න අමාරුයි. මං දැන් ඔන්න භාවනා කරන ක‍්‍රමයක් කියලා දෙනවා. මේක හොඳට අහගන්න. දවස පුරාම මේක කරන්න  ඕන. මං මේක කියනකොට ම  ඕගොල්ලන්ට හිතෙයි අයියෝ ඔය ටික අපි දන්නවනෙ කියලා. මම දන්නවා ඔයගොල්ලො දන්න බව. නමුත් දැනගන්න නෙමෙයි මම මේ ටික කියන්නෙ, කරන්න. ඒ දන්න එකට වඩා ලොකු වෙනසක් වෙයි කරනකොට. ලොකු අර්ථයක් මේකෙන් වෙන බව දකින නිසයි, දන්න නිසයි මම මෙහෙම කියන්නෙ. දැන් ඒ ටික හොඳට අහගෙන ඒක ඒ විදියට ම කළ යුතු යි.

ආනාපාන සති කමටහන මං කියලා දීලා තියෙනවනේ. සති නිමිත්තෙ හිත තබාගෙන සිහියෙන් ආශ්වාස ප‍්‍රාශ්වාසයෙ ඉන්න. සති නිමිත්ත කිවුවෙ නාසිකාග‍්‍රය හෝ තොල් දෙක. එතන හිත තබාගෙන ආශ්වාස ප‍්‍රාශ්වාසයට සිහියෙන් ඉන්නවා. ආශ්වාස ප‍්‍රාශ්වාසය අනුව යන්නෙ නෑ. සිහියෙන් ම ආශ්වාස ප‍්‍රාශ්වාස කරනවා සති නිමිත්තෙ හිත තියාගෙන. ඔහොම ටිකක් වෙලා කරලා ඊළඟට  ඕගොල්ලන්ට තියෙන කමටහන තමයි, මම මේ කියලා දෙන විදියට තමන්ගෙ ශරීරයෙන් බැහැර ඇස් ඉදිරියට එන සත්ව පුද්ගල භාවයට එන රූපවලත්, සත්ව පුද්ගල භාවයට මතක්වෙන රූපවලත්, සත්ව පුද්ගල භාවයට දැනෙන රුප වලත්, සත්ව පුද්ගල භාවයට හිතන්න පුළුවන් යම්තාක් රූපවලත්, ඒ කිවුවෙ ඇස් ඉදිරිපිටට ආවහම මේ සත්වයෙක් පුද්ගලයෙක් කියලා හිතන්න පුළුවන් මට්ටම තියෙනවනේ. ඒ වගේ අම්මා, අයියා, දුවා, පුතා කියලා ගෙදර  ඕගොල්ලන්ට සිහිවෙන දේවල් තියෙනවනේ. ඒවයෙ පුද්ගල භාවය සිහිනොකළට මෙහෙම ඉඳගෙන ඉන්නකොට මේ අනිත් අය තව ඉන්නවා කියන හිතට දැනෙන ගතියක් තියෙනවනෙ ඉබේම. ඒ දැනෙන ඒවගෙත්, යම් තාක්  ඕගොල්ලන්ට හිතන්න පුළුවන් හැම රූප ටිකේ ම මෙන්න මෙහෙම බලන්න.

ඉස්සෙල්ලාම රූපය ගැන මෙහෙම හිතින් හිතිය යුතුයි. හිතිය යුතුමයි. පැත්තකට ගිහිල්ලා සද්ද නගලා කියන්න පුළුවන් නම් ඒත් හොඳයි. තමන්ගෙ ශරීරයෙ හරි, බැහැර සත්ව පුද්ගල භාවයට පෙනෙන රූපයක හරි, මේ කොයි එකක වුනත් කමක් නෑ. ඒ රූපයක් හිතෙන් අල්ලගන්නවා. අල්ලගෙන ඒ රූපය කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වලින් යුක්තයි. කන බොන ආහාරය නිසානෙ හැදිලා තියෙන්නෙ කියලා හිතනවා. හිතලා මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කය සවිඥානක වෙලා තියෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ යෑම ඊම් වෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප දකින බව සද්ද ඇහෙන බව තේරෙන්නෙ කියලා බලනවා. කය ඇසුරු කරගෙන පවතින නාම ධමයේ කෘත්‍ය තුනක් හැටියටත්, කයේ කය ප‍්‍රකට කරගන්න ධමතා දෙකක් හැටියටත් මේ කෑලි පහක් තියෙනවා. ඒ කිවුවෙ රූපය ගැන බලනවා මේ රූපය කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මේ වගේ කොටස් වලින් යුක්තයි නේද කියලා එකයි. ඒ රූපය කන බොන ආහාරය නිසා හැදිලා තියෙන්නෙ කියලා බැලූවා. ඔන්න කය ප‍්‍රකට වෙන්න කොටස් දෙකයි. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ රූපය සවිඥානක වෙන්නෙ. සවිඥානක කියන්නෙ මේ හැගීම් දැනීම් දැනෙන බව. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි යෑම්, ඊම් වෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නෙ. හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ. මේ පංච විඥාන මට්ටමෙන් කාම මට්ටමෙන් කෙරෙන කෘත්‍ය ටික තියෙනවනේ. කයකට අපි මෙච්චර කල් බැන්දෙ. කය සහිත කෙනෙක් රූප බලනවා. සද්ද අහනවා කියලා.

දැන් ඒක සම්පූර්ණයෙන් අනික් පැත්තට බලනවා කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් සම්පූර්ණ පංච කාමය ම ඇසුරු කරන හැටි.  කය ඇසුරු කරගෙන ඉන්න හිතෙනුයි රූප බලන්නෙ. සද්ද අහන්නෙ. කය අසුරු කරගෙන ඉන්න හිතෙනුයි ගඳ සුවඳ ලබන්නෙ. කයේ කිසිම සම්බන්ධයක් නෑ. රූපය හම්, මස්, ලේ, නහර, ඇට, ඇටමිදුලූ වලින් යුක්තයි. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතටයි මේ රූප නිමිත්ත පෙනෙන්නෙ ඒකට කියනවා චක්ඛු විඥානය කියලා.

මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නෙ. ඒකට කියනවා සෝත විඥානය කියලා.  ඕනනම් තමනුත් තමන්ට ඔප්පු කරලා පෙන්නන්න ඇත්ත තමයි. කෙනෙක් මැරුණා කිවුවහම මළ මිනියක තියෙන දේවල් ටික අදත් මේ රූපෙ තියෙනවා. අඩු නැතුව. නමුත් මළ මිනිය කියන්නෙ හිත නැති හින්දනේ. හිත නැති වුනාම මේ හැඟීම් දැනීම් නෑ තමයි. හිත නැති වුනාම ඉදිරි යාම් ආපසු ඒම් බෑ තමයි. හිත නැති වුනොත් රූප පේන්නෙ, සද්ද ඇහෙන්න නෑ තමයි. එහෙනම් ඇත්ත තමයි කය ඇසුරු කරගෙන පවතින හිතට තමයි මේවා පේන්නෙ.

ඔය රූපය වෙනම බලලා, කන බොන ආහාරයෙන් යුක්තයි කියලා බලලා පංච කාම ගුණය. ඒ කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් ඒ නිමිති ගන්න හැටි හිතන්න  ඕන. පුළුවන් නම් පොඩි කාලෙ ඉඳලා යම් තාක්  ඕගොල්ලන් දැකපු, ඇසුරු කරපු, හොඳ නරක කියලා දුන්නු, නරක කළ, හොඳ කළ,  ඕගොල්ලො අතින් අඩුපාඩු වුනා කියන ඒවයෙ යහපත, අයහපත, හොඳ, නරක නිමිති ගන්නෙ නැතිව ඒ රූප සිහි කරලා, එතන ද හැම රූපයක් ම අරගෙන ඔය කොටස් දෙකට බෙදන්න.

යම් තාක් ද සිහි කරන්න පුළුවන් උපන්න දවසෙ ඉඳලා,  ඕගොල්ලන්ට තියෙන කමටහන ඒකයි. චිර කතම්පි, චිර භාසිතම්පි, සරිතා අනුස්සරිතා – බොහෝ කල් සිට කරපු කියපු දේවල් සිහි කරන්න. හොඳට සිහි කර කර කෙළෙස් හිඳින්න. වෙන මුකුත්  ඕන නෑ. මේ සත්ව පුද්ගල භාවයට පෙනෙන රූප ටික ගන්න. රූප ටිකේ වැඩ දෙකයි දීලා තියෙන්නෙ. ඔහොම ටිකක් බැලූවා. යම් තාක් හිතන්න පුළුවන් පරාසයේ රූපයක් සිහිකෙරුවා. ඒක හිතින් අල්ලගෙන මේකද කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වලින් හැදුන එකක්. ආහාරය නිසා පවතිනවා. මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතට නේද රූප පෙනෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතට නේද සද්ද ඇහීම  වෙන්නෙ කියලා ඔහොම බලනවා. බලලා ඔන්න ඒ අරමුණ අතහරිනවා.

ඔන්න තව සත්වයෙක්, පුද්ගලයෙක් කියලා හිතුනොත් කෙනෙක් ගන්නවා. අරගෙන එතන තියෙන්නෙ ද, ඒ රූපෙද කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වලින් යුක්තයි. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. ඒ රූපය අල්ලගෙනම, මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද ඒ රූපාදී අරමුණු දැකීම වෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේ ද සද්ද ඇහීම වෙන්නෙ. ගඳ සුවඳ දැනෙන්නේ.

රූප බලන, සද්ද අහන මේ කෘත්‍ය ටික කන බොන ආහාරයෙන් හැදුන රූපෙට ඈඳන්න නැති විදියට. ආහාරයෙන් හැදුන රූපය වෙනමම එකක්. ඒ කය උපකාරයි විඥානයට පිහිටලා ඉන්න. ඒ විඥානයෙන් තමයි මේ පංච කාමය අනුභව කරන්නෙ. කියන ටික දකින්න  ඕගොල්ලො එක සතියක් බලන්න. සම්පූර්ණ ම මේ කාම මට්ටම ප‍්‍රකට වෙයි. – සංකප්ප රාගො පුරිසස්ස කාමො – කිපයු එක. අපි දුක හදාගෙන දුක් විඳලා තියෙන්නෙ. සත්වයො, පුද්ගලයො හදාගෙන සත්වයො පුද්ගලයො එක්ක මේ දුක් විඳින්නෙ. ඒ නිසා වෙනදට මමම දුන්න කමටහන් තියෙනවා නම් ඔක්කොම අයින් කරන්න. සම්පූර්ණම නවත්තලා, කාරණා දෙකයි දුන්නෙ මම. මොකක් ද ආනාපානසතිය වඩන්න. මේ විදියට හිතන්න. හිතමින් ආනාපාන සතිය වඩන්න. මේ හිතීමේ සීමාවක් නෑ. ප‍්‍රමාණයක් නෑ. සීමාව තමයි තමන්ගෙ මනස. තමන්ට යම් තාක් ද සත්ව පුද්ගල භාවයට සිහි කරන්න පුළුවන් සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා තමන්ගෙ දැනුම් පරාසය යම් තාක් ද, ඒ තාක් විදර්ශනා ඥානය දිවෙන්න  ඕන. ඒ තාක් සිහි කර කර මෙහෙම බලන්න. තාම ටික දවසක් යනකම් නෑ. සත්ව පුද්ගල භාවයමයි, එන්නෙ. හරියට එක සතියක් අප‍්‍රමාදී උත්සාහයෙන් කරන්න.

ගැඹුරු දහම් මුකුත්ම සිහි කරන්න යන්න එපා. ගැඹුරු දහම් හොයන්න යන්නවත් එපා. වෙන කිසිම දෙයක් එපා. මෙන්න මේ ටික හැබැයි කළ යුතුයි. ඔයටික ලියාගෙන හරි කමක් නෑ. අනිවාර්යයෙන් කරන්න  ඕන. කොටස් දෙකකට බෙදලා දුන්නෙ මම. රූපය ප‍්‍රකට කරගන්න කොටස් දෙකක් කිවුවා. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා බැලූවා. ඒ විදියට බැරි නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියලා බැලූවත් කමක් නෑ.

 

එහෙම නැත්නම් අර මැටි වරිච්චි බිත්තිය ඔතෙන්ට ආදේශ කරගත්තත් කමක් නෑ. රූපය සත්ව නොවූ, පුද්ගල නොවූ ආනාත්ම වූ කුණප කොටස් නැත්නම් මේ ධමතාවයන්ගෙන් හැදිච්ච එකකුයි රූපෙ කියන උත්තරෙයි ආවෙ.

ඒ රූපය හැදිලා තියෙන්නෙ, හැදෙන්නෙ කන බොන ආහාරය නිසයි.  ඕන්න රූපයත්, රූපයේ ඇතිවීමත් දෙක බැලූවා. එච්චරයි. එබඳු වූ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි ගඳ සුවඳ දැනෙන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රස දැනෙන්නෙ. කය ඇසුරු කරගෙනපවතින හිතටයි ස්පර්ශය දැනෙන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි යෑම් ඊම් වෙන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ සවිඥානක බව. කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ තුනයි. මොනවද? මේ ස්පර්ශ ආයතන පහට ගැටෙන දේවල් දැනගන්න එකයි. යෑම්, ඊම් කරන එකයි. සවිඥානක වෙලා තියෙන එකයි. නාම රූප ද, දිට්ඨි විශුද්ධිද  ඕවා මුකුත්ම  ඕන නෑ. මේ කියන එක කරගෙන යන්න. වචන කියන එක නැතත් එදා නිවන් දැක්කනේ. අපිට  ඕන අර්ථය. ක‍්‍රමේ හරියනවා නම් ඔය ටික ඔක්කොම ඇවිල්ලා ඇති. ඉස්සෙල්ලා මේක කරගෙන යන්න. එතකොට ලැබෙන්න  ඕන නුවණවල්, අපේ දැනුමින් තොරව පෙනෙන්න  ඕන ටික පෙනිලා ඇති. ඊට පස්සෙ ගැට ගහගන්න  ඕන නාම රූප. හැබැයි ඉස්සෙල්ලා මනෝමයෙන් ගැට ගහන්න එපා.  ඕක දැනගත්තම මේ තමයි නාම රූප පරිච්ඡේදය. මේ තමයි දිට්ඨි විශුද්ධිය. දැන් ඔය ගැට ගහයි ටක් ටක් ගාලා ඒකම මේ කරන එකට බාධායි. ඒ නිසා දැනට ඒ මොකකටවත් ගැට ගහන්න එපා.

ඒක ඇත්ත වෙයි. ඒක දැන් අපි ගාව තියෙන්නෙ අනුන්ගෙ දැනුමකින්නෙ. එහෙනම් මේක මගේ දැනුමක් වෙන්න එපායැ. ඒක කරගෙන යනකොට, මේක නේද මේ නාම රූප ධර්ම ප‍්‍රකට කර ගන්නවා කියන තැන. මේක නේද මේ දැකිම පිරිසිදු වෙන දිට්ඨි විශුද්ධිය, දිට්ඨිය පිරිසිදු වෙනවා කියන්නේ මේ දෙක දැක්කහම නේද කියන එක තමන්ගෙ මනසෙ දහම් දැක දැක ඇතිවෙන්න  ඕන නුවණක්. වචන වල තියෙන අර්ථය ඉස්සෙල්ලා හරස් කර ගන්න එපා. වචන පැත්තකට දාලා දැන් කරගෙන යන්න. අපි කරගෙන යන දේ හරි නම් නුවණ කියන  එක ඇතිවෙයි මිසක නුවණ වඩන්න බෑ. නුවණ වඩන්න පුළුවන් ද?

තැටියක පිටි දාලා රොටී වඩනවා වගේ. ඔහොම වඩන්න පුළුවන් ද?

ඥාන වඩන්න බෑ. හැබැයි ඥාණ වඩනවා කියලා කාරණාවක් වෙනවා. ඥාණය වැඩෙන ධමතාවයක අපිට ඉන්න පුළුවන්. ඥාණය වැඩෙන ධමතාවයක හිටියහම ඒ නිසා නුවණ වැඩෙනවා. අපි ලෝකෙ පඥප්තියට කියනවා මම නුවණ වඩනවා කියලා. අර්ථය දැනගන්න  ඕන.

මං කියන්නෙ අපි තෙල් ටික ගහනවා. පොහොර ටික ගහනවා. වතුර ටික ඉහිනවා. අපි ගොයම හදනවා. කුඹුර හදනවා කියලා කියනවා. නමුත් අපි කරන්නෙ තෙල් පොහොර ගහන එක විතරයි. ඒක නිසා හැදෙනවා. නැත්නම් අපිට ගොයම් ගහ ඇදලා හදාගන්න පුළුවන් වෙන්න  ඕනනේ. ගොයම් ගහේ කෙළවරින් ඇල්ලූවා. ඇදලා ගත්තා අඩි දෙකහමාරක් විතර දික් වෙන්න. ඔන්න ඔහොමයි ගොයම් හදන්නෙ. ඔහොම පුළුවන් නම් හරි. එහෙම බෑ නේද කාටවත්. එහෙනම් ගොයම හැදෙන්න  ඕනෙ. හැදෙන්න අවශ්‍ය ටික ළං කරන්න.

දැන් දරුවො හදනවා කියනවා. හදනවා නම් ළමයගෙ අතින් ඇල්ලූවා අඩියක් විතර ඇද්දා. බෙල්ලෙන් ඇද්දා, ඔන්න ඔහොම. නමුත් අපිට පුළුවන් කෑම, බීම ටික ළං කරන්න. ඒ ආහාර පාන රූපෙට වැටිලා රූපෙ විසින් හැදෙන්නෙ. ආහාර පාන ළං කරපු නිසා අපි දරුවා හැදුවා. ඒ වගේ ඥාණ වැඩුවා කියනවා. ඥාණය වැඩෙන ධමතා ටිකක අපිට ඉන්න පුළුවන්. ඒ නිසා මේ නුවණ වැඩෙනවා. අපි ඥාණ වැඩුවා කියලා කියනවා. එහෙම නැතුව ළමයගෙ අතින් පයින් අදිනවා වගේ නාම රූප ඥාණ ඇදලා ගන්න බෑ. එහෙම එකක් නෑ. ඒ හින්දා නාම රූප නාම රූප මේක නාමය නේද. මේක රූපය නේද කියලා ඔය ළමයගෙ අතින් ඇදලා ළමයා හදන්න හදනවා වගේ නාම රුප දෙක ඇදලා ඉවරවෙලා නාම රූප ඥාණය ගන්න හදනවා. එහෙම බෑ. නාම රූප ගැන නුවණ කියන එක එන්න  ඕන එකක්. එහෙනම් ඒක එන්න, ඒක නොවෙන එකක් කරන්න  ඕන. මේ ඔක්කොම ප‍්‍රත්‍යයෙන් හටගත්ත එකක් නේ. නාම රූප දෙක ගැන නුවණ ගන්න නම් නාම රූප දෙක නොවෙන ධමතා ටිකක් අපිට නුවණින් බලන්න වෙනවා. මෙහෙම බලනකොට මේ ටික ප‍්‍රකටයි.

 

ඊට පස්සෙ ඔය නාම රූප දෙක බැලූවහම ඇතිවෙන්නෙ ඊට උඩ නුවණක්. දැන් හැම වෙලේම මේක පටිච්ච සමුප්පන්න නම් ඵලය දිහා බලලා ඒකම ගත්ත හැකි ද? දැන් තේ එක නොවෙන හේතු ටිකක් එකතු කරලා නම් තේ එක හැදුවෙ. තේ එක හදන නුවණක් ගන්න කියලා අපි තේ එකෙන් ටික ටික ටික ටික අරගෙන හරි යනවද? ඒ වගේ නාම රූප පරිච්ඡෙද ඥාණය තේ එක වගෙයි කියලා කියන්නකො. දැන් නාම රූප පරිච්ඡෙද ඥාණය ඇතිකරගන්න නම්. නැත්නම් තේ එක ගැන දැනගන්න නම් තේ එකක් නොවන හේතු ගැන දැනගන්න වෙනවනෙ. ඉස්සෙල්ලා. ඒ වගේ නාම රූප පරිච්ඡෙද ඥාණය ඇතිකරගන්න නම්, නාම රූප දෙකේ අවබෝධය නුවණ ඉස්සෙල්ලා ටිකක් බලන්න  ඕන. ඒ ටික බලනකොටයි නාම රූප දෙක ගැන අවබෝධයක් එන්නෙ. නාම රූප දෙක බලන්න පුළුවන් අවබෝධයක් තියෙනවා නම් නාම රූප පරිච්ඡේදයක් ඕනෙද? එයා දන්නවනෙ නාම රූප දෙක. දැන් මේක වෙන ධමතා ටිකක් බලනකොට අපි පුද්ගලයා කියන තැන නාම රූප දෙකක්නෙ තියෙන්නෙ කියන දැනුම එන්න  ඕන. ඔන්න නුවණ. දැන් ඒ නුවණ තියෙනවා නම් අපි නාම රූප බලන්න  ඕන නෑ. දැන් අපි නාම රූප දෙක දන්නවා කලම. දැන් ඒක නැවතත් වඩනවා. මේකෙ තේරුමක් නෑ. හොඳට කෙලෙස් සහිතව කෙලෙස් ටික යට ගිහිල්ලා පුද්ගලයා කරනවා කියන ටික කොපි ගහලා කොපි කරලා තියෙන්නෙ මේ කියන එක හොඳට තේරෙනවා ඒ කියන්නෙ අනුන්ගෙ වචනයක් කියනවා විතරයි කියන එක. ඇයි නාම රූප දෙක ගැන දැනුම එන්න  ඕන එක අපි නාම රූප දෙක කල් ඇතුව දැනගෙන කරනවා. උත්තර ටික තියෙනවා අපිට ඉස්සෙල්ලා. නමුත් ගණන හැදුවහම, සූත‍්‍රය ආදේශ කළහම, මතුවෙන්න  ඕන එකක් උත්තරය. ඉස්සෙල්ලාම උත්තරේ ලියලා ඉවර වෙලා ගණන හදනවා. දැන් මේ උත්තරේ එන්නෙ මෙහෙමයි මෙහෙමයි කියලා. අපි හැමදාම කරන්නෙ  ඕක. දැන් නාම රූප දෙක දන්නවා අපි. නාම රූප දෙකේ මොනවාද? කෑලි කියලා යටටයි බලන්නෙ අපි. නමුත්  ඕක තමන් තුලින් වැඩෙනකොට නාම රූප නොවෙන ටික බලලා බලලා නාම රූප පරිච්ඡෙද නුවණ ඇතිකරගන්න වෙනවා. නමුත් හැමදාම කරන්නෙ අනික් පැත්තට.

ඒ කියන්නෙ ඉස්සෙල්ලා උත්තරේ හදාගෙන ඉවරවෙලා ඊට පස්සෙ සූත‍්‍රය ලියනවා මේ උත්තරේ ආපු හැටි. එතකොට ප‍්‍රශ්නයක් තියෙන්නෙ  මෙයා මේ සූත‍්‍රය ආදේශ කරගන්න ඉගෙන ගන්න හදනවා. එතකොට ප‍්‍රශ්නෙ තියෙන්නෙ සූත‍්‍රය ආදේශ කරන්න ඉගෙන ගන්නෙත් නැතුව උත්තරේ කොහෙන්ද කියන එකයි. එතකොට තියෙනවා කොපි කියන එක.

ඉතින් දැන් මේ කමටහන තමයි. මේ කියපු එක ජීවිතේකට හරි වටියි. වෙනදා කියපු, මගෙන් ජීවිතේ හැමදාම අහපු ඔක්කෝම බණ අයින් කරන්න. ඉතාම සරල හෝ ගැඹුරු හෝ ඒ ඔක්කොම අයින් කරලා මේ කියපු ටික විතරක් කරගන්න. කරගෙන යන්න. මොකක් ද? යම් තාක් සත්ව පුද්ගල භාවයෙන් සිහි කරන්න පුළුවන් හැම සවිඥානක වස්තුවක් ම කමටහනට ඇතුලත් කියන එක මතක තියාගන්න. උපන්න දවසෙ දණගාන කාලෙ ඉඳලා හරි මතක, සවිඥානක යමක් තියෙනවා නම් යම් තාක් හිතට හිතන්න පුළුවන් ප‍්‍රදේශයක් තියෙනවා නම් ඒ මට්ටම තුල තියෙන සත්ව පුද්ගල හැම දෙයක් ම සිහි කර කර, සිහි කර කර ඔය පුද්ගලයයි කියන තැනක තියෙන්නෙ මෙහෙම දෙයක්. පුද්ගලයා කියලා කියන්නෙ මෙහෙම නේ ද? අමතක වෙලා ගියොත් ආයෙ මතක් කර ගන්නවා මොකක්ද?  ඕක කොටස් දෙකකට බලන්න.

රූපය කෙස්, ලොම්, නිය, දත් හරි වරිච්චි බිත්තිය හරි, ධාතු වශයෙන් හරි බැලූවා, එබඳු වූ රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නෙ. හිතටයි සද්ද ඇහෙන්නෙ. කියලා පංච කාමය කියලා මෙච්චර කල් මේ රූප බලපු සද්ද අහපු මනුස්සයෙක් අපි දැක්කා නම් රූපවත් කෙනෙක් දැක්කා නම් දැන් ඒ කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් මේ පංච නිමිත්තම ගන්න හැටි බලන එක එකක්.

දෙක – කය අසුරු කරගෙන පවතින හිත නිසයි මේ කයේ යෑම් ඊම් වෙන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ කය සවිඥානක වෙලා තියෙන්නෙ. එච්චරයි. ඔය කෑලි පහයි. කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන කෘත්‍ය තුනයි. කය ප‍්‍රකට කරගන්න කොටස් දෙකයි. එක රූපයක් අල්ලගෙන ඔයටික සිහි කරද්දී යටින් යම් යම් අරමුණු එන්න පුළුවන්. මේක අතහැරලා දාලා ඒවා පස්සෙ යන්න එපා.

දුවන මුවා දැකලා නෙලපු පලා ටික දාලා දිවුවා වගේ වෙනවා. එතකොට ඒ නිසා ගත්ත අරමුණු ඉවර වෙනකම්ම බලන්න හැම රූපකෙට ම කොටස් පහ සම්පූර්ණ කළ යුතුයි. මං ඔය කොටස් පහ බෙදන්නෙ, නැත්නම් මගදී ඔය අරමුණ අතඇරලා යන නිසා. නැත්නම්  ඕක බෙදන්න බෑ. තව  ඕන විදියට  ඕක බැලිය හැකි. අඩුම ගානේ යම් රූපෙක පුද්ගලභාවයට සිහිවෙනකොට සිහිවෙන හැම තැනකම ඒ සිහිවෙන අරමුණ අල්ලගෙන හිතෙන්ම, සිහිවෙච්ච තැන ඔය කොටස් පහ බලන්න. වෙන අරමුණක් එද්දී මේ කොටස් පහ ඉවර නොකර ඒකට යන්න එපා. හරිද? කයත්, කය ඇතිවෙච්ච හැටිත්, ඊට පස්සෙ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කරන කෘත්‍ය තුන, කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නෙ, රූප පේන්නේ කියලා මේ අරමුණු ටිකම, කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි යෑම් ඊම් වෙන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි සවිඥානක වෙලා තියෙන්නෙ. කියලා බැලූවා. ඊට පස්සෙ සිහිවෙන එක අල්ලා ගත්තා.

ඔහොම ටිකක් වෙලා බල බලා ඉඳලා, දිගටම බල බලා ඉන්න එපා. ඊට පස්සෙ හිතා මතාම නතර කරලා සති නිමිත්තට හිත තියලා හිතා මතාම ආනාපානසතිය වඩන්න. ආනාපාන සතිය වඩලා ආපහු ඔහොම බලන්න. හොඳට භාවනා කරන්න පුළුවන්කම තියෙද්දිත් දෙකම නවත්තන්න. නතර කරලා ගෙදර වැඩක්පලක් කරන්න. ඒ වෙලාවෙදි අමුතු භාවනාවක ඉන්න එපා. නිකම් සාමාන්‍ය විදියට අකුසල විතර්ක වලට යන්නෙ නැතුව කුසල මනසිකාරයක ඉඳගෙන සැහැල්ලූවෙන් කරන්න. එපා වෙන්න දෙන්න එපා. ඊට පස්සෙ ආපහු ඒ කියන්නෙ එක තැනක ඉඳගෙන ඉන්නවා කියලා නෙමෙයි. වැඩ කටයුතු කරද්දිත් කෙනෙක් සිහි වෙනකොට හිත හිතා නිකම් විනෝදයක් වගේ කරගන්න.හම්බවෙන හම්බවෙන රූපවල ඔහොම හිත හිතා වැඩ කටයුතු කරන්න. දවස පුරාම පුළුවන් තරම් එහෙම කරන්න. ඉඳගෙන භාවනාව කියලා අමුතුවෙන් එකක්  ඕනත් නැතිවෙයි.  ඕගොල්ලන්ට ඉදිරියට යනකොට.

හැම වෙලාවෙ ම මුල් ටිකේදි ටිකක් අමාරුයි. උත්සාහවත්ව ගත්තහම ටික දවසක් යනකොට කිසිම අපහසුවකින් තොරව කරන්න පුළුවන් වෙයි.  ඕගොල්ලන්ට තමන්වම බලන්න පුළුවන්. මේ රූපය කෙස්, ලොම්, නිය, දත් සම් මස් නහර කන බොන ආහාරය නේද? මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ පේන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මම කියලා පේන්නෙ, කියලා හොඳට  බලන්න. මේ මම, මම, මම කියලා ගන්නෙ නැතුව, මාව කියලා පේන්නෙත් කය ඇසුරු කරගෙන පවතින හිතට නේද? මේ රූප පේන්නෙ කය ඇසුරු කරගෙන පවතින හිතට සද්ද ඇහෙන්නෙ කය ඇසුරු කරගෙන පවතින හිතට. මේ පේන රූපෙ මේ කයට කිසි සම්බන්ධයක් නෑ. කය පේන රූපෙට කිසි සම්බන්ධයක් නෑ. ඒවා ඉබේම නුවණ එනවා. දැනට එහෙනම් ඒ ටික කරන්න. අද දවසෙම කළ යුත්තෙ  ඕක.

තේරුණා ද?

දැන්  ඕගොල්ලන්ට තියෙන්නෙ ක‍්‍රම දෙකයි. ආනාපාන සතියයි. යම්තාක් සත්ව පුද්ගල භාවයට සිහි කරන්න පුළුවන්. අරමුණු තියෙනවා නම් ඒ අරමුණුවල කෑලි පහ බලන එකයි. හරිද? ඔච්චරමයි  ඕන. ඔය ටික කරන්න මෙහෙම හිතනවා. ආයෙත් හිත වඩනවා. ආනාපානසති භාවනාව කරනවා. මේ වගේ නුවණින් බලනවා. මේ ටික මාරුවෙන් මාරුවට, මාරුවෙන් මාරුවට කරන්න. කලින් කලට දෙකම නතර කරලා විවේකෙන් ඉන්න. එපා වෙන්න දෙන්න එපා කියලයි මං මේ කියන්නෙ.

එපා වුනොත්, තව කෙනෙක්ව භාවනාවට ඇදගෙන යනවා වගේම අමාරුයි මේ හිත. ඒ නිසා හැම වෙලේම නැවුම් බවකින් තියෙන්න  ඕන.

රවට්ටලා තමයි අරගෙන යන්න වෙන්නෙ. එහෙමත් හොඳටම බෑ කියලා හිතෙනවා නම් භාවනා නොකරම ඇතුලෙන් කුසල විතර්කයක්වක් හිතන්න. බැරිනම් අතහරින්න. බලකරලා වදෙන් ගෙනියන්න එපා. සාමාන්‍ය විදියට වැඩක් කටයුත්තක් කරනවා. අමතක කරලම දාලා. ඊට පස්සෙ ටිකකින් ආයෙ කරන්න. ආයෙත් එතකොට පුළුවන්.

කිසිම වෙලාවක එපා වෙනකම් කිසිම කමටහනක් කරන්න එපා. තමන්ට යාන්තම් අපහසු ගතියක් දැනීගෙන එනකොට නැගිටින්න. හැබැයි නිදාගන්න යන්න එපා. නැගිටින්න. නැගිටලා වෙන දෙයක් කරන්න. ඒකෙම ඇලිලා ඉන්න එපා. ආයෙ ටිකකින් උත්සාහවත් වෙලා බලන්න. ආයෙත් බෑ වගේ නම් ආයෙත් අයින් වෙන්න. අයින් වෙලා වෙන දෙයක් කරන්න. සාමාන්‍ය කුසල මනසිකාරයක්. ආයෙත් උත්සාහවත් වෙන්න. ඔහොම තුන් හතර සැරයක් කළාම හොඳට ඊට පස්සෙ යමක් කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒකත් කරගෙන ආයෙත් එපාවෙන්න ඉස්සෙල්ලා, භාවනා කරන්න හොඳට පුළුවන්කම තියෙද්දිම නැගිටින්න.

නැගිටලා වෙන වැඩක් කරලා ආයෙ භාවනා කරන්න.  ටික දවසයි එහෙම කරන්න  ඕන. ඊට පස්සෙ මෙයාට කොච්චර වෙලා භාවනා කෙරුවත් ප‍්‍රශ්නයක් නෑ. කියන තැනකට මෙයා එකඟ වෙනවා. මුල් ටිකේ දි තමයි අමාරු. අනික් එක  ඕගොල්ලන්ට එක තැනක ඉඳගෙන කරන්න අමුතු භාවනාවක් ඉතුරු වෙන එකකුත් නෑ. ඔහොම කළහම. ඒ කියන්නෙ ජීවිතේ භාවනාවකින් තොරව ජීවත් වෙනවා. කියලා එකකුත් නැතිවෙයි. හැම වෙලාවෙම  ඕගොල්ලෝ මේ කෑලි පහ හිතන්න හුරුකළහම ඉබේ හිතෙනවා. හැම වෙලාවෙම ජීවිතේ වැඩි කොටසක් තියෙන්නෙ කරපු කියපු දේවල් එක්ක තව කවුරුහරි සිහිවෙන එක. එතකොට කමටහන හැම වෙලේ ම එනවා.

හැම වෙලාවෙම කමටහනක ඉන්නෙ. අමතර කරුණකට තියෙන්නෙ ආනාපානසතිය වඩන එක විතරයි. ඉතින් ඔය විදියට ඔය ටික හුරු කරන්න.

ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, සවිඥානක සත්ව පුද්ගලභාවයට දැනෙන අරමුණුවල ඇත්ත දකිනවා කියන මානසික මට්ටමකින් ඉන්න  ඕනෙ හැම වෙලේම. අනිත් හැම අරමුණක් ම පහුවෙනකොට ඔක්කොම හසුවෙයි. ඔය හැම අරමුණකම තියෙන තණ්හාවත් අත හැරෙනවා. ඔය හැම අරමුණකටම බැඳිලා තියෙන්නෙ මේ සවිඥානක ධමතා හරහායි. දැනට ඒ දේවල්වල පවා අපිට ඡුන්ද රාගයක් තියෙන්නෙ. ඒ කියන්නෙ බාහිර දේවල් ඔක්කොම හසුවෙලා තියෙන්නෙ මම කියන මේ ස්වභාවයට අනුව. ඒ කියන්නෙ මට උපකාර පිණිස මට දුක නැති කරගන්න, මට සැප සතුට ලබාගන්න තමයි අනෙක් හැම දෙයක්ම අපි භාවිතා කරලා තියෙන්නෙ. ඒ දේවල් ඔක්කොම ඉබේම අතඇරෙනවා. තමන් කියන මේ කෙලෙස් ටික අතහැරෙනකොට. ඒ ටික අතහැරෙන්න බාහිර සත්ව පුද්ගල භාවයෙ තියෙන බැඳිම් ටික අනිවාර්යයෙන් අත හැරෙන්න  ඕන.

දැන් කයානුපස්සනාවේදි වුනත් බුදුරජාණන් වහන්සේ අඡ්ඣත්තංවා කායෙ කායානුපස්සී විහරති. බහිද්ධාවා කායෙ කායානුපස්සි විහරති. පර සත්තානංවා, පර පුග්ගලානංවා – අනික් පුද්ගලයන්ගෙ කේසා, ලෝමා, නඛා, දන්තා, තචො කියලා ඒ විදියට ඒ පෙන්නන්නෙ හැම කෙලේසයකටම මුල් වෙලා තියෙන්නෙ ඔය සත්ව පුද්ගලභාවය. ඒ ටික අතහැරෙනකොට ධමතාවය ඉබේම ප‍්‍රකට වෙයි. අරමුණු සංසිඳෙන කොට. ඒ නිසා ආනාපානසතිය වඩමින් සත්ව  පුද්ගලභාවයට හම්බවෙන හැම අරමුණක්ම නුවණින් බලමින් ඉන්න.

බාහිර අරමුණු නැති හැම වෙලාවකටම තමන් කියන මේ කයට යොමු වෙලා හිතින් මේ කය අල්ලගන්න. තමන් කියන ස්වභාවය, මේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් නහරවලින් යුක්තයි නේද මේ රූපයත්, කන බොන ආහාරයෙන් නෙ හැදිලා තියෙන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කයේ හැඟීම් දැනීම් වෙනවා නේද? මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ රූප පේන්නෙ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද සද්ද ඇහෙන්නෙ කියලා බලන්න. එතකොට කය සහිත තමන් මේ රූප බලනවා. සද්ද අහනවා කියන මිම්ම අතහැරෙයි. අනික් කෙනෙක් සිහිවෙනකොටත් ඒ විදියට බලන්න.

මුලින් මෙහෙම බැලූවට කෙස්, ලොම්, නිය, දත් කියලා නිකම් වචන ටිකක් මතුරනවා වගේ තේරෙයි. කන බොන ආහාර නිසා හැදෙනවා කිවුවට, වචන ටිකක් විතරයි. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ අරමුණු පෙනෙන්නෙ කිවුවට වචන ටිකක් විතරයි. අර්ථය හිතට වදින්නෙ නෑ. ඒකෙ බර ගතිය දැනෙන්නෙ නෑ. ඒ ඔය කෙලෙස් ටිකේ හැටි. ඒ නිසයි මේක අඛණ්ඩව කරන්න  ඕන.

කරනකොට සති නිමිත්තෙ හිත තියාගෙන නෙමෙයි. අහක යන විදියට කළත්, ඒකෙ අර්ථය හොඳට තේරෙනවා. ඒ නිසා සති නිමිත්තෙ දෝෂයක් කියලා හිතන්න එපා. ආවරණිය ධම, පුද්ගල සංඥාවෙ තියෙන බර තමයි ඔය තියෙන්නෙ.

ඒ නිසා මේ ක‍්‍රමය සතියක්. දෙකක්, තුනක් අත නොහැර කරන්න. කරනකොට ඇතිවෙන වෙනස  ඕගොල්ලන්ට තේරෙයි. පුදුම වෙනසක් එතකොට සතුටක් දැනෙයි. එතකොට අපිට හොඳට තේරෙනවා. සත්ව පුද්ගල හැඟීම් අපි මනසින්ම ඇති කරගෙන, ඒ කියන්නෙ දැන් බත් උයලා නෑ, හාල් තියෙන්නෙ. හාල් අපිට කන්න බෑ. ඒ හින්දා අපි මොකද කරන්නෙ. ඒක උයලා බත් විදියට හදලා අපිට කන්න පුළුවන් විදියට සකස් කරගන්නවා. ඒ වගේ ම මේ රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ ස්කන්ධයෝ ටික කෙලෙස් වශයෙන් හැසිරෙන්න අමාරුයි. බෑ. ඒ හින්දා අපි ඒවා ද්‍රව්‍ය, කාරණා, භාණ්ඩ හැටියට හිතින් හදාගෙන තියෙන්නෙ. මේ රූපය පුද්ගලයෙක් හැටියට අපි හිතලා තියෙන්නෙ. අපි මේ හදලා තියෙන්නෙ අපිට තණ්හාවෙන් හැසිරෙන්න  පුළුවන් විඳින්න පුළුවන් මට්ටමට, හදලා අරගෙන තමයි විඳින්නෙ. ඒ නිසා පවතින ස්වභාවය නුවණින් බලනකොට, දැන් කයේ පවතින ස්වභාවය නුවණින් බලනකොට කාලයක් යනකොට හොඳට තේරෙයි.

රූපයෙ ඇත්ත මේක නම් අපි කොච්චර පුද්ගලයෙක් කියලා හිතුවත් රූපෙ වෙනස් වෙන්නෙ නෑ නේද? ඒ රූපෙ රූපෙමයි. ඒ රූපෙ දිහා පුද්ගලයෙක් කියලා බලනකොට පුද්ගලයෙකුට කැමති වෙනකොට, රූපය වෙනස් වෙනකොට පුද්ගල භාවයෙන් අපිට දුක එනවා. අපිට පේන්නෙ කෙනෙකුට වුනා, පුද්ගලයෙකුට වුනා කියලා. ඒ නිසයි අර විදියට බලන්නෙ. ඒ විදියට එහෙම දිගටම බලනකොට හොඳට තේරෙනවා, මේ සත්ව පුද්ගල ආත්මභාවය කියන එක අපි පවත්වන්නෙ සංකල්පමය වශයෙන් ය කියන කාරණාව.

බුදුරජාණන් වහන්සෙගෙ උපමා කතාවක් තියෙනවා ආසිවිසොපම සූත‍්‍රයෙ. එක්තරා රජ කෙනෙක් ඉන්නවා. ඔය රජතුමා ළඟ ඉන්නවා විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්. ඒ රාජ්‍යයෙ එක පුරුෂයෙක් හොරකමක් කරනවා. හොරකම් කරලා රාජ පුරුෂයින්ට හසු වෙනවා. රාජ පුරුෂයො හොරාව අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට කියනවා, ‘‘දේවයන් වහන්ස, මේ ඔබගේ රජයේ හොරකම් කරපු හොරෙක්. මේ හොරාට කැමති දඬුවමක් දෙන්න’’ ඊට පස්සෙ රජ්ජුරුවො මොකද කරන්නෙ. තීරණය කරනවා. ‘හරි මෙයාට මරණීය දණ්ඩනය දෙන්න  ඕන’ අපි කෙළින්ම මරන්න  ඕන නෑ. අපි අර විෂඝෝර සර්පයො හතර දෙනා බලාගන්න දෙමු මෙයාට’’ මොකද මේ සර්පයෝ හතරදෙනා ඉතාමත් දරුණුයි. එක සර්පයෙක්ගෙ නම කාෂ්ඨමුඛ, ඒ සර්පයා දෂ්ඨ කළොත් ඒ මොහොතෙම මුළු ශරීරයම කළු ගලක් වගේ තද වෙලා මැරෙනවා. ඊගාවට තව සර්පයෙක් ඉන්නවා පූතිමුඛ. ඒ සර්පයා කෑවොත් අසුරු සැණකින් මුළු ශරීරයම කුණුවෙලා, දියවෙලා, වැගිරෙනවා. අනිත් සර්පයා අග්නිමුඛ. කෑවොත් මුළු ශරීරයම අළු ගොඩක් බවට පත්වෙනවා. ඊගාව සර්පයා ශස්ත‍්‍රමුඛ. ඒ සර්පයා කෑවොත් මේ ශරීරයෙ තියෙන අතුණු, අතුණුබහන් කෑලි කෑලි වලට සිඳිලා ඒ මොහොතෙම මැරෙනවා.

ඉතින් මේ සර්පයො හතරදෙනාගෙ ස්වභාවය තමයි, කිසිම කෙළෙහි ගුණයක් දන්නෙ නැහැ. කොච්චර උපස්ථාන කෙරුවත් චුට්ට පමා වුනොත් දෂ්ඨ කරනවා. ඉතින් මේ සර්පයො හතරදෙනා  බාරදෙනවා, මේ හතර දෙනාට කවලා, පොවලා හොඳට බලාගන්න  ඕන.  ඕකයි හොරාට දුන්න දඬුවම. ඉතින් රජ්ජුරුවො සර්පයො හතරදෙනා බාර දුන්නහම, මේ පුද්ගලයා සර්පයො ළඟට ගියා.

යනකොටම ආ මේ අපිට උපස්ථානෙට එවපු පුද්ගලයා කියලා, සර්පයො හතර දෙනා ඇවිල්ලා එකෙක් අතේ බාහුව වෙලාගෙන උරහිසට පෙණේ තියා ගන්නවා. අනිත් සර්පයා අනිත් බාහුව වෙලාගෙන අනිත් උරහිසේ පෙණේ තියාගන්නවා. අනිත් සර්පයා බෙල්ලෙ වෙලිලා ඔටුන්නක් වගේ පෙණේ තියාගන්නවා ඔළුවෙ. ඉතිරි සර්පයා කොන්ද වෙලාගෙන පෙණේ තියාගන්නවා. පිටට. ඉතින් දැන් මේ පුද්ගලයා මොකද කරන්නෙ. රජ්ජුරුවො මට තෑග්ගක් දීලා. බලන්නකො මේ සර්පයො නෙමෙයි ආබරණ වගෙයි.

මෙච්චර ලස්සණ ආබරණ මොනවගේ පුද්ගලයෙකුට හම්බවෙයිද කියලා හරි ආඩම්බරෙන්, මාන්නෙන්, හරි සතුටින්, මේ සර්පයන්ට උපස්ථාන කර කර ඉන්නවා. දැන් මෙයා හිතන්නෙ රජ්ජුරුවො ආබරණ ටිකක් දුන්නා වගෙයි මට, ඉතින් ආබරණ කියන සංඥාවෙන් හිත හිතා උපස්ථාන කර කර ඉන්නකොට එක්තරා නුවණැති පුරුෂයෙක් ඔතනින් යනවා. ඒ පුරුෂයාටත් කියනවා ‘‘මේ මට රජ්ජුරුවො ආබරණ ටිකක් දුන්නා’’ කිවුවම කියනවා ‘‘මෝඩයො, ඔය ආබරණ නෙමෙයි, ඔය ඉතාමත් දරුණු කිසිම කෙළෙහි ගුණයක් නොදන්න විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්. ඔය සර්පයො එකෙක් හරි කැවොත් උඹ ඒ මොහොතෙම ජීවිතක්ෂයට පත් වෙනවා. කොච්චර උපකාර කෙරුවත් අනිවාර්යයෙන් ඔය සර්පයො හතර දෙනා උඹව මරනවාමයි. ඒ නිසා පුළුවන්නම් පැනලා පලයන් උපායශීලිීව. ඔවුන්ට කන්න බොන්නදීලා, ඔවුන්ව නිදිකරලා දාලා පුළුවන් නම් බේරිලා පලයන්’’ කියලා කියනවා. සර්පයෝ කියලා හඳුන්වලා දුන්නහම මෙයා බොහොම සංවේගයට, බයට පත්වෙලා මොකද කරන්නෙ, සර්පයො හතරදෙනාට කන්න බොන්න දීලා හෙමින් හිස පිරිමදිනවා. පිරිමැදලා හෙමින් ගලවලා පෙට්ටියක දාලා වහලා පැනලා දුවනවා. ටිකක් වෙලා යනකොට සර්පයො දැනගන්නවා අපිට උපස්ථානෙට දුන්න පුද්ගලයා පැනලා යනවා කියලා. රජ්ජුරුවෝ කියනවා ගිහිල්ලා අල්ලා ගනිල්ලා කියලා. දැන් සර්පයෝ හතර දෙනා පන්නනවා. අර නුවණැති පුරුෂයා ළඟ ඉඳගෙන උපකාර කරනවා. අරයට කියනවා ‘‘ඔන්න සර්පයෝ හතරදෙනා උඹ පිටිපස්සේ පන්නනවා. පුළුවන් හයියෙන් දුවන්න’’ කියලා. දුවනකොට දැන් සර්පයන්ට අල්ලගන්න බෑ.

රජ්ජුරුවො මොකද කරන්නෙ. තමන් ගාව ඉන්න සතුරු වධකයො පස් දෙනෙක් ගෙන්නලා ඒ ගොල්ලන්ට නියම කරනවා ‘‘ගිහිල්ලා මේ සොරාව අල්ලාගෙන එන්න. ගේන්න බැරිනම් එතනම මරලා දාන්න’’ කියලා. සතුරු වධකයො පස්දෙනාත් දැන් මොකද කරන්නෙ. හොරා අල්ලන්න පිටිපස්සෙන් දුවනවා.

දැන් සර්පයො හතර දෙනාත් පන්නනවා. සතුරු වධකයො පස් දෙනාත් පන්නනවා. නුවණැති පුරුෂයා කියනවා. ඔන්න උඹ පිටිපස්සෙ සර්පයො හතර දෙනත් පන්නනවා. සතුරු වධකයො පස්දෙනත් පන්නනවා. පුළුවන් ඉක්මණට දුවපන්. දුවලා කොහොම හරි පණ බේරාගනින්. දැන් ඉතින් මෙයා දුවනවා, ඔහොම දුවනකොට දැන් රජ්ජුරුවන්ට තේරෙනවා සර්පයන්ට අල්ලාගන්නත් බෑ මේ මිනිහව. සතුරු වධකයන්ට අල්ලාගන්නත් බෑ. දැන් ඉතින් නරකින් බෑ. හොඳින් අල්ලගන්න  ඕන උපායක් යොදලා කියලා. එයා උපන් ගමේ වැලි කෙළියේ පටන් එකට කී‍්‍රඩා කරපු, එකට සෙල්ලම් කරපු යාළුවෙක් ඉන්නවා. යාළුවව ගෙන්නගෙන අල්ලස් දිලා ‘‘උඹ පලයන් අර යාළුවගෙ මිත‍්‍ර වේශෙන් ගිහිල්ලා ළං වෙලා කොහොම හරි චාටුවෙන් අල්ලාගෙන, අල්ලගත්ත හැටියෙ කෙළින් ම හිස ගසාදාපන්, මං උඹට විශාල තෑග්ගක් දෙනවා ගම්වරයක් දෙනවා.’’ දැන් වැලිකෙළියේ පටන් හිටපු මිත‍්‍රයා මෙයා පිටිපස්සේ එනවා. එන්නෙ ‘‘ යාළුවෙ, යාළුවෙ මේ වෙන කවුරුවත් නෙමෙයි. මමයි කතා කරන්නෙ. උඹට මතක නැද්ද අපි එකට සෙල්ලම් කළා. ඉස්කොලෙ ගියා’’ කියලා විස්තරත් කිය කියා තමයි එන්නෙ.

එතකොට අර නුවණැති පුරුෂයා කියනවා ‘‘ඔය යාළුවා හැටියට විස්තර කිය කියා එන්නෙ හොඳට නෙමෙයි. ඔය රජ්ජුරුවන්ගෙ අණට උඹව මරන්නයි එන්නෙ. ඒ හින්දා යාළුවා කිවුවටවත් නතර වෙන්න එපා දුවපන්’’. ඉතින් මෙහෙම දුවනකොට දුවනකොට එක්තරා ගමකට වැටෙනවා. හරිම බඩගින්නයි, පිපාසෙයි, ගමේ ගෙවල් හයක් තියෙනවා. ඉතින් ගෙවල් ඇතුලට ගිහිල්ලා බලනකොට හට්ටි මුට්ටි හැළි වළං තියෙනවා. ඒවා ඇරලා ඇරලා බලනවා. කන්න බොන්න කිසිම දෙයක් නෑ හිස්. එළියට වෙලා ඉඳගෙන ඉන්නවා. එතකොට අර පුරුෂයා කියනවා. ‘‘තව ටිකකින් මේ ගමට හොරු එනවා. හොරු ඇවිල්ලා මේ ගම සම්පූර්ණයෙන් වනසනවා. එතකොට උඹට මැරුම් කන්න වෙනවා. ඒ හින්දා මෙතන ද ඉන්න සුදුසු නෑ. දුවපන්.’’

ඊට පස්සෙ ඔහොම දුවලා දුවලා යනකොට හම්බවෙනවා විශාල ජලාශයක්. එතකොට කියනවා, ‘‘ඔය ජලාශෙන් උඹ කොහොම හරි ඉක්මණට එතෙර වෙන්න  ඕන, නැත්නම් උඹව අහුවෙනවා. සර්පයොත් එනවා, වධකයොත් එනවා, මිත‍්‍රයත් එනවා, හොරු ටිකත් එනවා.

කොහොම හරි බේරෙන්න’’ කියලා. දැන් මෙයාට එතෙර වෙන්න ක‍්‍රමයක් නෑ. සතුරොත් බොහොම ළඟ ළඟ එනවා. පස්සෙ එතනම වන ලැහැබක් තියෙනවා. වන ලැහැබට ගිහිල්ලා වේලිච්ච දර කෑලි, කෝටු කෑලි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා කැලේම තියෙන වැල් ටිකක් අරගෙන එකට තියලා බඳිනවා. බැඳලා යන්තම් පාවෙන්න පුළුවන් මට්ටමේ පොඩි පහුරක් හදාගන්නවා. හදාගත්තට හබලක් නෑ. ඊට පස්සෙ මොකද කරන්නෙ පහුර වතුරට දාලා, අතින් පයින් වෑයම් කරමින් යනවා. ඉතින් දැන් මෙහෙම ටික ටික ටික ටික ගඟ මැදට යනවා. දැන් සර්පයො ටිකත් ක‍්‍රමයෙන් එනවා මෙහා ඉවුරට. උන් මෙහා ඉවුරෙ බලා ඉද්දිම අරයා මොකද කරන්නේ මහා ජලාශෙන් එතෙර වෙලා එගොඩට යනවා. එගොඩ ගිය හැටියෙ අනේ අපිට මේ මිනිහව අල්ලගන්න බැරිවුනා. එගොඩට ගියා නේද? දැන් ඉතින් රජතුමාගෙන් අපිට නම් සැනසිල්ලක් නෑ. ගිය හැටියෙ අපි ඔක්කොම මරණවා කියලා සර්පයෝ හතර දෙනා පපුව පැලිලා මැරිලා වැටුනා.

සතුරු වධකයොත් මැරුණා. වැලි කෙළියේ පටන් හිටි මිත‍්‍රයත් මැරුණා. හොරු ටිකත් මෙතෙර ඉවුරේම මැරුණා. අර පුද්ගලයා සුවසේ එතෙරට යනවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය උපමා කතාව දේශනා කරනවා ඒකෙදි අපි හොඳට තේරුම් ගන්න  ඕන. සර්පයො හතරදෙනා ආබරණ කොට ඉන්න කාලෙදි, සර්පයෝ හතර දෙනාට උපස්ථාන කරන කාලෙදි වධකයො පන්නන්න එනවද? අනිත් අය කවුරුවත් එනවද? ඔය උපමා කතාවෙ රජ්ජුරුවො වගේ තමයි කමය. වැරදි කරපු හොරා වගේ තමයි මේ යෝගීන් නැත්නම් නිවන් දකින්න උත්සාහවත් වෙන පිරිස එක එක්කෙනා. මොකක්ද? මේ හොරකම. අනාත්ම දේ ආත්මයි කියලා මම, මගේ කියලා ලෝකෙට අයිති දේවල් උරුම කරගෙන ඉන්න එක තමයි හොරකම.  ඕකට රජ්ජුරුවො දුන්න දඬුවම තමයි උපස්ථානෙට දුන්න සර්පයො හතරදෙනා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදුන රූපෙ.

කමය විසින් සත්වයාට දීපු දඬුවමක් තමයි මේ රූපෙ. දඬුවමකට ලැබුනෙ. නමුත් ලෝකෙ හිතාගෙන ඉන්නෙ රජ්ජුරුවො තමන්ට උපකාර පිණිස ආබරණ ටිකක් දුන්නා කියලා. ඇස් කළු කරනවා, තොල් රතු කරනවා, කරාබු එල්ලනවා, මාල එල්ලනවා, ඉතින් මේකට නොදෙන වදයක් නෑ. මේ සර්පයාට උපස්ථානෙ. කණ්ණාඩිය ගාවට යනවා, හැඩ බලනවා, ලස්සණ බලනවා, මොකද මේ සර්පයා ආබරණ කොට ඉන්නෙ දැන්. සර්පයෙක් බව දන්නෙවත් නෑ.

දැන් කාෂ්ඨමුඛ සර්පයා වගේ තමයි පඨවි ධාතුව, කොයි වෙලාවක හරි කිපුනොත් ඒ මොහොතෙම මේ රූපය සම්පූර්ණම ගල් වෙලා එක ක්ෂණයෙන් මැරෙනවා. ආපෝ ධාතුව කිපුනොත් මේ ශරීරය කූණු වෙලා දියවෙලා වැගිරෙනවා තේජෝ ධාතුව කිපුනොත්, හරියටම බොල් වී මිටක් වගේ මේ ශරීරය විසිරෙනවා. සැරියුත් මහ රහතන් වහන්සේගේ සහෝදර උන්නාන්සෙ නමක් ඉන්නවා උපනන්ද හාමුදුරුවො. උපනන්ද හාමුදුරුවො පිරිනිවන් පෑවෙ සර්පයෙක් ඇඟට වැටිලා. ඇඟට වැටිලා විතරයි. දෂ්ඨ කෙරුවෙවත් නෑ. එච්චරට විසයි. ඒ සර්පයා ඇඟට වැටුනා විතරයි. ශරීරය බොල් වී මිටක් වගේ විසිරුණා. ඒ තරම් විෂයි ඒ සර්පයා. ඇත්තටම එහෙම සර්පයොත් ඉන්නවා. මේක උපමා කතාවක් කියන්නෙ බොරුවට ම නෙමෙයි. ඒ වගේ තේජෝ ධාතුව කියන්නේ කොයි වෙලාවක හරි ඒක කිපුනොත් ඒ මොහොතෙම මැරෙනවා. වායෝ ධාතුව කිපුනොත් ඒ මොහොතෙම මැරෙනවා. මුන්ගෙ කිසි කෙළෙහි ගුණයක් නෑ. අවුරුදු 50 ක් 60 ක් නම් ජීවත් වෙන්නෙ මෙච්චර කල් හුස්ම ගත්තා කියලා එක පොඞ්ඩක් ඉන්නකො හුස්ම නොගෙන. කිසි සමාවක් නෑ. ආයෙ මෙච්චරකල් කන්න දුන්නා කියලා, මෙච්චර කල් ශරීරය උණුසුම් කරානෙ කියලා, ටිකක් ශීතකරණයක එහෙම හිටියොත්, කිසි කතාවක් නෑ මැරෙනවා. මෙච්චර කල් බොන්න දුන්නනෙ කියලා බොන්න නොදී හිටියොත්, මැරෙනවා. මෙච්චර කල් කන්න දුන්නනෙ කියලා කන්න නොදි හිටියොත්, ඒවා හරියන්නෙ නෑ. ඉතින් මේ අයගෙ කෙළෙහි ගුණයක් නෑ කිවුවෙ ඒකයි. දැන් මේ සර්පයො හතර දෙනාට උපස්ථාන කරනවා වගේ කට්ටිය මේ වැඩකාරකමක් කරන්නෙ. කවන්න  ඕන, පොවන්න  ඕන, නාවන්න  ඕන, අන්දවන්න, පලඳවන්න  ඕන, නමුත් වෙහෙස තේරෙන්නෙ නෑ. මොකද ආබරණකොට ඉන්නෙ. මේකෙ ආදීනව තේරෙන්නෙ නෑ. දුක තේරෙන්නෙ නෑ. වෙහෙස තේරෙන්නෙ නෑ. උදේ ඉඳන් ? වෙනකම් ගෙදරක වැඩ කරන දාසයෙක් වගේ. වතුර ඇදලා මේ හැම දෙයක් ම කරන දාසයෙක් වගේ උපන්න දවසෙ ඉඳලා මෙච්චර මේ සර්පයො හතර දෙනාට දාසකම් කරනවා. උපස්ථාන කරනවා. තාම හිතන් ඉන්නෙ ආබරණ කියලා. ඉතින් පඨවි ධාතුවට උපස්ථාන කරනවා. කවනවා, පොවනවා, ආපෝ ධාතුවට උපස්ථාන කරනවා. උෂ්ණය සපයනවා. සර්පයාට උපස්ථාන කරනවා. හුස්ම ගන්නවා කිය කියා සර්පයාට උපස්ථාන කරනවා.

ඉතින් දැන් මේ සර්පයො හතරදෙනාට කවලා පොවලා උන් බලාගන්න එක තමයි දඬුවම. දඬුවම තමයි විදින්නෙ. නමුත් ඒකෙ ආදීනව පේන්නේ නෑ. ආබරණ කියන අදහසින් ඉන්න නිසා, ඔතනින් යන නුවණැති පුරුෂයා වගේ තමයි බුදුරජාණන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඔය ආබරණ නෙමෙයි. රජ්ජුරුවෝ දුන්න තෑග්ගක් නෙමෙයි. ඔය විෂඝෝර සර්පයො හතර දෙනෙක්. ඔය උඹට දුන්න දඬුවමක්. බලපන් උඹට නිදහසේ යන්න පුළුවන් ද? එන්න පූළුවන් ද? කන්න පුළුවන් ද?  ඕන තැනක ඉන්න පුළුවන් ද? මුන් කිපුනොත් ටක් ගාලා උන්ව නිදි කරවන්න  ඕන. නැත්නම් ඒ හේතුවෙන් මරනවා. දැන් බඩගින්න හොඳටම උත්සන්න වුනොත්, කොහෙන් හරි ආහාර පාන හොයලා දීලා ඌව නිදි කරවන්න වෙනවා මිසක, ඇවිස්සුනොත් එහෙම ඉතින් මරනවාමයි. ඉතින් මේ සර්පයො හතරදෙනා කිපෙන්නෙ නැති වෙන්න සම කර කර ඉන්නඑක තමයි මේ කරන්නෙ.  ඕක මහා දුකක්. ඒ නිසා සර්පයෝ හතර දෙනා හිමින් සැරේ නිදි කරවලා පැනලා දුවපන් කියලා. එතකොට හොඳට මතක තියෙන්න  ඕන. දැන් සර්පයෝ හතරදෙනා අදුනගෙන, සර්පයො හතරදෙනා නිදිකරවලා බේරිලා පැනලා දුවනකොට, සර්පයො හතර දෙනාට යටත්ව උන්ව ආබරණ කොට ඉන්නෙ නැති මට්ටමට එනකොට තමයි ඊගාව වධකයො පන්නන්නෙ. එතෙක් ප‍්‍රශ්නයක් නෑ. සර්පයො හතරදෙනාට ම අහුවෙලා ඉන්නවා නම් අනික් කට්ටිය එවන්න  ඕන නෑනෙ. නේද? ඒ වගේ දැන් සර්පයෝ හතරදෙනා කියලා අඳුනගත්තා වගේ මේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට අනික් සත්වයෝ පුද්ගලයෝ කියන තැනත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ.

අපි මේ සතර මහා ධාතුවට උපස්ථාන කරනවා නේද කියන එක තේරෙන්න  ඕන. සත්තු ටිකට කවලා පොවලා ඒ ගොල්ලො නිදි කරවලා තමයි, පැනලා දුවන්න වෙන්නෙ. හෙමින් ඔළුව අතගාලා පෙට්ටියක දාලා වහනවා.

ඒ වගේ දැන් රළු බඩගින්නක්, පිපාසයක්, වගේ ඇතිවෙනකොට, ඒක යන්තම් සන්සිඳවා ගන්නවා. සන්සිඳවාගෙන,බේරිලා දුවනවා වගේ තමයි සතර මහා ධාතුව සත්ව පුද්ගල භාවයෙන් මම කියලා, මගෙ කියලා ඉන්නෙ නැතුව මම, මගෙ කියන හැඟීම ගෙවෙන විදියට නුවණින් බලනවා. ඒ නුවණින් බලන එක තමයි දැන් මෙයාට අහුනොවී පැනලා දුවනවා වගේ. එතකොට ඉස්සෙල්ලාම අපිට තියෙන්නෙ සර්පයො හතර දෙනාගෙන් බේරිලා දුවන්න. ඒ කියන්නෙ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවටයි අපි උපස්ථාන කරන්නෙ. සතර මහා ධාතුවෙයි බැඳිලා ඉන්නෙ. සතර මහා ධාතුව මම නෙමෙයි. මගෙ නෙමෙයි. මගෙ ආත්මය නෙමෙයි. සතර මහා ධාතුව තව සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නෑදෑයෙක් හෝ නෙමෙයි කියන නුවණ ඇතිවන විදියට මෙනෙහි කළ යුතුයි. එතකොට තමයි පැනලා දිවුවා වෙන්නෙ.

අපි උදේ කතා කළ විදියට හොඳට රූපය ගැන බලනවා. අපිට පුළුවන් මේ ශරීරයෙ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියලා මේ කොටස් ටික පඨවි ධාතු පිත, සෙම, සැරව, ලේ ආදිය මේක ආපෝ ධාතු ශරීරයෙ තියෙන උණුසුමක් වෙයි නම් ඒ තේජෝ ධාතු හමන, පිම්බෙන හැකිලෙන ස්වභාවයක් තියෙනවා නම් වායෝ ධාතු.

මේ රූපය සතර මහා ධාතුයි නේද? කන බොන ආහාරයෙන් නේද මේක හැදිලා තියෙන්නෙ කියලා හොඳට හිතනවා. ඊට පස්සෙ මේ රූපයෙ යම් කි‍්‍රයාකාරීත්වයක් අපට පෙනෙනවනෙ. යනවා, එනවා, රූප බලනවා, සද්ද අහනවා වගේ මේ කි‍්‍රයාකාරකම් ටිකක් එක්කයි අපි තව ටිකක් සත්ව පුද්ගල හැඟීමට අහුවෙලා තියෙන්නෙ. හැඟීම ඇතිවෙන්නෙ, එහෙම රූපය සතර මහා ධාතුයි නම්, ආහාරයි නම්, ඔය යන්නෙ කවුද? කතා කරන්නෙ කවුද? එහෙනම් ඔය පේන්නෙ කාටද කියලා ඔය වගේ තැනකින් තමයි අපිට කෙලෙස් ටික යෙදිලා තියෙන්නෙ. ඒ නිසා තමයි රූපය අනාත්ම විදියට හොඳට බලනවා. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ කයේ හැඟීම් දැනීම් ඇතිවෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි යෑම්, ඊම් වෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නෙ, කියලා මේ පැත්තම බලනවා. මේ ටික බැලූවත් වඩාත් තහවුරු වෙන්නෙ රූපයෙ අනාත්ම බවමයි.

රූපය සත්ව පුද්ගල නෙමෙයි. හම්,මස්, ලේ නහරින් යුක්තයි. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ කියලා, බලලා, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන කෘත්‍ය ටිකත් බලනකොට නාම ධර්ම බැලූවත් අපට ප‍්‍රකට වෙන්නෙ රූපෙ. රූපය ගැන බැලූවත් ප‍්‍රකට වෙන්නෙ රූපෙ. අපට පෙනෙන රූපය සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ධමතාවක් නේද කියන එක තමයි ටික ටික තහවුරු වෙන්නෙ. එතකොට මෙන්න මේ විදියට කෙනෙක් පඨවි ධාතු නේතං මම, නේසෝ හමස්මි, න මෙසො අත්තාති. පඨවි ධාතුව මම නෙවෙයි.මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන විදියට බලනවා නම්, රූපය ඔන්න ඔය විදියට බලන්න  ඕන. ඔය විදියට බලන එකට කියනවා මොකක්ද? සර්පයො හතර දෙනාගෙන් බේරිලා දුවනවා. එතකොට කොතනක හරි ආහාරයෙන් හැදුන රූපයක්, පුද්ගලයෙක් කියලා, නෑදෑයෙක් කියලා, මනුස්සයෙක් කියලා, සත්වයෙක් කියලා ගත්තොත් ඔන්න  ඕගොල්ලන්ගෙ ආබරණ සංඥාව කියලා දකින්න.

සර්පයෝ හතර දෙනා පෙනිලා නෑ. ආබරණ හැටියට පෙනිලා තියෙන්නෙ, සර්පයො හතරදෙනා සර්පයෝ හතර දෙනෙක් හැටියට පේනවා. ආබරණයක් හැටියට පේන්නෙ නෑ කියන්නෙ, කොයි වෙලාවක හරි කෙනෙක් සිහි වුනාම, සිහිවෙනකොටම ඒ රූපය හිතෙන් අල්ලගෙන, මෙතන හම්, මස්,ලේ, නහර, ඇට, ඇට මිදුලූ වලින් යුක්තයි නේ. කන බොන ආහාරයෙන් නෙ හැදිලා තියෙන්නෙ. නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් යුක්තයි රූපය.

කන බොන ආහාරයෙන් හැදිලා, තියෙන්නෙ, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේ රූපාදී අරමුණු පෙනෙන්නෙ. කියලා ඔහොම බලනවා නම් අන්න එයා සර්පයො හතර දෙනා ප‍්‍රකට කරගෙන. එතකොට අපිට ආරම්භය, පටන් ගන්න තියෙන්නෙම ඔය විදියට, එයාට හිතට සිහිවෙන සිහිවෙන හැම අරමුණක ම, ඉන්ද්‍රියන්ට හමුවෙන හැම අරමුණකම යම්තාක් පොඩි කාලෙ ඉඳලා මේ දක්වා සත්ව පුද්ගලභාවය සිහි කරන්න පුළුවන් හැම අරමුණක් ම සිහි කර කර ඔය විදියට බලනවා නම් යම් කාලයක් තියෙනවා අර පුද්ගල සංඥාව සිහිකරන කොටම අපි මේ අනාත්ම වූ රූපය සිහිකරගත්තා නේද? අපි පුද්ගලයා කියලා සිහි කරන තැනක තියෙන රූපය ආහාරයෙන් හැදුනෙ. පුද්ගලයෙක් නොවෙන ධමතාවයක් කියන එක හිතට දැනෙන මට්ටමක් එනවා.ඔන්න දැන් සර්පයො හතර දෙනාට අහුවෙන්නෙ නැති මට්ටමකට යාගෙන එන්නෙ. එතකොට තමයි සතුරු වධකයො පස් දෙනා එන්නෙ. දැනට සතුරු වධකයො පස් දෙනාගෙන් කරදරයක් නෑ.

මොකද සර්පයො ආබරණ කොට ඉන්නෙ. දැන් ආබරණ ටික ගලවලා පැත්තකින් තියලා දුවන්න තියෙන්නෙ. ඒ කියන්නෙ මම, මගේ කියන අදහස අයින් වෙන විදියට නුවණින් බැලිය යුතුයි.

සතුරු වධකයො පස් දෙනා වගේ තමයි මොකක් ද? මේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන කොට දැන් එයාට සර්පයො හතර දෙනාට අමතරව ස්කන්ධ පංචකයත් ප‍්‍රකට වෙලා. ඒ කියන්නෙ දැන් අර අපි බල බලා යනකොට ඉබේම සතුරු වධකයො පස් දෙනා හම්බවෙනවා. අපි දැන් මෙහෙම බල බලා යනකොට රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් මේ රූපය දකිනවා කියන කොට එයාට අහුවෙනවා දැන් මෙහෙම ඉඳගෙන ඉන්න කොට මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් රූප නිමිත්ත අරගෙන ඉන්න හැටි. එතකොට රූප නිමිත්ත රූපස්කන්ධයට අයිති. ඒ රූප නිමිත්ත දැනගන්න චිත්ත චෛතසික ටික වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධ ටික. මේ හිතෙන් යම් අරමුණක් දකිනවා කියන තැන තියෙන්නෙ ස්කන්ධ පංචකය.

එයාට මේ සර්පයො හතරදෙනා වෙනමත්, ස්කන්ධ පංචකය වෙනමත් අල්ලගන්න පුළුවන්. මේ කයේ පිහිටලා ඉඳිමින්, විඥානය කයේ පිහිටලා ඉඳිමින් සිතෙන් නොයක් රූපාදී අරමුණු දැනගන්නා හැටි. ඒ විතරක් නෙවෙයි. තව එයාට ප‍්‍රකටයි, හිතට මොනවා හරි දෙයක් සිහිවුනොත් දැන් ගෙදර කියලා හරි, යාළුවෙක් කියලා හරි මොනවා හරි බැහැර දෙයක් ඇති බවට සිහිවුනොත්, ඒ ඇති බවට සිහිවෙන එක තමන්ගෙ මනසින් උපන්න එකක් කියන එකත් ප‍්‍රකටයි.

දැන් මෙයා මොකද කරන්නෙ සතුරු වධකයො පස් දෙනාට හසු නොවී යනවා කියලා කියන්නෙ ආනාපාන සතියෙන් හිත වඩ වඩා උපදින උපදින සිතුවිලිවල, ඒ කියන්නේ යමක් සිහිකරන කොට සිහිකරන දේ බාහිරට ඈඳන්නෙ නැතුව. දැන් ගෙදර කියලා සිහිවෙනවා. සිහි කරන දේ මේ මනස තුලම උපන්න එකක්. මනෝ සම්ඵස්සයෙන් හටගත්ත එකක්. මනෝ සම්ඵස්සය නැති වෙනකොට නැතිවෙනවා කියලා එහෙම උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍යය බල බලා ආනාපාන සතිය වඩනවා. දැන් ඔය සතුරු වධකයො පස් දෙනාට හසු නොවී දුවනවා. දෙගොල්ලන්ටම හසු නොවී දුවන්න  ඕන. ලෝකෙට එනකොට, මේ කය පරිහරණය කරන කොට, පුද්ගල භාවයට දැනෙනකොට, මේ සතර මහා ධාතුව ප‍්‍රකට කර ගන්නත් බලනවා. එක තැනක ඉඳගෙන ඉන්නකොට උපදින, උපදින විතර්කයන්ගේ අනිත්‍යයත් බලනවා.

විතර්කයන්ගේ අනිත්‍යය බල බලාත් ආනාපානසතිය වඩනවා. විටෙක මේ කයේ සතර මහා ධාතුව ප‍්‍රකට කර කරත් ආනාපානසතිය වඩනවා. දැන් සර්පයොයි සතුරු වධකයොයි දෙගොල්ලම පන්නවා.

ඒ සතුරු වධකයෝ පස් දෙනා පන්නනකොට ඒක ටිකෙන් ටික අනුක‍්‍රමයෙන් ඔබ්බට යනවා. ඒ කියන්නෙ දැන් ගෙවල්, දොරවල් අම්මා තාත්තා කියලා ඔය සිහිවෙන මට්ටමට හිත තියලා, සිහිවෙන සිහිවෙන අරමුණේ අනිත්‍යය බල බලා ආනාපාන සතිය වඩනකොට ඊට සියුම් මට්ටමේ විතර්ක ප‍්‍රකට වෙනවා. ඒ විතර්කත් තමන්ගෙ සිතින්ම උපන් දේවල් කියලා බල බලා අනිත්‍යය වඩන කොට ඔන්න එයාට හම්බවෙනවා කවුද? වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයා. වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයා කියන්නෙ නන්දිරාග ස්වභාවය. මම කියන හැඟීම.

දැන් තාම අහුවෙන්නෙ නෑ. අනුක‍්‍රමයෙන් අපි යා යුතුයි. දැන් සතුරු වධකයො පස් දෙනා හැටියට ඔය ගෙවල් දොරවල් සිහිවෙනවා. කියන රළු විතර්ක ටික හසුවෙනවා. ඒ මට්ටමේ ඒවා මැකෙන කොට හිස් ශුන්‍යතාවයක්. නමුත් ඒ ශුන්‍යතාවයෙ සතුටු වෙන්නෙ නැතුව. අනිත් පැත්තට බලන්න. ඊට සියුම් විතර්ක ටික හසුවෙයි. ඒ සියුම් විතර්ක කියන්නෙ මොනවාද? දැන් ගෙවල්, දොරවල්, අම්මා, තාත්තා , දුවා, පුතා කියලා සිහිවෙන්නෙ නෑ. නමුත් හොඳට බැලූවහම ඉඳගෙන ඉන්නකොට මේ වටපිටාව ඇති බව තේරෙන එක හිතට තේරෙන විතර්කයක්. එතකොට ඒක හඳුනාගන්නවා. දැන් මේ වටපිටාව ඇති බව හිතටයි තේරෙන්නෙ. ඇස් දෙක වහගෙන ඉද්දී වටපිටාව තේරෙන එක විතර්කයක් කියලා හඳුනාගනිමින් ඒ නිමිතිවලත් අනිත්‍යය බලමින් ආනාපානසතිය වඩනවා. ආනාපාන සතිය වඩමින් අනිත්‍යය බලනවා.

ඔහොම කරනකොට කරනකොට ඒ වටපිටාව තියෙනවා කියන ටික මැකෙනවා. හිස් බවක් අහුවෙනවා. එතකොට ඒ හිස් බව පැත්තට හැරෙන්න එපා. ආයෙ තව ටිකක් අනිත් පැත්තට බලන්න. එතකොට තමන්ට හම්බවෙයි මේ තමන්ගෙ කය තියෙනවා කියලා. ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, කියලා නැත්නම් මේ අත, පය, කියලා, ශරීරය ඇති බවට අහුවෙයි. දැන් ශරීරය තමන්ට තේරෙන එක. ඇස්, කන්, නාසය ඇති බවට තේරෙන එක. මෙන්න මේ ටික විතර්කයි කියලා හඳුනාගන්න. විතර්කයි කියලා හඳුනාගෙන ඒ හිතට දැනෙන, දැනෙන, දැනෙන කයේ අනිත්‍යය බලමින් ආනාපානසතිය වඩනවා. එහෙම වඩනකොට ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, කියලා මේ පේන රූපෙ සම්පූර්ණයෙන් ම මැකෙනවා. මැකුනහම  ඕගොල්ලන්ට තමන්ගෙ කය කියලා සිහි කරන්න බැරි මට්ටමකට එනකොට ඔන්න ඉදිරියට එනවා වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයා. සතුරු වධකයො පස් දෙනාගෙ අන්තය ඔය දක්වාම ටිකෙන් ටික ටිකෙන් ටික එනවා. සතුරු වධකයොත් ඔතන ඉන්නවා. වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයා කියන්නෙ නන්දිරාගය, මේ මම කියන හැඟීම, දැන් ඔහොම ඉන්නකොට ඔයගොල්ලන්ට තමන් කියලා කියාගන්න පුළුවන් හැඟීම තියෙනවනේ. ඔන්න ඔය හැඟීම විතරක්ම, ස්කන්ධ වලට ගෑවෙන්නෙ නැතිව හැඟීම විතරක්ම අල්ලගන්න බලන්න.

ඔන්න ඔය මම කියන හැඟීමේ අනිත්‍යය බලනකොට ඒ තමයි අර සතුරු වධකයො පස් දෙනාටත් අල්ලගන්න බැරිව දුවනකොට එන මිත‍්‍රයා. දැන් ඒ මම කියන හැඟීමෙ අනිත්‍යය බල බලා කරනකොට දැන් ඔන්න මිත‍්‍රයාටත් හසු නොවී දුවනවා. මෙන්න මේ මට්ටමට ආවහම තමයි, නියම විදියට මේ ශාසනේ, භාවනාවකින්  ඕගොල්ලන්ට ඇඟට දැනෙන වෙනසක් වෙන්නෙ. ඊට මෙහා කවුරු කොච්චර කිවුවත්, කිසි කෙනෙකුට ඇඟට දැනෙන වෙනසක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ රාග සිතිවිල්ලක් ඇතිවෙනවා කියන්නකො.  ඕගොල්ලො  ඕන තරම් මෙනෙහි කරන්න. නමුත් ඒක උඩින් නැති වුනාට යටින් ඊට තියෙන අනුගත ගතිය එහෙම මැකෙන්නෙ නෑ. තරහක් ඇති වෙනවා කියන්න. එහෙම තරහා ගන්න හොඳ නෑනෙ. කියලා  ඕගොල්ලො තමන්ටම කියා ගත්තට යටින් යන සියුම් හැඟීම නැති වෙන්නෙ නෑ ඔය මට්ටමේ දී.  ඕනම දුකක් ඇති වුනහම  ඕවා ඉතින් කාටත් වෙන දේවල්නෙ කියලා හිතන්න පුළුවන්. ඇතුලෙන් යන ගතිය නැතිවෙන්න නෑ. මෙන්න මේ මම කියන හැඟීම අල්ලගෙන, ඔන්න ඔතෙන්ට හිත තියලා අල්ලගන්න පුළුවන් මට්ටමට ආවොත් අන්න එදාට ජීවිතේ අත්දැකීමම වෙනස්කම තේරෙනවා යම් මට්ටමකට. ඒ කියන්නේ යම් සරාගී මනසක් ඇතිවෙච්ච වෙලාවක දී ඒක නැතිවෙන්න බලන්න. ඒ මොහොතෙම ඒක අතඇරෙනවා. ආපහු හිමින් ඇදි ඇදී ගිහිල්ලා, ගිහිල්ලා නෙමෙයි.

තරහවක් ඇතිවෙන එක ඇතිවෙන කොයි වෙලාවෙ හරි බැලූවොත් ඒක ඒ වෙලාවෙම එහෙමම නැතිවෙනවා. ඊට මෙහා තාම මේ පුද්ගලයාටයි තරහව කියන එක ඇතිවුනේ, දැන් තරහ නැතිවෙන්න බලන්නෙත් එයයි. රාග සිත් ඇතිවන තැනත් ඉන්නෙ පුද්ගලයා, ඒක නැතිවෙන්න බලන්නෙත් එයා. ඒකයි මේ ස්වභාවය. දැන් ඔය ටික ඇති කරන කෙනා අල්ලාගන්න පුළුවන් තැනට එනවා. ඒ තමයි ස්කන්ධ එක්කම තියෙන නමුත් ස්කන්ධ නොවන මම කියන හැඟීම. දැන් ඔයගොල්ලන්ට ඔය මම කියලා හිතන ස්වභාවය තියෙන්නෙ. ඔය ගතිය විතරක් හිතට කොටු කරලා අල්ලාගන්න. අන්න ඒ මට්ටමට මම කියන හැඟීම අල්ලගෙන, ඒකෙත් අනිත්‍යය බලනකොට තමයි  ඕගොල්ලන්ට හොඳ චිත්ත සමථයක් එන්නෙ. මං කිවුවෙ ජිවිතේ යම් මට්ටමක හෝ ඒ කියන්නේ කෙළවරක් නෙමෙයි. හොඳ තැනකට ඇවිල්ලා එහෙම නෙමෙයි. මේ විදියටත් කරනකොට තමයි නීවරණ ධර්ම දුරු වෙන්නෙ.

ඒ කියන්නෙ දැන් ලෝකෙ උපද්දන්න තියෙන හේතුවම නැතිවෙන පැත්තෙන් තියෙන්නෙ. ඊට මෙහා මොන භාවනාවක් කෙරුවත් මෙයාව යට ගිහිල්ලා ඒ නිසා යම් සමථයක් ඇතිවෙලා. යම් ශුන්‍යතාවයක් ඇතිවෙලා ඒ තුළ ජීවත්වෙනවා මිසක, මේ කෙලෙස් ගතිය අහුවෙන්නෙ නෑ. දැන් මෙයා යන්නෙ අනුක‍්‍රමයෙන් අර හිල් හයක් තියෙන හුඹහක හිල් පහක් වහලා එක හිලකින් අතදාලා තලගොයා අල්ලාගන්නවා වගේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන හයෙන් පහක් වහලා එක්ම මනායතනය හරහා මේ ඇතුලට රිංගන්නෙ. ඔන්න ඔය මම කියන හැඟීමෙත් අනිත්‍යය බලන මට්ටමට, ඒකටත් හසු නොවන මට්ටමට යනකොට ශුන්‍ය වූ ග‍්‍රාම. ඒ කියන්නෙ ඒ මට්ටමේ දී එයා බැහැර රූපයක් සිහි කරනවා කියලා සිහි කරන කොට සිහිකරන්නෙ තමන්ගෙ මනසමයි කියන එක පේනවා. දැන් අද  ඕගොල්ලන්ට කොච්චර හිතුවත් වචනයක් කියනවා මිසක පේන්නෙ නෑ. සද්දේ හෝ  ඕනම දෙයක් සිහි කරන්න සිහිකරන දේ මනසයි කියලා තේරෙනවා. මේ ඇහෙන් වැඩ නෑ. ගිහිල්ලා බලන්න මොකක් හරි සිහිකරන කොට සිහිකරන එක මනසයි කියලා හිතෙනවා. අවශ්‍යම එකකට මිසක මේවා ඔක්කොම නැත්නම් හිස් ගෙයක්. රූපය හිස් වූ අර්ථයෙන්, තුච්ඡු වූ අර්ථයෙන් ම වැටහෙනවා. රූපවල සාරයක් හම්බවෙන්නෙ නෑ. එහෙම වුනාට මේ ගමට හොරු පනිනවා කියන්නෙ වතමානයේ ආයතන රූප ගැටීම් නිසා හමුවෙන්න පුළුවන්කම තාම නැතිවෙලා නෑ. ඒ හින්දා ඒකෙත් තව ස්ථීරව ඉන්න බෑ. තවත් දුවන්න  ඕන. ඔහොම දුවනකොට ඉතින් සිහිල් හෙවනකට එහෙම එනවා. ඒ කියන්නෙ ඒ මට්ටමට එනකොට දැන් ඔය හිතේ බොහොම පැහැදීමක්, ප‍්‍රසාද ගතියක් සතුටක් තියෙනවා. නමුත් ඒ ද ඉන්න බෑ. ඊට පස්සෙ මහා ජලාශෙ වගේ තමයි ආශ‍්‍රව. කාමාශ‍්‍රව, භවාශ‍්‍රව, දිට්ඨාශ‍්‍රව, අවිජ්ජාශ‍්‍රව කියන ආශ‍්‍රව ටික. එතකොට පාරුව වගේ තමයි ආර්ය අෂ්ඨාංගික මාගය. අතින් පයින් වෑයම් කරනවා කිවුවෙ. හබලක් නැතුව, වීරියට නමක්, එතෙර කියලා කිවුවෙ නිවන. දැන් ඔය වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයාගේ අනිත්‍යය බල බලා ඔහොම යනකොට ශුන්‍යතාවයක් එනවා. හිස් ගමක්. ඒ ගමේ ඉන්න හොරුන්ටත් අහුනොවි දුවනකොට ජලාශෙ හම්බ වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාගයෙන් ඒකෙන් එගොඩ වෙන්න  ඕන. කිවුවෙ ඔන්න ඔය ටිකට එනකොට තමයි අර පී‍්‍රතිය, ප‍්‍රමෝදය, ඇවිල්ලා ඒ ධමතා නිසාම හිත සමාධි වෙනවා. හිත සමාධි වෙනකොට ඔය අපි කතා කරන දර්ශන තියෙන්නෙ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා.දැකපු දේ දැකීමෙන් පස්සෙ ඉවරයි කියලා. ඔය කතා ටික ඔක්කොම පේනවා ඒ සමාධියට. ඒක තමයි ආර්ය අෂ්ඨාංගික මාගය. අන්න ඒ දර්ශනයටයි. ඔය දිට්ඨානුසය, විචිකිච්චාඅනුසය, ඔය ඔක්කෝම අනුසය ධර්ම හිඳේන්නේ, අනුක‍්‍රමයෙන් ඒ දර්ශනයම නැවත ඒ සමාධිය ඇතිවුනහම අනික් පැත්තට පේනවා. සර්පයො හතර දෙනා කියන තැනත් දැන් මෙච්චර කල් බැලූවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා බැලූවා. බලන්නා හිටියා. සතුරු වධකයො පස්දෙනාගෙ ඇතිවීම නැතිවීම බැලූවා බලන්නා හිටියා. වැලිකෙළියේ පටන් හිටපු මිත‍්‍රයගෙ අනිත්‍යය බැලූවා. බලන්නා හිටියා. ගම් පහරන හොරුන්ගෙන් බේරිලා යන්න හැදුවා. බේරෙන්නා හිටියා. මේ හැම එකේම අපි මෙච්චර කාලයක් ආවේ පුද්ගල භාවයෙන්. උවමනාවෙන් ආවෙ. ඒ ඒ තැන්වල දී හිත සමාධි වුනා තමයි. නුවණ යෙදුනා තමයි. නමුත් ඒ හැම තැනකම කරන්නෙක් හිටියා. කළා. එයා කරපු වැඩක්. නමුත් මේ ආර්ය අෂ්ඨාංගික මාගය කියන තැන, පහුර කියන තැන, ජලාශෙන් එතෙර වෙන තැනදී, මේ පුද්ගලභාවයයි, අත හැරෙන්නෙ. අතහැරෙනවා කියන්නේ ඒ සමාධියට උත්සාහයකින් තොරව අර කියපු ටික ඔක්කොම පේනවා. තේරෙනවා. ඒ කියන්නෙ දැන් සර්පයො හතර දෙනා බලන්න  ඕන නෑ. එයාගෙ සර්ප ගතිය පේනවා. සතුරු වධකයො පස්දෙනාගෙ ස්වභාවය පේනවා. වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයගෙ ස්වභාවය පේනවා. හොරු ටික හතුරො කියන එක පේනවා. ඒ ගොල්ලන්ගෙ ගති ලක්ෂණ පේනවා. ඒකයි, ඇත්ත ඇති හැටියෙ දකිනවා. එහෙම දකිනකොට දැන් මෙතන බලන්නා නෑ. දර්ශනය. ඒ දර්ශනය ද පටිච්ච සමුප්පන්නයි කියන නුවණ තියෙනවා. එතකොට මේ විදියට දකිනකොට මේ ධමයන්ගේ තියෙන ඇලෙනකම සම්පූර්ණයෙන් අතහැරෙනවා. කළ කිරෙනවා. නොඇලෙනවා. මිදෙනවා. අනුක‍්‍රමයෙන් ආශ‍්‍රවයන්ගෙන් හිත මිදෙනවා. කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. සියළුම ආශ‍්‍රවයන්ගෙන් හිත මිදුනා කියන්නෙ ඔන්න එතෙරට ගියා.

එතෙරට ගියාම මේ සර්පයෝ ටිකයි, සතුරු වධකයො ටිකයි, වැලි කෙළියේ පටන් හිටපු මිත‍්‍රයයි. මේ හොරුයි ඔක්කොම ටික මෙතෙරම මැරෙනවා. වගේ තමයි, මේ ධමයෝ නූපදින ස්වභාවයට පත් කළා. අර ජලාශයෙන් එගොඩට යන එකයි. මෙතෙර දේවල් මතු නූපදින විදියට නැති කරනවයි, කියන එකයි දෙක එකට වෙන්නෙ. එයා එගොඩට ගියා කියන්නෙම, මේ අයගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒ අය මෙතෙරම මැරිලා වැටනෙවා.

ඉතින් ඔය උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ, නිවන් දකිනවා කියලා අපිට, එක් එක්කෙනාට එක එක විදියෙ මඟවල් නෑ. ඔය විදියට මේ බාහිරේ පටන් ගත්ත තැන ඉඳලා මනෝ විඥාන සම්ඵස්සය හරහා ඉතාම සියුම් විතර්ක ප‍්‍රකට කරගෙන, ප‍්‍රකට කරගෙන ඊට පස්සෙ ඒ අනුව ගිය ඉතාම සියුම් කෙලෙස් ධමත් ප‍්‍රකට කරගෙන මෙහෙම ඇතුලට බහින එක ක‍්‍රමයක් තියෙනවා. නිවන් මඟ දක්වාම තියෙන ඔය ක‍්‍රමය වෙනස් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ දැන් මේකට යන උදවු කරගන්න මනසිකාර මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් මේ සර්පයෝ හතර දෙනා ප‍්‍රකට කරගන්න තැන කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියලා බලන්න පුළුවන්. කෙනෙක් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා බලන්න පුළුවන් කෙනෙක් වරිච්චි බිත්තියකට උපමා කරලා බලන්න පුළුවන් සතුරු වධකයො පස්දෙනාගෙ උදය – වැය බලනකොට කෙනෙක් වතමානයේ බලන්න පුළුවන්, කෙනෙක් ආහාරය නිසා හටගත්තෙ කියලා බලන්න පුළුවන්. කෙනෙක් අවිද්‍යා තණ්හා නිසා හටගත්තෙ කියලා බලන්න පුළුවන්. කෙනෙක් ධාතුන්ගෙන් බලන්න පුළුවන්. ආයතනයන්ගෙන් බලන්න පුළුවන්. කොයි විදියට බැලූවත් ප‍්‍රකට වෙන්නෙ අන්තිමට එකම තැන. ව්‍යංජන නානත්වයක් විතරයි තියෙන්නෙ. අර්ථය එකයි.

දැන් අපි කියමු ඔය දර්ශනය ගැන වුනත් මම එක එක වෙලාවට එක එක ක‍්‍රම කියනවා. පවතින දේ අනිකක්. පෙනෙන දේ අනිකක්. පෙනෙන දේ පවතින දේ නෙවෙයි. පවතින දේ පෙනෙන දේ නෙවෙයි. කියලා එක වෙලාවකට කියනවා. එක වෙලාවකට පෙනෙන දේ පෙනීම විතරයි. අල්ලන්න, අහන්න, දකින්න බෑ. කියලත් කියනවා. තව වෙලාවක දී තිබුනත් නෙමෙයි. තියෙනවත් නෙමයි. අවස්ථාවට හටගන්නෙ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැතිවෙනවා. කියලා කියනවා.

තව වේලාවක දී මේ පේන දේ අවිද්‍යා, කම, තණ්හා, ආහාර කියන ටිකෙන් හැදිලා තියෙන්නෙ. මේ හේතු ටික නැතිවෙන කොට නැතිවෙනවා. තියෙන දෙයක් හම්බවෙනවා නෙමෙයි. අපි උපද්දවාගෙනයි පරිහරණය කරන්නෙ කියලා කියනවා. ඔය වගේ මං එක එක තැන්වල දී මේ දර්ශනය එක එක විදියට කතා කරනවා. කතා කළාට වචන නානත්වයක් විතරයි. අර්ථ වශයෙන් එකම තැන තියෙන්නේ. නොදන්න කෙනෙකුට හිතෙයි. හාමුදුරුවො එදා මෙහෙම කිවුවා. ඊට පස්සෙ මෙහෙමත් කිවුවා. මෙහෙමත් කිවුවා. කියලා. ඔය එක පරියායකින් කැමති කෙනෙකුට එක ක‍්‍රමයක් අල්ලගෙන කරන්න.

අනිත් කෙනා අනිත් ක‍්‍රමේ කරන්න. දෙන්නම ඉන්නෙ එක තැන. ඒ නිසා මේකෙදී මේ සම්මා දිට්ඨිය පෙන්නන්න ගත්ත වචන නානත්වය මිසක, සම්මා දිට්ඨි නානත්වයක් නෙමෙයි. ඇත්ත එකයි. කොතනින් ගත්තත් එකයි. ඒ වගේ මේ භාවනා කරනවා කියලා පාවෙනවා වගේ. හිස් වගේ, කිසි දෙයක් නොදැනෙන තැන. එහෙම එකක් මේ ශාසනේ නෑ. මේ ශාසනේ තියෙන්නෙ ස්කන්ධ, ධාතු, ආයතන, ටික ටික දැනුම ප‍්‍රකට කරගෙන ඒ චිත්ත චෛතසික ධර්ම ඕදාරික මට්ටම අත ඇරලා ඊගාව මට්ටම ප‍්‍රකට කරගෙන. ඒ අනුව ගිය රාග, ද්වේශ, මෝහ දුරු කරලා ඒ මට්ටමත් අතහැරලා ඊගාව මට්ටම ප‍්‍රකට කරගන්න. ඔහොම ඔහොම මේ ජීවිතය අනුව ගිය ස්කන්ධයෝ ඇසුරු කරන මට්ටමේ කෙලෙස් ටික පවා හිඳේන මට්ටමට යන්න තියෙන්නෙ. ගිහිල්ලා සියළුම ආශ‍්‍රවයන් ගෙන් මිදෙන ක‍්‍රමයක් මිසක මේ එළියෙ ඉඳගෙන අපි තාම කෑ කෝ ගහන්නෙ. නෑ  ඕක වැරදියි. නෑ ඔහොම වැරදියි. ඔහොම වෙන්නෙ නෑ. මෙහෙමයි කිය කියා. ඉතින් මේකෙදී මං මතක් කළේ මෙන්න මේ වගේ ගමනක් තියෙන්නෙ. ඔය ගමනෙ පළවෙනි අදියර තමයි සර්පයො හතර දෙනාගෙන් බේරිලා යන්න උත්සාහවත් වෙන කෙනාට විතරයි සතුරු වධකයො පස් දෙනා හම්බ වෙන්නෙ. සර්පයාට උපස්ථාන කර කර සතුරු වධකයන්ගෙන් බේරිලා යන්න හැදුවොත් හරිද? එතකොට නිකම් විහිළුවක් විතරයි නේ. කෙරෙනවද එහෙම. සතුරු වධකයො ටිකක් ඉපදිලත් නෑ. ඒ නිසා  ඕගොල්ලන්ට මේ සත්ව පුද්ගල භාවයෙන් යුක්ත මේ රූපය මමයි. මමයි, මමයි, මගේ දුවා, පුතා, කියන තැනක ඉන්නවා. ඒ කියන්නෙ ආබරණ, හැබැයි සතුරු වධකයො පස් දෙනාගෙන් පැනලා යන්න. මොකක් ද? උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍යය බලන්න හදනවා. පංච උපාදාන ස්කන්ධ කියන්නෙ සර්පයො හතර දෙනාට උපස්ථාන කරමින් සතුරු වධකයො පස් දෙනාගෙන් බේරිලා යන්න හදනවා. පුළුවන් ද? සර්පයො හතර දෙනා ආබරණ කොට ඉඳිමින්, උපස්ථාන කරමින් සතුරු වධකයො පන්නන්නෙවත් නෑ. ඒකෙන් වෙන්නෙ අපිට, වැඩ තියෙනවා නමුත් අර්ථයක් වෙන්නෙ නෑ.

මම කිවුවෙ කෙනෙකුට භාවනා කරන ඔය කාලෙ සුරක්ෂිත නෑ. අද  ඕගොල්ලො භාවනා කළාට ඊගාව මොහොතෙ ඇතිවන සිත මෙහෙම භාවනාවක් කරන කෙනෙක් ද මේ කියලා හිතන්නවත් බැරි විදියෙ ආශ්චර්යමත් හිතක් වෙන්න පුළුවන්. මේ හේතුඵල දහම නොදන්නකොට ලෝකයා දොස් කියයි. බනියි.  ඕගොල්ලන්ටමත් පුදුම හිතෙයි. නමුත් මේකෙ යථාර්ථය දන්නවා නම් එහෙම ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ නිසා එතකොට රැවටෙන්නෙත් නෑ. කවුරු මොන විදියකට මේ මේ තැනකයි කිවුවට එයා ඉන්න තැන දැක්කහම හිතාගත්ත හැකි මානසික මට්ටම. අද මෙයාට මෙහෙම වෙන්න පුළුවන් නමුත් මේ මට්ටමෙන් මිදිලා නෑ කියන එක. ක්ෂණිකව දන්නවා.

ඒක පුදුම වෙන්න දේකුත් නෑ. සමහරවිට මේ හොඳට බණ භාවනා කරලා ඉන්න කෙනෙක් ඊගාව මොහොතේ දී සාමාන්‍යයෙන් එහෙම බණක් භාවනාවක් නොකරන කෙනෙකුටවත් ඇති නොවෙන මට්ටමේ හිත් උපදින්න පුළුවන්කම තාම නැතිවෙලා නෑ. ඒක පුදුමයක් නෙමෙයි. නමුත් මේ ගතිය වෙනස් වෙන ජීවිතේට බලපෑමක් ඇතිවෙන්නෙ දහමෙන්. දහමෙන් බලපෑමක් දැනෙන මට්ටමට එන්න නම් වැලිකෙළියේ පටන් හිටපු මිත‍්‍රයාට අහු නොවී දුවන මට්ටමට ආවහම මිසක ඉන් මෙහා තවම පුද්ගලයා කරන තව වැඩක් විතරයි. ඒ නිසා හැමදාම ඔය මට්ටමේ බල බලා ඉඳිම හරියන්නෙ නෑ. ඔතනින් ඇතුලට යා යුතුයි.  ඕගොල්ලන්ට මරණින් පස්සෙ නෙමෙයි මේ ජීවිතේම සැනසිල්ල ලැබෙනවා. මරණය දක්වා කල් දාන්න  ඕන නෑ නිවන් දකින්න. නිවන කියන්නෙ වෙන මුකුත් නෙවෙයි. දුක් වූ ස්කන්ධයෝ දුක තමන් තුළ උපදින්න පුළුවන්. දුක උපදින්න පුළුවන් හේතුව හොයලා හේතුව නැති කරන එක කරන්න තියෙන්නෙ. ඒ මොහොතෙම දුක නූපදිනවා. මොන දුක ද? ඔය හැම දුකක්ම. ලෙඩවීම. මහළුබව, මරණය, දරුවා නැතිවුනා, සල්ලි මිල මුදල් නැතිවුනා, ණය තුරුස්, දැන්  ඕවා හින්දා දහම වඩාගන්න බෑ. දහම වඩා ගන්න බැරි හින්දා ඒකෙන් මිදෙන්න බැරි වෙලා තියෙන්නෙ.  ඕවා ඔක්කොම පැත්තකින් තැබේවා. කෙනෙකුට පුළුවන් නම් මේක කරන්න.

මේ බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළ වුනේ මේ අපේ තියෙන ප‍්‍රශ්න ටිකෙන් අමතර දුකකට උත්තර දෙන්න නෙවෙයි. අද ලෝකෙට නින්දා අපහාස ඇණුම් බැණුම් , ණය තුරුස්, බඩගින්න, පිපාසය, ආහාර පාන ටිකක් ගන්න නෑ. අඳින්න ඇඳුමක් නෑ, ළමයින්ගෙ ප‍්‍රශ්න, ගෙවල් දොරවල්වල ප‍්‍රශ්න, ණය කාරයො බනිනවා. ඊට පස්සෙ එයා කයෙනුත් දිළිඳුයි, හිතෙනුත් දිළිඳුයි. ඒකෙම කිදා බහිනවා. මේ ප‍්‍රශ්න ටිකට උත්තර දෙන්න තමයි බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළ වුනේ. යම් කිසි කෙනෙකුට, අර රැුල්ල තියෙන අතටම පැනලා නානවා වගේ, ඔය ප‍්‍රශ්න තියෙද්දිම, ප‍්‍රශ්නවලට විසඳුම් විදියට මොනවා හරි දැහැමින් ක‍්‍රම හොයනවා. ඒ හොයන අතරෙදිත් මේ දහමමයි අරගෙන යන්නෙ. සම්පූර්ණයෙන් පිහිටා හිටින දහමක් කියලා පේන්නෙ නැද්ද? මේ ප‍්‍රශ්න ටික ලිහාගන්න දුක නූපදින තැනට ගිහිල්ලා. මේ දුක නූපදින ස්වභාවයටම පත් කරන්න පුළුවන් දුක නූපදින ස්වභාවය ඇතිකරන තැනට කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. එතකොට මේ ප‍්‍රශ්න ලෝකෙ විසින් කුමන ආකාරයට හෝ සන්සිඳිලා මේකට උපකාරය නොලැබෙනවත් නෙමෙයි. ලැබෙනවාමයි. ඒ කියන්නේ තුණුරුවන්ගෙ ආශිර්වාදය අදෘශ්‍යමාන ආශිර්වාදයක් නැතුවා නෙමෙයි. නමුත් දිළිඳු කයක් තියෙන කෙනා දිළිඳු මනසින්, කිලිටි මනසින්, ඒකට වැටුනහම එහෙමවත් උදවුවක් වෙන්නෙ නෑ. වෙන්න කෙනෙකුත් නෑ. වෙන්නෙත් නෑ. ඒ නිසා හැමදාම එයා හිඟන කමේම තමයි.

ඒ නිසා අපිට පුළුවන් නම්, අපේ තියෙන ප‍්‍රශ්න ටිකටම තමයි උත්තර තියෙන්නෙ මේ ශාසනේ. ඒ ඔක්කොම පැත්තකින් තැබේවා මෙතනින් අරගෙන උත්සාහවත් වෙන්න පුළුවන් නම් ඒ උත්සාහයටම එයා මේ නිවන ද දකිනවා. ලෝකෙ තියෙන ඔක්කොම ප‍්‍රශ්න ටික ලිහෙනවා. ඔය ප‍්‍රශ්න ටික අපි හිතහිතා හිතහිතා හිටියා කියලා, දැන් පන්සලට ඇවිල්ලා කියන්නකො. ගෙදර ගැන හිත හිතා හිටියා කියලා  ඕගොල්ලන්ට ගෙදර යමක් කරන්න බෑ. කය මෙහෙනෙ. පන්සලේ වැඩක් කරගන්නත් නෑ. සමහරවිට අවංකවම  ඕගොල්ලො දහමෙ හැසිරුනොත් ගෙදර තියෙන දේ ඉබේ රැුකෙයි. මේ ගුණයෙ ආශිර්වාදයෙන් රැුකෙනවා අනිවාර්යයෙන්. ඒ වගේ සිද්ධියක් මේ දහමේ තියෙන්නෙ. මෙහෙම හිත හිතා ඉන්න කෙනාගෙ ගෙදර දේත් විනාශ වෙනවා. මෙතන හිටියා කියලා ගෙදර දේ රකින්න බෑ. විනාශ වෙන්න කාරණා යෙදුනොත් විනාශ වෙනවාමයි. අන්තිමට පන්සලේ දී කරන්න ආපු ටිකත් නෑ. දෙපැත්තම පිරිහෙනවා. ඒ වගේ ලෝකෙ කටයුතු කරන කෙනා බණක් දහමක් නැතුව එයාගෙ දහම් පැත්තත් පිරිහෙනවා. වස්තු පැත්තත් පිරිහෙනවා. වස්තුව පිරිහුනේ නමුදු මේ දහමින් යුක්ත වෙනවා කියන තැනක හිටියොත්,  ඕකට ලස්සන කතා තියෙනවා මට මතක නෑ. නිකම් පොඩි කතාවක් විතරක් කියන්නම්.

බොහොම ඈත අතීතයේ රුහුණේ තිබුනා විහාරයක් එක්තරා දවසක ඔය විහාරෙ තිබුනා වටිනා ධර්ම දේශනාවක්. බොහොම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ධර්ම දේශනාවක් කරනවා. ඉතින් ඔය අතරේ එක ගෙදරක හිටියා අම්මයි පුංචි පුතායි විතරයි. දරුවා දාලා එන්න බෑ. දාලා එන්න බැරිකම හින්දා අම්මා මොකද කරන්නෙ ළමයත් අරගෙන ආවා විහාරෙට. දැන් සෙනඟ මැද්දෙ ඉඳගෙන බණ අහනවා. මෙයා හිත කොහාටවත් යන්න නොදී හාමුදුරුවො කියන බණ ඔස්සේම මනස අරගෙන යනවා. දැන් ඈත පේනවා ළමයා ඉස්සරහා දුවනවා. ඒ ළඟ තියෙන තුඹසකින් ආවා සර්පයෙක්. අම්මට දැන් ළමයත් පේනවා. සර්පයත් පේනවා. අම්මා මොහොතක් කල්පනා කළා. මම දැන් ළමයා ගැන බලන්න ගියොත් මට මේ බණ අහන්න හම්බ වෙන්නෙ නෑ. අනන්ත ජාති සංසාරෙ මම  ඕන තරම් දරුවො හදලා ඇති. දුක් විඳලා ඇති. දැන් මේ දරුවා බේරගත්තා කියලා සසරින් බේරා ගන්න බෑ. නමුත් දරුවා මිය ගියත්, මම හොඳින් බණ ඇහුවොත්, මේ කුසලයම මගෙ පුතාට වේවා යහපත් තැනකට යන්න. මෙයම ශක්තියක් වේවා. වෙන මොනම ගතියක් එයාගෙ තිබුනත් මරණාසන්න මොහොතෙ ඒ චුති සිතට වෙන ගතියක් නොවේවා. මං කරන මේ කුසලයම වේවා කියලා දැඩිව අධිෂ්ඨාන කරලා ළමයා ගැන චුට්ටක්වත් හිතන්නෙ නැතුවම අම්මා හොඳට බණ ඇහුවා. දරුවා දිහා බලන එක නතර කරලා ඇස් දෙක වහගත්තා. බණ ඇහුවා බණ අහලා ඉවර වෙනකොට අම්මා සෝවාන් ඵලයට පත්වුනා. ඒ උත්සාහයට.

අනේ නැගිටලා බලනකොට නයා දෂ්ඨ කරලා ළමයා මැරිලා. ඊට පස්සෙ අම්මා ළඟට ඇවිල්ලා සත්‍ය කි‍්‍රයාවක් කරනවා. ‘‘මම එකදු වචනයක්වත් පිට යන්න නොදී, මේ දරුවා මෙහෙම වෙද්දිත්, ඒ ගැන නොසලකා තුණුරුවන්ම ගරු කරගෙන මං මේ බණ පදය ඇසුවේ වී සත්‍ය නම්, මේ දරුවා සුවපත් වේවා’’ කියලා ඔළුව අතගෑවා. එච්චරම හයියක් ඒ අම්මට ඒ මොහොතෙම ළමයා සුවපත් වුනා. ඇත්තටම ළමයා මැරිලා නෑ. සිහි මුර්ජා වෙලයි ඉඳලා තියෙන්නෙ. ඊට පස්සෙ ටිකකින් ළමයා නැගිට්ටා.මං ඒක කිවුවෙ දහමකට හිත තිබ්බොත් එයා මෙලොවයි. පරලොවයි. දෙකම දිනනවාමයි. දැන් දරුවා ගැන බලන්න ගියානම් ඔය දරුවා අද නොමැරුනත් කවදාහරි මැරෙනවනෙ. ඒකෙන් බේරගන්න පුළුවන් ද?

බෑ. තමන් අනන්ත සංසාරෙ මැරිලා යන එකෙන් බේරෙන්න පුළුවන් ද? බැ. මේ අම්මා අනන්ත සංසාරෙ ඉපදෙමින් මැරෙමින් යන ගමන තමනුත් වලක්වා ගත්තා. මේ ජීවිතේ මරණින් දරුවත් වලක්වා ගත්තා. මං මේ කිවුවෙ ලෝකෙ තියෙන ප‍්‍රශ්න ටිකටම තමයි බුදුරජාණන් වහන්සෙ උත්තර සපයන්න මේ ටික දේශනා කළේ. අපිට ඒකෙ විශ්වාසයක් නැති වෙලා අද තියෙන්නෙ ඒකයි.

අපි හිතාගෙන ඉන්නෙ බණ භාවනා තියෙන්නෙ කෑම කාලා අතුරුපසට ගන්න වගේ. මේ ජිවිතේ ප‍්‍රශ්න ටිකට අපි වෙනම පිළියම් කළ යුතුයි. එහෙම නැති කෙනෙකුට විවේකෙන් ටිකක් පස්සෙ දුක නැති කරන්න, කරන්න  ඕන වගේ එකක් තමයි තියෙන්නෙ. ඉතින් එහෙම නෙවෙයි. අපිට තියෙන මේ සියළුම දුක කියන එකට උත්තර කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුනේ. මේ ටික කළහම ඒකාන්තයෙන් මේ ජීවිතේම දුකෙන් මිදෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. ඒ හින්දා හැම දෙනාම ඊට උත්සාහවත් වෙලා කරන්න. තව ඔයිට වඩා ගොඩක් විස්තර තියෙනවා. මං ඔය කෙටි කරලා ගත්තෙ.

එක දෙයක්, මේ භාවනාව තමන්ගෙ මනෝ විඥාන සම්ඵස්සය හරහා, තමන් තුලින් මේ ඇතුළත වැඩෙන්න  ඕන සිද්ධි ටිකක් තියෙන්නෙ. එහෙම ගිහිල්ලා හිත සමාධි වෙලා ඵලයක් හැටියට ලෝකෙ හම්බ වෙන තැන, එළඹ සිටින තැනයි මං ඔය දර්ශනයක් කියලා කතා කරන්නෙ. ඒක නිකම්ම නෙමෙයි. මේ ගමන් මගේ ඇතුලට ගිහිල්ලා ඇතුළේ තියෙන හේතුව ගලවලා අයින් කළාට පස්සෙ ආයෙ උඩට මතුවෙලා පේන මට්ටමයි ඔය දර්ශණය කියන්නෙ. එතකොට බලන්න නෑ. පෙනෙන දේ ඵලය. ඒක උඩ පොත්තෙ ඉඳගෙන අපි ගන්න හැදුවට අපිට ගන්න බෑ. මොකද මේ බාහිර ලෝකෙ හම්බවෙන තැන කෙලෙස් තියෙන්නෙ. එහෙ කෙලෙස් තියෙන හින්දා නෙමෙයි. ඒ දේවල් හම්බවෙනකොට ඉදිරිපත් වෙන අපේ ආධ්‍යාත්මික මානසික මට්ටම තුල ඇති කෙලෙස් ගතිය නිසයි. ඒ ටික හිඳේන්න ඕන. මේ භාවනා කියලා කියන්නෙ ඒක. ඉතින් යන්න තියෙන ගමන් මඟ ඔන්න ඔය වගේ සිද්ධියක්. ඒක බලාගෙන අනුමානෙට අර මං කියපු තැනින් පටන් ගන්න.

අනිවාර්යෙන් ම අවශ්‍යමයි මං අර කියපු කාරණා ටික. දැනට ගැඹුරු දේවල් එකක්වත් එපා. ඕගොල්ලො ඔය ටිකෙන් පටන් ගන්න ආනාපාන සතියයි. කායගතා සතියයි ඔය අනුස්සති දෙක පටන් ගන්න. ඔය කායගතාසතිය කියන එක නිවන කෙළවර කොට පවතින ධමතාවයක්. ඒ හින්දා ඒක ගැන බයවෙන්න එපා. එකපාරටම රහත් වෙන්න හදන්න එපා. මේක කෙලෙස්, මේ හරියෙ තාම මෝඩකම තියෙනවනෙ, අරෙහෙ මෙහෙ කියලා අනුක‍්‍රමයෙන් යන්න  ඕන. අපිට ඉතින් ගොඩක්  ඕන පළවෙනි හුස්ම පාරෙන් සෝවාන් වෙන්න. දෙවැනි හුස්ම පාරෙන් සකෘදාගාමී වෙන්න. ඔහොමනෙ බලාපොරොත්තුව ඔහොම බෑ. ඉතින් දැන් අපි ටිකක් භාවනා කරමු. ආපහු මෙනෙහි කරන්න භාවනා කරන හැටි.

එතෙන්දි  ඕගොල්ලන්ට තියෙන්නෙ සති නිමිත්තෙ හිත තියාගෙන, සත්ව පුද්ගල භාවයට සිහිවෙන හැම අරමුණකම  ඕගොල්ලන්ගෙ නුවණ දිවෙන්න  ඕන කමටහනට. අරමුණක් සිහි නොවුනොත් ඇස් දෙක ඇරගෙන හෝ වහගෙන ඉන්නකොට ළඟ තව අය ඉන්නවා කියලා පෙනෙන මට්ටමේ හැම රූපයක් ම  ඕගොල්ලන්ට කමටහනක්. එහෙම මුකුත් නැත්නම්, සත්ව පුද්ගල භාවයට ජීවිතේ ඇසුරු කරපු අනන්ත අපරිමාන නිමිති තියෙනවනෙ. ඔක්කොම කමටහන්, ඔක්කොම සිහි කර කර බැලිය යුතුයි. ඊට අමතරව තමන් කියන කය, මේ කයෙත් සත්ව පුද්ගල භාවයට හම්බවෙන හැම නිමිත්තම  ඕගොල්ලන්ට එක සැරයක් බලන්න පුළුවන් නම් මෙහෙම. එක රූපෙක එක වතාවක් බැලූවහම ඇති. දැන් තමන්ට ලෝකය හමුවෙච්ච දවසෙ ඉඳලා හිතට මතක් කරන්න යම් තාක් පුද්ගල භාවයෙන් යුක්ත රූප තියෙනවනෙ. ඒ එකක් ගන්නවා. ඒක බලනවා ඒ රූපෙද හම, මස්, ලේ, නහර, ඇට, ඇට මිදුලූ වලින් යුක්තයි. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද ඒ කය සවිඥානක වෙලා තියෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි. ඒ රූපෙ යෑම්, ඊම් වෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද එතනත් රූප පේන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද සද්ද ඇහෙන්නෙ. කියලා බැලූවා. එකම වතාවක් බලන්න. ඒ වගේ දැන් සත්ව පුද්ගල භාවයෙන් ඇසුරු කරපු හැම කෙනෙක් ගැනම ඔහොම බලාගෙන යන්න. එක්කෙනෙක් ගැන එක වරක් විතරක් බැලූවම ඇති.  ඕක අවසන් කරන්න  ඕගොල්ලන්ට සතියක් වත් යයි. එච්චරට මතකයි අපිට රූප. ගොඩාක් බල බලා ඉන්නෙ නැතුව එකම සැරයක් බලන්න. තේරුනාද මං කියන එක. පුළුවන් නම් වැඬේ කරලා බලන්න.

ඉවරයක් වෙන්නම. ඉවරයක් වෙන්න කියන්නෙ සිහිකරන්න පුළුවන් තාක්. එතන දී අද මැරිලා වෙන්න පුළුවන්. දැන් තාත්තා මැරිලා. නමුත් මගේ ලෝකෙට තාම ඒක සජීවී. එතකොට ඒ තාත්තා කියන රූපෙත් සිහි කරන්න. සිහිකරලා, ඉන්න කෙනෙක් හැටියට අල්ලගන්න. එතන ද ඒ රූපෙ හැදිලා තියෙන්නෙ. හම්, මස්, ලේ, නහර, ඇට ඇට මිදුලූ, කන බොන ආහාරයෙන්නෙ හැදුනෙ. ඒ කය ඇසුරු කරගෙන පැවතුන හිත නිසා නේද ඒ කය සවිඥානක වුනේ. ඒ කය ඇසුරු කරගෙන පැවතුන හිත නිසා නේද ඒ රූපයෙ යෑම ඊම් වුනේ. ඒ කය ඇසුරු කරගෙන පැවති හිතෙන් නේද රූප දැක්කෙ. ඒ කය ඇසුරු කරගෙන පැවති හිතෙන් නේද සද්ද ඇහුවෙ. කියලා බලනවා. යම් දවසක උත්තර ටික එනවා. මම තාත්තා කියලා කිව්වේ හම්, මස්, ලේ නහර වලින් හැදුන ඒ කයට ද, නැත්නම් ඒ කය ඇසුරු කරගෙන කි‍්‍රයා කරපු මේ හිතට ද? කියලා තමන් ම ප‍්‍රශ්නාර්ථයකට මැදිවෙන තැනක් එනවා. එතකොටයි තේරෙන්නේ මේ අපි නාම රූප දෙකක් තියෙන තැනක මේ නාම රූප දෙක නොදන්නාකම නිසා අවිද්‍යා පච්චයා සංඛාරා නොදන්නාකම නිසා ඇතිකරගත්ත සංකල්පයක් නේද මේ තිබුනෙ. අපි කෙනෙකුට කැමතියි කියන්නෙ අපි අන්තිමට අපේම අදහසට රැවටිලා නේද? දැන් ඔය සංස්කාර ස්කන්ධය උපමා කරන්නේ මොකටද? පට පණුවට නෙ. දැන් පට පණුවා මල්බෙරි ගස්වල කෝෂයක් හදනවා. ඌම කෝෂෙ බැඳලා බැඳලා ඒක ඇතුලට ගිහිල්ලා කටින්ම කෝෂෙ වහනවා. මොකද ඒ ඌට සමනලයෙක් වෙන්න. මුළු මල් බෙරි ගහේම කොළ කාලා ගහම එකම පණු කෝෂ බවට පත් වෙච්ච කාලෙදී මිනිස්සු ගහ පිටින් ම අරගෙන තම්බනවා. තැම්බුවට පස්සෙ ඒකෙ නූල් ඇදෙනවා. දිගට නූල් ගන්නවා.

ඒකෙන් ඉතින් ලස්සන සාරි වියාගෙන හරි ආඩම්බරේට යනවා. දැන් ඔය පට රෙදි හරි ගණන්. පට රෙදි භික්ෂූන් වහන්සේලාට කැප නෑ. මොකද සත්ව හිංසාවකින් හදන ඒවා නිසා ඒවා භික්ෂූන් වහන්සේලාට කැප නෑ. ඉතින් තමන් ම හදපු කෝෂය නිසයි ඒ පටපණුවට මැරෙන්න වුනේ. තමන් ම හදපු කෝෂය නිසා තමන්ම විනාශ වෙන පට පණුවා වගේ කියනවා මේ සංඛාරය. තමන් ම හදන විතර්කයට තමන්ම රැවටිලයි දුක් විඳින්නෙ. ඒ බව හොඳට තේරෙනවා අපි පට පණුවොයි කියන එක, කාටත් ඔය නාම රූප දෙක ප‍්‍රකට වුනහම.

එහෙනම් දැන් හොඳට මතක තියාගන්නට  ඕන.  ඕගොල්ලන්ට තියෙන දේ තමයි, නිකම් හිතන්න හැමදාම සිල් රකින්න වෙන එක දුකක් නෙමෙයිද කියලා. මං දැන් මේ කට්ටියටත් ඔක්කොම කිය කියා ඉන්නෙ මේක නම්, මට නම් කරන්න බෑ. ඇත්තටම හැමදාම සිල් රකින්න වෙන එක, හැමදාම භාවනා කරන්න වෙන එක, මේක මහ දුකක්. ඒ හින්දා මේක මොකක් හරි කරන්න  ඕන. එක්කො ඉවරයක් වෙන්න. ඒ හින්දා  ඕගොල්ලොත් පටන් ගන්න. දැන් අපි නම් මේ දැඩි උත්සාහයෙන් මොනව හරි පටන් ගෙන තියෙන්නෙ. මේකට මොකක් හරි කරන්න  ඕන.

වෙන දෙයක් නෙමෙයි හැමදාම මේ සිල් රකින එක දුකක්. සමථ භාවනා කියනවා, විදර්ශනා භාවනා කියනවා මේක දුකක් නෙමෙයිද? අනික් දුක් මදිවට මේකත් දුකක් වෙලා. ඉතින් මේ ශාසනේ ඇත්තටම එහෙම එකක් නෙමෙයි. මේ ශාසනේ හැමදාම සිල් රකින්න  ඕන ශාසනයක් නෙමෙයි. ඒකයි මෙතන වටින්නෙ. මේ ශාසනේ හැමදාම සමථ භාවනා, විදර්ශනා භාවනා කරන්න  ඕන. ශාසනයක් නෙමෙයි. ඒක කරලා විවේකෙන් ඉන්න පුළුවන් ශාසනයක්. එහෙම තියෙද්දී අපි උවමනාවෙන් මේක ඇදි ඇදී ඇදි අදී යන තත්වෙට පත්කරගෙන තියෙන්නෙ.

මේ ළිදක් ඉහපු කතාවක් තියෙනවා ආණ්ඩුවෙ වත්තක ළිඳ ඉහිනවා. ඉවර වෙන්නම ඉහින්න බෑ. එක දවසින්. වතුර ටිකක් ඉතුරුයි. ආයෙත් පහුවදාට වැඩ පටන් ගන්නවා. පහුවදා වෙනකොට ආයෙ වතුර පිරිලා එදත් ඉවර කරන්න බෑ. ඔහොම ඉතින් මාස ගානක් ඉහිනවලූ. එක දිගටම දවසක් හමාරක් ඉස්සා නම් ඒක ඉවරයි. නමුත් හරියට දවසෙ වෙලාවට වැඩ ඉවර කළහම මොකද වෙන්නෙ. පහුවදාටත් වැඩ. ඒ වගේ අපිත් මේ ආණ්ඩුවෙ ක‍්‍රමේට භාවනා කරන්න ගියාම  ඕක තමයි වෙන්නෙ. මොකද ගණන් ගන්නෙ නෑ. පඩියටනෙ. අද ටිකක් කරනවා. ආයෙ නිකම් ඉන්නවා. හැමදාම එකම තැන. ඉතින් මේක කොන්ත‍්‍රාත් ක‍්‍රමේට කරන්න වෙනවා.

ඒ නිසා දැන් මේ කොහොම හරි ඥාන දර්ශනය, මේ සර්පයො හතර දෙනා ප‍්‍රකට කර ගන්න තැන දක්වා උත්සාහයෙන් කරන්න  ඕන. ඒකයි මං කිවුවෙ ගොඩාක් කරන්න  ඕන නෑ. සත්ව පුද්ගල භාවයෙන් මතක තියෙන යම් තාක් ප‍්‍රභේද වේද, ඒ එක රූපයක් සිහි කරගෙන එක පාරක් බලන්න. හැබැයි ඒ රූපෙ අර කොටස් පහ සම්පූර්ණ වෙන්න  ඕන. මං ඒ කොටස් පහ දාලා තියෙන්නෙ කියන්න පහසු හින්දා. ඒ කියන්නෙ රූපය, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා රූපය බලනවා. කන බොන ආහාරය නිසා රූපය ඇතිවෙලා තියෙන්නේ කියලා රුපය ඔය කාරණා දෙකෙන් බැලිය යුතුයි. ඊට පස්සෙ කය ඇසුරු කරගෙන තියෙන හිත නිසා කය සවිඥානක වෙලා තියෙනවා. මේ හැඟීම් දැනීම් තියෙනවා. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ කයේ යෑම් ඊම් වෙන්නේ. හිතටයි රූප පේන්නේ. සද්ද ඇහෙන්නෙ. කියලා කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ තුන ගැන හිතනවා. ඔය කයත් කයේ ඇතිවීමත් කියන කරුණු දෙකයි. කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් කෙරෙන කි‍්‍රයාව ගැන කරුණු තුනයි. ඔය පහ තමයි මං කියන්නෙ එක රූපයක් දිහා බලාගෙන හිතන්න.

ඉස්සෙල්ලාම ආනාපාන සතියයි වඩන්නෙ. ආනාපානසතිය ටිකක් වඩලා විනාඩි දහයක් විතර සිහියෙන් හිත අහකට ගියොත් එවෙලෙ, සත්ව පුද්ගල භාවයට ගියොත් ඒක බලන්න එපා. ආපහු ආනාපාන සතියට එනවා. මෙහෙම විනාඩි දහයක් විතර කරලා ඊට පස්සෙයි හැම වේලේම මනසිකාරය පටන් ගන්නෙ. ආයෙ සක්මන් කරන්න වුනොත්, සක්මන් කරන විටත් සත්ව පුද්ගල භාවයට හමුවන හැම රූපම බලනවා. ආයෙ ඉඳගත්තොත් ඉස්සෙල්ලා අනාපාන සතිය වඩලයි, ආයෙ බලන්නෙ. දැන් ඉඳගෙන වේවා, හිටගෙන වේවා, ඇවිදිනකොට වේවා, නිදාගෙන වේවා, හතර ඉරියවුවෙම සත්ව පුද්ගල භාවයට හම්බවෙන, දැනෙන හැම එකකම කෑලි පහ බලන්න තියෙන්නෙ. බලමු කොච්චරක් දුරට කරනවද කියලා. කොච්චර සාර්ථක ද කියලා, දැන් ලොකු වගකීමක් තියෙන්නෙ. තමන්ට මතක යම්තාක් ඇත් ද, ඒ තාක්ම සිහි කළ යුතුයි.

ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කර ගන්නට මේ දේශනාව හේතු පාරමිතාවක් ම වේවා!

සාදු! සාදු!! සාදු!!!

දුකින් මිදීම සඳහා අප්‍රමාදී වෙමු

Designs 2

ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනී,

මේ පින්වත් සියලූ දෙනා දැන් සුදානම් වෙන්නේ තමන්ගේ වටිනා මනුෂ්‍ය ජිවිතේ තවත් වටිනා බවට පත් කර ගන්න ඒ වගේම මේ ලබපු මනුෂ්‍ය ජිවිතේ හිස් නොවන විදියේ අර්ථාන්විත තත්වයට පත් කර ගන්න තමන්ට හේතු කාරනා වන වටිනා සද්ධර්මය බිදක් ශ‍්‍රවනය කරන්න. දන්දෙන කෙනෙකුට මෙලොවදී ම ලැබෙන ආනිශංස රාශියක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ අතරින් මේ පින්වතුන්ට දිට්ධ ධම්ම වේදනිය වශයෙන් මෙලොවදී ම ලැබෙන ආනිශංසයක් වුනා කළ්‍යාන මිත‍්‍ර ඇසුර ඇසුරු කරන්නට ලැබෙන බවත් සසර දුකින් අත මිදෙන්න උපකාර වන සද්ධර්මය ශ‍්‍රවනය කරන්න ලැබෙන බවත් ඒ නිසා පින්වතුන් දැන් මේ සුදානම් වෙන්නේ සසර දුක් ගිනි නිවීම පිණිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කල සද්ධර්මයෙන් බිඳක් ශ‍්‍රවනය කරන්න.

හැම දෙනාම මේ කය නිසලව තියෙනවා වගේ සිතත් නිසල කරගෙන සන්සුන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණුවල සිත දුවන්ට නොදී බොහොම හොඳින් මේ දහම අහන්න  ඕනෙ. සිහි කරන්න  ඕනෙ.

කුමක් නිසා ද පින්වතුනි?, අප හැම දෙනා ම නොදන්නවා වුනාට අති දිර්ඝ කාලෙක ඉදලා අති දිර්ඝ මේ සංසාරේ තුල ඉදගෙන අපි හැම කෙනෙක් ම නොයෙක් විදියේ ක‍්‍රම උපායන් හොයමින් ජීවිතයේ දුක අයින් කරගන්න වෙහෙසුනු අය. ඒත් අපි හැම දෙනාටම ජීවිතය තුලින් ලබාගන්න නොහැකිවුණු නොහැකිවන කරුණත්  දුක් සහගත බව ජීවිතවලින් අයින් කර ගන්න.  සැප සැනසිල්ල කියන ඒක අපේ ජිවිත වලට ලගා කර ගන්න. ඒකට හේතුවක් මේ මුලූ ලෝකයේ ම දුක නැති කරන්න හදන්නේ දුක ඇති වෙලා තියෙන්නේ කොහොම ද කියන කාරණාව තේරුම් ගෙන නෙමෙයි. දුක ඇතිවන කාරණාව පැත්තකින් තැබේවා දුක කියන ධර්මතාවය මොකක්ද කියන ඒක තේරුම් ගෙන නෙමෙයි. ඒකත් පැත්තකින් තැබේවා තමන් කරන්නේ මොකක්ද කියන කාරණාවවත් තමන් තෝර ගෙන නෙමෙයි.

ඉතින් මේ විදියේ මුලා බවකට අපිට පත්වෙන්න වුනේ අපි පත්වුනේ මේ සසර දුක නිමා කරන සද්ධර්ම අවබෝධය අපිට නොලැබුනු නිසයි. ඒ නිසා අද දවසේ දී මේ ජිවිතයේ අපි කොහොම හරි සද්ධර්මය අවබෝධ කර ගන්ත  ඕනෙ. ඒ සඳහා බොහෝ ම වටිනා අවස්ථාවක් අපිට හම්බ වෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ ඒ වගේම මනුෂ්‍ය ජිවිතේ සද්ධර්මය පවතින වට පිටාවක.

ඇයි මේ සද්ධර්මය අපි අවබෝධ කර ගත යුත්තේ? ඒ සද්ධර්මය අවබෝධ කර ගන්න ඇයි අප වෙහෙසෙන්න  ඕනෙ?

මෙන්න මේ කාරණාව අපට තේරුම් යන්න  ඕනෙ මේ කාරණාව තේරුණොත් විතරයි. අපි සද්ධර්මයට කැමති වෙන්නේ ඒ කාරණාව තේරුම් යන්න නම් අකමැත්තෙන් වුනත් සද්ධර්මය අහන්න වෙනවා. කළ්‍යාණ මිත‍්‍ර ඇසුර තියෙන්නේ ඒ නිසයි. සද්ධර්මයට රුචිකත්වය නැති බෙහෙවින් හිත නොනැමුනත් අපේ කළ්‍යාණ මිත‍්‍ර ඇසුර අපිව සද්ධර්මයට යොමු කරවනවා. අහම්බෙන් නමුත් යොමු කරවන කොට ඒ සද්ධර්මය අපට තේරුණාම එදා ඉදලා අපිට අපේ කැමැත්තක් ඇති වෙනවා.

ඒකට හොද නිදසුනක් අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඝටීකාර කියල මානවකයෙක් වෙලා උපන්නා, හැබැයි බොහොම පහත් කුලයක රොඩි කුලයක. මෙයාට බ‍්‍රහ්මණ කුලයේ උපන්න යාලූවෙක් හිටියා ජෝතිපාල කියලා. මේ දෙන්නා හරිම යාලූයි, හරිම විශ්වාසවන්තයි. හැම කටයුත්තක්ම කරන්නේ දෙන්නා ඒකට එකතු වෙලා.  ඒ වුනාට මේ රොඩි කුලේ උපන්නත් ඝටීකාර හරි ම බුද්ධිමත්. එයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ශ‍්‍රද්ධාව ඇති කරගෙන අනාගාමි වෙච්ච කෙනෙක්. තමන්ගේ යාලූවට කිව්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අසවල් තැන වැඩ ඉන්නවා අපි ගිහින් බණ අහමු කියලා. නමුත් කැමති වුනේ නැහැ. කිහිප වතාවක් ම කිව්වා කැමති වුනේ නැහැ. බුද්ධත්වය කියන එක ඔහොම ලබන්න පුලූවන් එකක් නෙමෙයි. ඔය මුඩු මහණට මොන බුද්ධත්වයක් ද කියලා මේ විදියේ නොයෙක් නින්දා අපහාසත් කළා.

ඊට පස්සේ ඝටීකාර මානවකයා කියනවා එහෙනම් අපි නාන්න යමු කියලා. ජෝතිපාල මානවකයයි දෙන්නා නාන්න ගියාට පස්සේ නනා ඉන්න ගමන් ජෝතිපාල මානවකයගේ කෙස් වැටියෙන් අල්ලා ගන්නවා. ඝටීකාර අල්ල ගෙන වතුරේ ඔබාගෙන ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බවෙන්න යන්න එන්නේ නැත්නම් අත හරින්නේ නෑ කියලා. ඊට පස්සේ දඟලලා දඟලලා මම එන්නම් අත අරින්න කිව්වා.

ජෝතිපාල මානවක කල්පනා කරනවා මම බ‍්‍රහ්මණ වංශයේ උපන්න යහලූවෙක් උනත් ඝටීකාර රොඞී වංශයේ ඉපදුන කෙනෙක්. කෙස් වැටියෙන් අල්ලනවා තියා කෙනෙක් හිතන්නේවත් නැ. මගේ යහලූවා මෙහෙම කළේ ඒ කාන්තයෙන් ම විශාල අර්ථයක් ඇතුව. (අපි වගේ මොඩ කමට කිපුනේ නැහැ) මොකක් ද මේකේ  හේතුව කියලා බැලූවා. පටිඝයක් තරහවක් ඇති කර ගත්තේ නැහැ. බැලූවා බලලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලඟට එක්කන් ගිහින් කිව්වා ස්වාමීනි මේ ජෝතිපාල මගේ යාලූවෙක් මෙයාටත් භාග්‍යවතුන් වහන්සේ බණ ටිකක් කියන්න කියලා.

ඉතාමත් සුලූ ධර්ම දේශනාවක් කරන කොට බොහෝ සෙයින් පින් පිරුණූ මේ ජෝතිපාල මානවකට ඒ සද්ධර්මය අවබෝධ වුනා. අවබෝධ වෙනකොට ඝටීකාරගෙන් අහනවා, ඇයි ඹබ මෙවැනි ශාසනයක පැවදි වෙන්නෙ නැත්තේ කියලා? ඊට පස්සේ කියනවා මගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නාගෙම ඇස් පෙන්නේ නැහැ ඒ දෙන්නට සලකන්න කෙනෙක් නැති හින්දා මං ගෙදර ඉන්නේ, නැත්නම් මම මහණ වෙලා කියලා. එහෙනම් මම මහණ වෙනවා කියලා ජෝතිපාල මානවක සාසනේ පැවදි වෙලා තෙවලා දහම ති‍්‍රපිටක ධර්මය සම්පුර්ණයෙන්ම ඉගෙනගෙන ධාන්‍ය අභිඥා ඉගෙන ගෙන තව බුදු කෙනෙක් පහල වුනා වගේ දිවි ඇතිතාක් ත‍්‍රිපිටකය භික්ෂුන් වහන්සේලාට ඉගැන්නුවා කියලා සඳහන් වෙනවා.

එතකොට බලන්න කළ්‍යාණ මිත‍්‍ර ඇසුර නිසා සද්ධර්මයට ගරු නොකල සද්ධර්මයට කැමති නොවුනු කෙනාගේ මනසත් කැමති වෙච්ච හැටි.

ඉතින් මේ පින්වතුන්ගේ මේ පින්වතුන්ට අනුකම්පා කරන තමන්ගේ දරුවෝ ඥතින් විසින් මේ පින්වතුන්ට සද්ධර්මය අහන්න යොමු කළා. මේ පින්වතුනුත්  මෙයින් ප‍්‍රයෝජනයක් ගන්නට  ඕනේ කියලා හිතලා බොහොම හොදින් බොහොම උවමනාවෙන් මේ ටික ශ‍්‍රවනය කරන්නන  ඕනේ.

 

පින්වතුනි, මම අද ධර්ම දේශනාව සදහා මාතෘකා කලේ වටිනා ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ”ධනං ධජේ  අන්ගං රක්කමානෝ” මේ ලෝකයා තමන්ගේ අඟපසඟ රැකගන්න ධනය අතහරිනවලූ. මේ ශරිරයේ කොටසක් නැතිවෙන්න ගියොත් ඒක බේර ගන්න ගෙවල් දොරවල් වුනත් මිල මුදල් උනත් අපි අත හරින් නැද්ද? අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න  ඕනේ කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. ”ධනං ධජේ  අන්ගං රක්කමානෝ” ධනය අත හරිනවා ශරිර අඟපසඟ රැක ගන්නවා. ”අංගං ධජේ ජිවිත රක්ක මානෝ” සමහරු ශරිරයේ කොටස් අත හරිනවා ජිවිතේ රැක ගන්න. මේ දේ අත හැරියේ නැත්නම් ජිවිතේ නැති වෙනවා කිව්වොත් ඒ කොටස අත හරිනවා ජිවිතේ රැකගන්න. ”ජිවිතං අංගං ධනං ධජේ ධං මනුෂ්‍ය ගන්තෝ” ධර්මය සිහි කරන ධර්මයට ගරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජිවිතයයි ධනයයි අංගයි කියන මේ තුනම අත හරිනවලූ ධර්මය අභියසදි.

ඒකට හොඳ කථාවක් තියෙනවා. මේ කතාව ඉස්සර වෙලා ම කියන්නම්. මේ ලංකාවේ බෝහෝම ධනවත් සිටු පවුලක් හිටියා. ඒ සිටු දෙමහල්ලන්ට හිටියා බොහො ම පින්වත් පුත්තු දෙන්නෙක්. ඉතින් මේ දරු දෙන්නා ටිකක් ලොකු වෙනකොට ඒ දරුවන්ට තමන් සතු සියලූ ම ධනය සමානව බෙදලා දුන්නා. මේ දෙමව්පියෝ දීලා නොබෝ කලකින් ඒ දෙමව්පියෝ දෙන්නා කලූරිය කලා.

ඉතින් මේ අයියයි මල්ලියි දෙන්නා දැන් මේ සිටු දෙමහල්ලන් සතු ධනය පරිහරණය කරමින් ජිවත් වෙනවා. අයියගේ නම තිස්ස. තිස්ස ටිකක් හරි අමුතු විදියට හිතනවා ජිවිතය ගැන. ඉතින් මනුෂ්‍යයෝ විහාරස්ථාන වලට ගිහිල්ලා හවසට මල් පහන් අරගෙන යන කොට මෙයා කල්පනා කරනවා ඇයි මේ මනුෂ්‍යයෝ මල් පහන් අරගෙන යන්නේ මොකක් හරි මේකේ තේරුමක් ඇති කියලා. මෙයත් ඒ පස්සෙන් දුවනවා. ඉතින් ගිහිල්ලා බණ ඇහුවා. අහන කොට ජිවිතේ හරි අමුත්තක් තේරුණා. ඉතින් කාලයක් මෙහෙම බණ අහන්න පුරුදු වුනා. බණ අහනකොට තිස්සට තේරුණා යම් තරුණකමක් මහළුකමෙන් අවසන් වෙනවනම් මේ තරුණ කමෙන් පලක් නෑ නේද? නින්දා වේවා. යම් ජිවිතයක් මරණයෙන් අවසන් වෙනවා නම් මේ ජිවිතයෙන් පලක් නෑ තේරුමක් නෑ නේද? මේ ජිවිත නින්දා වේවා. යම් එක් වීමක් වෙන් වීමකින් අවසන් වෙනවනම් ඒ එකවීමෙන් පලක් නැහැ නේද කියලා මේ වගේ ජීවිතේ ලෝකයා හිතන දේට වඩා ටිකක් වෙනස්ව හිතන්න හුරු වුනා. අනන්ත ජාති සංසාරික වු ජරා මරණ දුක තමන්ගේ පිටුපසින් වධකයෙක් වගේ හඹාගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න පටන් ගත්තා.

පසුව විහාරස්ථානයට ගිහිල්ලා කිව්වා ස්වාමිනි මාව මහණ කරන්න කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා තිස්ස ඹයා අවසර අරගෙනද ආවේ? ගෙදර කවුරු හරි ඉන්නවද අවසර ගන්න. ස්වාමිනි මට එකම එක මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ මල්ලිගෙන් අවසර ගත්තද කියලා ඇහුවා ම, නැහැ ස්වාමිණී. එහෙනම් තිස්ස යන්න ගිහින් මල්ලිගෙන් අවසර ගෙන එන්න කිව්වා. මේ තිස්ස ගෙදර ගිහිල්ලා මල්ලි ගාවට ගිහිල්ලා කියනවා, මල්ලි මේ ජිවිතය හරි ම නිසරුයි ජරා මරණෙන් අවසන් වෙනවනම් ඒ අපේ ජීවිතයේ තේරුමක් නැහැ. ඒ හින්දා මල්ලි මට මහණ වෙන්න  ඕනේ කියලා. ඒ පාර ඒ මල්ලි අඩන්න පටන් ගත්තා. අයියයි මායි විතරයි හිටියේ අම්මා තාත්තත් නැ. මට අයියා, අයියා විතරක් නෙමෙයි. මට අම්මත්, මට තාත්තත්, අනිකුත් ඥතින් ඔක්කොම ඔයයි. ඒ හින්දා අනේ අයියේ මහණ වෙන්න නම් එපා. මගේ ධනයත්  ඕනේ නම් ගන්න කියලා මල්ලි කිව්වා. මල්ල විවාහ වෙලා හිටියේ. අයියා ගොඩක් කරුණු කියලා අන්නිමට කිව්වා මල්ලි මං සතු සියලූම ධනය ඔයා ගන්න මට එක ම එක දෙයක් දෙන්න. මොකක් ද කිව්වා, මට මහණ වෙන්න අවසර විතරක් දෙන්න කිව්වා.

මෙහෙම නැවත නැවත කරදර කරන කොට මල්ලි අඬ අඬා අයියගේ කැමැත්තක් එහෙනම් කරන්න. මහණ වෙන්න අවසර දුන්නා.

ඒ අයියගේ සියලූම ධනයත් මල්ලිට පවරලා දීලා අයියා විහාරස්ථානයට ගිහින් මහණ වුනා. මහන වෙලා තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමටහන් ඉල්ලගෙන පාංශුකූල චිවරයක් පොරව ගත්තා. පාත්තරයක් අතට ගත්තා. ඉතාමත් ඈත කැලේ ඇතුලේ ගල් ලෙනකට ගියා.

උදැසන ගමට ගිහිල්ලා පිඬුසිගා වඩිනවා. හම්බ වෙන පිණ්ඩපාතේ රස දෙයක් ද, නීරස ද කියලා බලන්නේ නැ. සිහිල් වෙච්ච දෙයක් ද, රස්නේ දෙයක් ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි පැවැත්ම පිණීස ම පිණ්ඩ පාතය ඇසුරු කලා. අප‍්‍රමාදිව මේ වන අරණෙ ගල් ලෙනට වෙලා භාවනා කරනවා.

ඔහොම ඉන්න අතර මල්ලිගේ බිරිඳට එක්තරා විදියේ ක්ලේෂයක් ඇති වුනා. අයියගේ තියෙන සියලූම ධනය අපට පවරලා දීලා මහණ වුනේ, මහා විශාල ධනයක් තියෙනවා. බැරි වෙලාවත් පැවදි ජීවිතේ ගැන කල කිරිලා ආයෙත් ගෙදර ආවොත් මේ ධනය එයාට දෙන්න වෙනවා. මේ ධනය ගන්න එන්න ඉස්සෙල්ලා කොහොම හරි උපායකින් මෙයාව මරන්න  ඕනේ කියලා මල්ලිගේ බිරිඳ අදහස් කර ගත්තා. කරගෙන මල්ලිට හොරෙන් හොරු කණ්ඩායමක් ගෙනල්ලා හොරුන්ට විශාල අල්ලසක් දීලා කිව්වා, අසවල් කැලේ අසවල් ලෙනේ ඉන්නවා තිස්ස කියලා හාමුදුරුනමක් මෙන්න මේ හාමුදුරුවන්ව මරන්න  ඕනේ. මරලා ආවාම මම මීට වඩා තව වැඩිපුර මුදලක් දෙනවා කිව්වා.

ඉතින් මේ ලෝකයේ මුදල ලැබෙන කොට මුදල සදහා  ඕනෙම දෙයක් කරන්න සුදානම් පිරිසකුත් ඉන්නවා. මිත්‍යාදෘෂ්ටි මේ අය භාරගත්තා. භාරගෙන කැලේ ගල්ලෙනට ගියා තිස්ස හාමුදුරුවෝ මරන්න. තිස්ස හාමුදුරුවෝ යනකොටත් බොහොම විර්යයෙන් භාවනා කරනවා. මේ ඔක්කොමලා වට කරගත්තා තිස්ස හාමුදුරුවන්ව. තිස්ස හාමුදුරුවෝ අහනවා උපාසකවරුනි කුමක් නිසා මෙහාට ආවද? අපි ආවේ ඹබ වහන්සේව මරන්න කිව්වා. මාව මරන්නේ ඇයි? මාව මැරිමෙන් ඔබට එන ලාභය මොකක් ද? ඔබ වහන්සේ මැරුවාම අපට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා මරන්න ආවේ කිව්වා. මැරුවට කමක් නැහැ, එත් මට එක දවසක් දෙන්න. තව එක දවසකින් පස්සේ මාව මරන්න කිව්වා. ඊට පස්සේ මේ හොරු කියනවා නෑ නෑ ඔය එක දවසක් අපෙන් ඉල්ලන්නේ අපේ ඇස්වහලා පැනලා යන්න. කපටි කමට එක දවසක් වත් දෙන්න බැහැ. දැන් අපි ආපු කාරණය කරනවා කියලා කඩුව ඇදලා ගත්තා.

ඊට පස්සේ කියනවා තිස්ස හාමුදුරුවෝ ඇවැත්නි, උපාසකයිනි, එක දවසක් මට දෙන්න. ඒ වෙනුවට මං ඹබට ඇපයක් දෙන්නම් කියලා .මේ කැලේ කවුද ඹබ වහන්සේට ඇප වෙන්නේ කියලා ඇහුවා. ඉඳගෙන ඉන්න ආසනේට එහා පැත්තේ තිබුනා මහා විශාල කළු ගලක්. අපහසුවෙන් මේ කළු ගල ඹසවලා අරගෙන තමන්ගේ කකුලේ කලවා ඇට දෙකට වේගෙන් ගහලා ඇට දෙක බිඳ ගත්තා. ඇවැත්නි, මේ ඇපය ඇද්ද කියලා ඇහුවා. මේ හාමුදුරුවන්ගේ ක‍්‍රියාව ගැන හරිම සංවේගයක් ඇතිවෙච්ච හොරු හරිම සංවේගෙන් ඇති ස්වාමිනි කියලා යන්න ගියා.

දැන් ඉතින් සක්මන් කරන්නත් බැහැ. ආපහු කොහාටවත් යන්නත් බැහැ. මේ තිස්ස හාමුදුරුවෝ ඒ කකුලේ කකුල කැඩිම නිසා ඇති වෙච්ච වේදනාව අරමුණු කරලා සියලූ කෙලෙස් නසලා රහත් බවට පත්වුනා. ඒ කකුලේ කලවා ඇට බිඳගන්න ඉස්සර වෙලා එයා නුවණින් කල්පනා කරනවා, කෙලෙස් සහගතව ජීවත් වෙනවට වඩා දැහැමි මරණය වටිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කලා. ඒ නිසා කෙලෙස් සහගත ව කලූරිය කිරීමත් නින්දා සහගතයි. අනන්ත සසරේ ඉන්න කොට මෙහෙ ම එක සැරයක් නෙමෙයි කකුල් කැඩෙන්න ඇත්තේ.  ඕනේ තරම් මේ කකුල් දෙක කැඩෙන්න ඇති. ඒ ධර්මය වෙනුවෙන් මං මේ කකුල් දෙක කඩා ගත්තට කමක් නැ කියලා තිරණය කරලයි කකුල කඩා ගත්තේ.

 

පින්වතුනි, අපට තියෙනවා හිතන්න ජිවිතය ගැන ගොඩාක් දේ මේ තුලින්. ඒ හාමුදුරුවෝ සද්ධර්මයට ජිවිතේ පුජා කරලා ඒ වගේ ක‍්‍රියාවකට පැමිණුනේ පින්වතුනි මේ අනවරාග‍්‍ර වු සංසාරේ ගැන යම් පමණක හෝ දැනුමක් අවබෝධයක් තිබුනු නිසායි. ඒත් ඒ දැනුම අවබෝධය අපට නැති නිසයි, අපි බයක් සැකක් නැතිව මේ ජීවිතේ ජීවත් කරන්න ගෙවන්නේ.

ඉතින් මේ සද්ධර්මය අපිට හරියට තේරුණොත්, අපි වුනත් අපේ ජීවිතය සද්ධර්මයට පුජා කරන්න මැලිවෙන්නේ නැහැ.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

අනම තග්ගෝ යං භික්ක වේ සංසාරෝ පුබ්බා කෝටි න පඤඥායතේ අවිද්‍යා නිවරණානං තන් හා  සංයෝජනං සන්ධාවතං සංසරිතං මවන්චේ වත මහා කංච

මහණෙනි, මේ සසර අති දිර්ඝයි. මේ අති දිර්ඝ සංසාරේ පුර්ව කෙලවරක් හොයන්න බැහැ. ඒ දිර්ඝ සංසාරේ එන කොට, තමන්ට ඇග ලේ කිරි කරලා තමන්ගේ මව්වරුන්ගේ දුකට හඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම්, සතර මහා සාගර ජලයට වැඩි යි කියලා පෙන්නුවා. දහඩිය මහන්සියෙන් හම්බ කරලා තමන් ව පෝෂණය කල පියා ඒ වගේ ම තමන්ගේ තුරුලේ තියාගෙන බොහෝ ම සෙනෙහසින් හදපු දුව පුතා වැලි කෙලියේ පටන් තමන්ගේ ලගින් හිටපු සහෝදරයා සහෝදරී අනෙක් ඥාති හිතෛෂීන් මැරෙන කොට ඒ දුකට පපුවේ අත් ගසමින් අඬනකොට ඒ ගැලූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා.

ඒ විතරක් නෙමෙයි මේ දිර්ඝ සංසාරෙ අප හැම කෙනෙක් ම මනුෂ්‍ය ආත්ම වලට වඩා ලබලා තියෙන්නේ වැඩිපුර තිරිසන් ආත්ම. ඒ තිරිසන් ආත්ම ලබපු ආත්ම වලදී බෙල්ල කැපුම්, කනකොට බෙලි කැපුම්, කන කොට ගලා ගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන්නම් සතර මහා සාගර ජලයට වැඩි යි කියලා පෙන්නුවා. පෙන්නලා බුදුහාමුදුරුවෝ නැවතත් මෙහෙමත් දේශනා කලා.

මේ පටිච්ච සමුප්පාදය නැමති ධර්මතාවය දන්නා වු මේ සද්ධර්මය ඇසූපිරූ ඇති කෙනෙක් ඇරෙන්න මගේ මේ වචන විශ්වාස කරන්නේ නැහැ. අනෙක් අය කියලා ඒ අයට හිතෙන්නේ මේක අතිශෝක්තියක් මවා පෑමක්, මවා පෙන්වීමක් කියලා. ඇයි මහා සාගරයට වඩා වැඩියි අඩපු කඳුළු කියන කොට.

නමුත් පිනවතුනි, බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපිව යහපත් මාර්ගයට ගන්නවත්, බොරු කියන කෙනෙක් නෙමෙයි. බොරුවෙන් උපමා කරන කොනෙක් නෙමෙයි. ඒ තරම් සසර දුකක් අපි හැම කෙනෙක් ම විඳලා තියෙනවා. ඒත් භවයෙන් වැහිලා නිසා අපට පෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මේ සංසාරේ එනකොට, ඇස් දෙක අන්ධ වෙලා, ගල් මුල් වල පය හැපි හැපි ජිවිතේ අවසන් වුනු වාරත්  ඕනතරම් ඇති. අතපය හතර නැති වෙලා, කොටයක් වගේ වෙලා කිසි කෙනෙකුගේ හව් හරණක් නැතිව ජිවිතේ අවසන් වෙච්ච වාරත් අපේ  ඕනතරම් ඇති. ඒ වගේම ජීවත්ව ඉන්නකොට පණුවෝ ගහලා, හොරි කුෂ්ධ හැදිලා මැරුණු වාරවල්  ඕනතරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මැරුණු වාරවල්   ඕනතරම් ඇති.

අද සිහි කරලා බලන්න මේ ලෝකේ දිහා මොන තරම් අනතුරු තියෙනවද? මොන තරම් ලෙඩ රෝග වල ප‍්‍රභෙද තියෙනවද? ඒ ඔක්කෝම මේ සසරේ, අපි ඉන්නෙත් මේ සසරේ. ඒ හැම දේකටම නෑදැකම් කියන්න පුළුවන් බව අපේ නැති වෙලා නැහැ. ඒත් භවයෙන් වැහිලා නිසා, අවිද්‍යාවෙන් වැහිලා නිසා, අපට මේ සසරේ ඇති භයානක කම තේරෙන්නේ නැහැ.

පින්වතුනි අපේ ජිවිතය ගැන අපි මීට වඩානම් ටිකක් හිතන්න  ඕනේ. එකම එක දෙයක් හොඳට සිහිකරලා බලන්න. ඇයි අප ජිවත් වෙන්නේ කියලා. අපි ජිවත් වෙන්නේ මොකට ද කියලා.

අපි උදේ ම නැගිටලා ගෙවල් දොරවල් අස්පස් කරලා ආහාර පාන සකස් කරනවා. කෑම කනවා. මේ ටික ඇයි අපි කරන්නේ? මෙහෙම කර කර ඇයි අප ජිවත් වෙන්නේ? අපි මේ කරන ක‍්‍රියාවන් ඉතා සියුම් විදියට නිරික්ෂණය කරලා ගවේෂණය කරලා බැලූවොත්, අපිට තේරෙයි අපි හැම කෙනෙක් ම උත්සහවත් වෙන්නේ දුක නැති කරන්න, සැනසීම ලබා ගන්න. ඒත් අපි හැමෝටම ලැබෙන්නේ නැති කරුණත්, ලැබිලා නැති කරුණත්, දුක නැති කරගන්න එක. සැනසිල්ල ලබාගන්න එක. ඒ සඳහා මාවතක් ද අපි හොයන්නේ නැහැ. ඒකට හේතුව අපිට එහෙම අවශ්‍යතාවක් දැනිලා නැහැ. අපිට අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. අපේ වටපිටාවේ හිස් බවක් නොදැනෙන නිසා, අපිට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මුණුපුරෝ ඉන්නවා, ආහාර පාන තියෙනවා, ඉන්න හිටින්න වටපිටාව තියෙනවා. මේ ටික තියෙන නිසා අපට පේන්නේ නැහැග ඒක අපට සිහි කරගන්න නුවණ ශක්තිය මදිවෙලා. අපි වටා තියෙන්නේ මෙහි ධර්මයන්ගේ ආදිනව ටික.

 

එක්තරා දවසක් එක්තරා කාලෙක එක පවුලක් හිටියා. අම්මයි, තාත්තයි, දුවයි, පුතාලා දෙන්නයි. මේ අම්මයි, තාත්තයි හරි මිත්‍යාදෘෂ්ටිකයි. දහමක් නැහැ. දහමකට කැමති නැහැ. තාත්තා ඒ කුඹුරු වතුපිටි වලටමයි තන්හාව. ඇවිල්ලා උදේ ඉදන් ඒකමයි කරන්නේ. ඒකට පුදුම ආසාවක්. අම්මා ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරනවා. ගෙදරට පුදුම ආසාවක්. ඒ වත්තේ ලස්සන විලක් තියෙනවා නංගි මේ විලට බොහොම ආසයි. මල්ලිටත්  කිසි ම දහමක වුවමනාවක් නැහැ. නමුත් අයියා මේ අය ඔක්කෝටම වඩා වෙනස්. අයියා පන්සලට විහාරස්ථානයට ගිහිල්ලා බණ අහලා ජීවිතේ ගැන කලකිරිලා අයියා මහණ වුනා. මහන වෙලා ටික දවසක් අප‍්‍රමාදිව කටයුතු කරන කොට සියලූ ම කෙලෙස් නසලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුනා. පත් වුනා ට ගෙදර අය අයියා තමන්ගේ දරුවා වෙනුවෙන් කියලවත් දානයක් දෙන්නේ නැහැ. ශිලා දි ගුණ ධර්මයක් අහලවත් නැහැ.

මේ විදියට කටයුතු කරගෙන ඉන්නකොට කාලයක් යන කොට අම්මත් මැරුණා, තාත්තත් මැරුණා. හදිස්සියේ රෝගයක් හැදිලා නංගිත් මැරුණා. මල්ලි විතරයි ගෙදර දැන්. මල්ලි සියලූ ම ධනයට හිමිකරුවෙක් වෙලා. දවසක් මේ රහතන් වහන්සේ ගෙවල් තියෙන පාරේ පිඬුසිගා වඩිනවා. වඩින කොට මල්ලි තමන්ගේ කුඹුරට ආපු විශාල ඌරෙක් ව මරලා අරගෙන එනවා. හාමුදුරුවෝ එනවා දැකලා ස්වාමිනී අද දවසේ අපේ ගෙදරට දවල්ට දානෙට වඩින්න කියලා ආරාධනා කළා.

මොකක් ද හේතුව? මට විශෙෂ ආහාරයක් පුජා කරන්න තියෙනවා. මෙහෙම මස් වගයක් තියෙනවා කියලා. කොහෙන් ද කියලා අහනකොට මේ ඌරෙක් මරලා තියෙන්නේ. රහතන් වහන්සේ කිව්වා හොදයි ඔය ඌරා කපන්න එපා, මම එනකං තියා ගන්න කිව්වා. හමුදුරුවො ගෙදරට වැඩිනතුරු ඌර තිබ්බ.

හාමුදුරුවො ගෙදරට වැඩියට පස්සෙ ඌර කපන්න ඉස්සර කිව්ව ඔය ඌරගෙ බඩ පලල බලන්න ඌරගෙ බඩ ඇතුලෙ ඇති විශාල ගැරඬියක් කියල. ඊට පස්සෙ ඇත්තටම කියපු විදිහට බලනකොට ඌරගෙ බඩ ඇතුලෙ විශාල ගැරඬියෙක් ඉන්නව. ඔය ගැරඬියගෙ බඩ පලල බලන්න ඔය ගැරඬියගෙ බඩ ඇතුලෙ ඇති විශාල ගෙම්බෙක්. පලල බලනකොට විශාල ගෙම්බෙක් ඉන්නව. ඊට පස්සෙ කිව්ව දන්නවද ඔය ඌර කව්ද කියල? ඔය තමයි ඔයාගෙ තාත්තා. දන්නවද  ඔය ගැරඬිය කව්ද කියල? ඒ ඔයාගෙ අම්මා. දන්නවද ඔය ගෙම්බා කව්ද කියල? ඒ තමයි ඔයාගෙ නංගි.

පින්වතුනි සම්මතය කියන්නෙ මේක. අපි මගේ කියල, මම කියල නිෂ්ඵල දේ තුරුළු කරගෙන යම් අය නිසා ප‍්‍රමාද වෙනවනම්, එහා පැත්තට ගියහම අපේ ජීවිතේ පැහැරගන්න එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ හතුරෙක් බවට ම පත්වෙන්න පුළුවන් සසර කය අපෙන්. අම්මා, තාත්තා, දුව, පුතා කියල එකම පවුලෙ හිටපු කිහිපදෙනා ඊට එහා පැත්තට ගිහිල්ල තමන්ගෙ ජීවිතේම ආහාරයක් කරගන්න මට්ටමට පත්වුනා. මේකෙන් මේ කතාව අහල මල්ලි හරීම සංවේගයට පත්වුනා. ඉතින් මේ මහරහතන් වහන්සේ ඒකම උදව් කරගෙන සද්ධර්මය දේශනා කළා. සම්මතය කියන එක තේරුම් ගන්න  ඕනවට වඩා ඒ තුළ ගිලෙන්න එපා, ප‍්‍රමාදවෙන්න එපා.

 

මේකෙන් මේ පින්වතුන්ටත් මට මතක් කරන්න තියෙන්නෙ මේ පින්වතුන්ගෙ ජීවිතත් ගෙවෙන්නෙ මේ බුද්ධෝත්පාද කාලෙ මනුස්ස ජීවිතයක් ලැබිල සසර දුක නිමාකරන සද්ධර්මය තියෙද්දිත් තමන්ගෙ දරුවො, මුනුපුරෝ, ගෙවල් දොරවල් කියන මේව නිසානම් තේරුම්ගන්න හරිම අවාසනාවන්ත වටපිටාවක් අපිට තියෙන්නෙ කියල. ඒකාන්තයෙන්ම නොවුවමනා ලැබීමක් අපිට තියෙන්නෙ කියල.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ”වුත්තා මත්ති ධනං මත්තී ඉති බාලෝ උයංඤතී අත්තාහි අත්තනෝ නත්තී ඛුතෝ පුත්තෝ ඛුතෝ ධනං” මට පුත‍්‍රයන් ඉන්නවා, ධනය තියෙනව කියල නුවණ නැති කෙනා ලෝකෙ වෙහෙසෙනව කියල. ”අත්තාහි අත්තනෝ නත්තී ඛුතෝ පුත්තෝ ඛුතෝ දනං” තමාට තමාවත් නැති වෙනකොට අපි මම මම කියල, මගේ මගේ කියල ඇසුරු කරන මේ ශරීරයත් ඉදිමිලා, නිල්වෙලා, පුපුරල  ඕජස් ගලල පොලවට පස් වෙනවනම් යම් දවසක ”ඛුතෝ පුත්තෝ ඛුතෝ ධනං” දරුවො කොහින්ද, පුතෙක් කොහින්ද කියල අහනව. ඇයි පින්වතුන් මේ ගැන හිතන්නෙ නැත්තේ? ඇයි ගතානුගතිකව දුවන සමාජ රටාවට එකතුවෙලා ඔහේ දුවන්නෙ? ඉදිරියෙන් යන එක්කෙනා එක්කෙනා මැරි මැරී වැටෙනව අපිට පේනව. ඇයි අපිට ඒ ගැන හිතෙන්නෙ නැත්තෙ? ලෝවැඩ සගරාවෙ පෙන්නනව කවියක් වීදාගම හාමුදුරුවො,

”අසල් ගේක හොරකම් ගිය දවසක

කුහක සිතින් සිඳිනේ තම ගෙය රැක

සියල් සතුන් මරු ගෙනයනවා දැක

කුසල් නොකර ඉඳිනේ ඇයි නොවැසැක”

අපේ ගෙදරට අල්ලපු ගෙදරට හොරෙක් පැනල බඩු මුට්ටු පැහැරගෙන හොරකම් කරගෙන ගියොත්, හෙට දවසෙ අපේ ගෙදරට පනියි කියල සැක සහගත සිතින් නිදාගන්නෙත් නැතුව ඇහැරගෙන ඉන්නවලූ. ඒත් එක්කෙනා දෙන්න මැරි මැරී යනව කිසිම සැකක් නැතුව බයක් නැතුව ඉන්නවලූ. ඇයි ඒ? අපි ගාව තියෙන කෙලෙස්වල සොභාවය තමයි අනිත් අය මැරුනත් අපි මැරෙන්නෙ නෑ කියන හැගීමක් අපිට තියෙන්නෙ. ඒක ක්ලේෂයක සොභාවය. නුවණින් ජීවිතය දිනුව මිසක, කිසීම දවසක කිසිම කෙනෙක් මේ හිත කියන කියන දේ කරල දිනුවෙ නෑ මේ සසරෙ.

ඉතින් මම මෙතනදි මතක් කලේ මේ ටික බුද්ධෝත්පාද කාලයක් වුනාට සමහරවිටක අපේ ජීවිත ගෙවෙන්නෙ අබුද්ධෝත්පාද කාලෙක විදිහට.  ඕගොල්ලො විශ්වාසෙ තියාගෙන තියෙන්නෙ දරුමල්ලො මුනුපුරෝ ගැනනම්, දේපොල, වස්තුව, හරකබාන ගැනනම් මේ විශ්වාසය බොහොම පටු විශ්වාසයක්.

යමෙක් නිසා  ඕගොල්ලො ප‍්‍රමාද වෙනවනම්  ඕගොල්ලො තේරුම්ගන්න  ඕගොල්ලො දුකට වැටුනු දවසට කවුරුවත් බේරගන්න එන්නෙ නැහැ. මරණෙන් පස්සෙ පැත්තකින් තබන්න මේ ජීවිතේ මේ කය අබල දුබල වෙලා, වලංගු නැති වෙලා. ටික ටික ජරා ජීර්ණ තත්වෙට පත්වෙනකොට, තමන්ට ගොඩක් ආදරෙයි කියනවනම්, තමන් ගොඩක් ආදරෙයි කියනවනම් ඒ දරුවන්ට කියන්න, පුතේ උඹ මට ආදරෙයි නම් මගෙ මහලූ බවින් ටිකක් අරගෙන මාව නිදහස් කරන්න. පුළුවන්ද? බැහැ. මේ කයට හරි හිතට හරි අධිකව දුක් වේදනාවක් දැනුනොත් පුතේ උඹ මගෙ දරුවනම් මට ආදරේනම් මේකෙන් ටිකක් දෙන්න පුළුවන්ද? බැහැ. ඇයි ඒ?  ඕනවට වඩා අපි මෝඩවෙන්න, හොඳට තේරෙනව හොඳට පේනව අපේ ජීවිත අප සතුමයි කියල.

ඒ හින්ද මේ පින්වතුන් තමන් තමන්ට පිහිටක් කරගන්න. තමන් ලෝකෙට පිහිටක් කලා, උපකාරයක් කලා. දැන් හැම කෙනාම තමන්ටත් පිහිටක් කරගන්න. මේ මුළු ලෝකෙම දුක නැති කරන්න නොයෙක් ක‍්‍රම අනුගමනය කරනව. අපිත් ඒ ලෝකයා අතරෙ තවත් එක චරිතයක් වෙලා මිසක ඇත්තටම ජීවිතේ ගැන නුවණින් තේරුම්ගන්න ජීවිතයක් අපේ ගොනුවෙලා නෑ. මම මේ ටික මතක් කලේ අපිට සද්ධර්මයේ වටිනාකම තේරෙන්නෙ මේ ජීවිතේ යම් පමණක හෝ නිසරු බව දැක්ක කෙනෙකුටයි.

මේ බුදුහාමුදුරුවො දේශනා කළ නිසා හෝ මේ ස්වාමීන් වහන්සේල කියන හින්ද නෙමෙයි මේ පිංවතුන් මේ පිංවතුන්ගෙ ජීවිතෙන්ම ප‍්‍රශ්න කරල බලන්න, අහල බලන්න. අහල බලල ඇත්තටම මේව තමාට සදාතනිකව පරිහරණය කරන්න පුළුවන්නම් වෙනසක්  ඕන නෑ ඔහොම ඉන්න. නමුත් තමන්ට හොඳට තේරෙනව නුවණින් හිතුවොත් මේව ඔක්කොම නිශ්ඵලයි කියන එක. ඊලගට මෙතන තියෙන ප‍්‍රශ්නෙ සසරෙදි අපට කවදා හරි මේ මට්ටම ම ලැබෙනවනම් ඒත් කමක් නෑ ඒත් දුකයි නොකිය යුතුයි තව. එහෙම වෙන්නෙ නැහැ.

ඉතින් අද මේ දුක නැතිකරන සද්ධර්මය තියන මේ මොහොත අතහැරගන්න එපා. අතහැරගත්තොත් අපට අර කපුටට වෙච්ච දේ වෙයි.

මතකද කපුටගෙ කතාව? ආපහු මම කියන්නම්. ඔන්න ඉස්සර හිමාල කැලේ මහ විශාල සද්ධන්ත ඇතෙක් මැරිල හිටිය. ඒ කාලෙ දවස් ගානක් එකදිගට වහින මහ විශාල වැස්සක් වැහැල වැහැල මහ විශාල ජලකඳක් මතුවුනා. මතුවෙලා මේ ජලකඳ කොච්චරද කියනවනම් අර ඇත් කුණ පාවෙන්න ගත්ත. මේ ඇත් කුණ පාවෙලා පාවෙලා ඇවිල්ල වැටුන ගංගානම් ගඟට. ගංගානම් ගඟට වැටුනු මේ ඇත් කුණ ගඟේ පහතට ටික ටික ගලාගෙන එනව. ටිකෙන් ටික හිමින් හිමින් ඇත් කුණ ගහගෙන එනව. දැන් කපුටෙක් කෑමක් හොයාගෙන යනව. කපුටෙක් කියන්නෙ සොභාවයෙන්ම කෑදර සතෙක්නෙ. යනකොට ඇත් කුණ දැක්ක. දැකල ඇත් කුණේ වැහුව. වහල හොටින් හම ඉරල මස් ටිකක් කෑව. බොහොම රහයි. පිපාසය ඇතිවුනා ඒ ගමන්ම ගඟෙන් හොට දාල වතුර ටිකකුත් බිව්ව. දැන් කපුටට හිතෙනව කවර මෝඩයෙක් මේ තරම් කන්න බොන්න තැනක් තියෙද්දි දාල යයිද. දැන් මම නම් කොහෙවත් යන්නෙ නැහැ කියල වාසස්ථානය කරගත්ත අර ඇත් කුණ. දැන් කපුට කොහෙවත් යන්නෙ නැහැ යන අදහස අතහැරුන. දැන් කපුට ඇත් කුණේ වහල ඉන්නව, මස් කනව, වතුර බොනව. කපුට ඇත් කුණේ වහල හිටියට ඇත්  කුණ නතර වෙලා නැහැ. ඇත් කුණ ටිකින් ටික හිමින් හිමින් පහතට ගලාගෙන එනව. පහතට ගහගෙන එනකොට මේ ඇත් කුණ ඇවිල්ල වැටුන මුහුදට. මුහුදෙත් රැල්ලෙන් රැල්ලට හසුවෙලා කෙනෙක් ගියොත් ආපහු එන්න බැරිතරම් දුරට ගියා. දැන් මේ ඇත් කුණ හැමදාම තියෙන එකක් නෙමෙයි යටින් මාළු කාල ලූණු වතුරට දියවෙලා ඇත් කුණ ඉවරවෙන්න ගත්ත. දැන් පොඩි හම් කෑලි ටිකක් විතරයි තියෙන්නෙ. මේකෙ තමයි මේ එල්ලිලා ඉන්නෙ. දැන් කපුටට තේරුනා දැන්නම් හැමදාම ඉන්න පුළුවන්කමක් නැහැ. බේරිලා යන්න  ඕනෙ කියල හිතුන, හිතිල අර හම් කෑල්ල අතහැරලා අහසට නැග්ග. පියාඹල උතුරු පැත්තට, දකුණු පැත්තට, හතර දිශාවටම ගියා ගොඩබිමක් පේන මානයක් නැහැ. ආපහු හිටපු තැනට එන්න හදනකොට ඒ හම් කෑල්ලත් මාළු කාල. දැන් හිටපු තැනත් නැහැ, යන්න තැනත් නැහැ දෙපැත්තෙන්ම පිරිහිච්ච මේ කපුටට මොකද වුනේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුන. වැටෙනකොටම ඒ සාගරයේ ඉන්නව සැඩ මත්සයො. උන් කොටල මේ කපුටව කෑලි කෑලි වලට කඩල ගත්ත විනාශ කෙරුව.

ඉතින් හිමාලයේ හිත දියුණු කරපු සෘෂිවරයෙක් උඩින් යනව මනුස්ස පථයකට ලූණු ඇඹුල් හොයාගෙන. යනකොට දැක්ක මුහුද මැද්දෙ කපුටු තටු වගයක් තියෙනව. මෙයා කල්පනා කරනව සතෙකුට මෙච්චර දුර එන්න බැහැ. ගොඩබිමක තියෙන තටුවක් මේ තරම් දුරකට ගහගෙන එන්නෙත් නැහැ. කොහොමද මේක ආවෙ කියල දිවැසින් ආවර්ජනය කරල බලනකොට දැක්ක මේ සිද්ධිය. මේ මුළු ලෝකයාම කරන්නෙ මේ කපුට ඇත් කුණේ වහන එකම නේද කියල ඔය කතාව උපමා කරල බණ කියල එදා අබුද්ධෝත්පාද කාලෙක රාජ්‍යයන් හතක් අත්හැරල ගියා කියල මේ ධර්මයේ සඳහන් වෙනව.

ඒ තරම් සංවේගයක් ඇතිකරගෙන ජීවිතේ ගැන. ඒ හැමෝම බ‍්‍රහ්ම ලෝකෙ ගියා කියල පෙන්නනව එදා නිවන් මග තිබුනේ නැහැ කියල පෙන්නනව.

දැන් පින්වතුනේ අපිත් ඔය ටිකම කරනව. ඇත් කුණ වගේ මොකක්ද අපිට මේ ජීවිතේ ජීවත් කරන්න ලැබිච්ච වටපිටාව. ගෙවල් දොරවල්, ඉඩකඩම් තියෙනවනම්, තමන්ට තියෙන මේ ශරීරය තියෙනවනම් මේ සියල්ල අර ඇත් කුණ වගේ. දැන් කපුට ඇත් කුණේ වහල මස් කෑවට වරදක් නැහැ. මස් කාලම නිතරම මේකෙන් යන බලාපොරොත්තුවෙන්. මස් කාල මුහුදට වැටෙන්න කිට්ටු වෙනකනුත් මස් කාල වැටෙන්න කිට්ටුව හරි ඌ අතහැරල ගියානම් ප‍්‍රශ්නයක් නැහැ. නේද? නමුත් කපුට ඇත් කුණේ වහල මේ වගේ තැනක් කවර මෝඩයෙක්නම් දාල යයි කියල හිතුවනෙ. ඒ හිතීමත් එක්කම එයාට මිදීම අත්හැරුන. ඒවගේ කපුට ඇත් කුණේ වැහුව වගේ තමයි, ඇත් කුණ තමයි මේ දේපල වස්තුව මගේ කියල ජීවිතේ. කපුට ඇත් කුණේ වැහුව වගේ තමයි දැන් මගේ ගෙදර, මගේ දරුව, මගේ දුවා, මගේ පුතා මේ මම කියල බදාගෙනම ඉන්නෙ දැන්. දැන් මිදෙන අදහසක් නැහැ කාටවත්. දැන් කපුට ඇත් කුණේ වැහුවට ඇත් කුණ නතර වෙලාද? ඇත් කුණ නතර වෙලා නැහැ. දැන් මේව මගේ මගේ කියල තන්හාවෙන් අල්ලගෙන හිටියට ජීවිතේ නතරවෙලා නැහැ. ටිකින් ටික හිමින් හිමින් මේ ජීවිතයත් පහතට ගලාගෙන යනව. මේ කොච්චර දුර යනවද? ගිය කෙනෙක් ආපහු එන්න බැරිතරම් දුරට යනව. ගිහිල්ල ඔන්න කිසීම දෙයක් කරගන්න බැරි, ශරීරය අබල දුබල වෙලා සිහිය නැති වටපිටාව තැන දක්වා ගියහම බොහෝ දෙනෙකුට හිතෙනව ඇත්තටම මේ ජීවිතේ අනිත්‍යය යි නේද? මේක වැඩක් නැහැ නේද? නිසරුයි නේද? කියල හිතෙනව. එදාට යන්න එන්න තැනක් නැහැ. අර හතර දිශාවෙ ගොඩබිම පේන්නෙ නැහැ වගේ බණ අහන්න බැහැ කන් ඇහෙන්නෙ නැහැ, පන්සලකට යන්න බැහැ අතපය වලංගු නැහැ, දහමක් තේරුම් ගන්න බැහැ මතකය අඩුයි.

එතකොට මේ වගේ ඒ හැම පැත්තක්ම පිරිහිලා. විමුක්තිය පැත්ත සම්පූර්ණ ඇහිරිලා. ඊට පස්සෙ මම මම කියල මගේ මගේ කියල හිතාගෙන හිටපු භෞතික දේත් අතහැරෙනව අපිට. විමුක්තියත් අතහැරෙනව. දෙපැත්තෙන්ම අතහැරුනහම අපි සංසාර සාගරේට ඇදගෙන වැටෙනව. ඒ සංසාර සාගරේට ඇදගෙන වැටුනහම සංසාර සාගරේ ඉන්නව ජරා, මරණ කියල සැඩ මත්ස්‍යයො. ඒවට අහුවෙලා ජීවිතේ සුනුවිසුනු වෙලා යනව.

දරුවො මැරිල අඬනව පපුවෙ අත් ගගහ. ඒත් කිසිම ගානක් නැහැ. තේරුම් ගන්න මේ සසර  ඕගොල්ලො ඔක්කොම ඉන්නෙත් මේ සසරෙ. ඔහොම අඬපු වාරවල්  ඕනතරම් ඇති. ඒත් දැන් බය නැහැ. අපිට ඒ ගැන හිතෙන්නෙවත් නැහැ. එහෙම වෙන්නෙ නැහැ වගේ අපි ඉන්නෙ. බණ අහනකොට නම් ඇත්ත තමයි කියල හිතෙනව, බණ ඉවර වුනාට පස්සෙ ආයි කපුටම වෙනව.

 

ඔන්න මම දැන් මේ බාහිර කරුණු ටිකක් කිව්ව. දැන් මම දහමෙන් ටිකක් කියන්නම්. ඉතින් මම මේ ටික කිව්වෙ යථාර්තය මෙබඳු වුනාට අවිද්‍යාවෙන් වැහුණු මේ ලෝකෙට මේක තේරුම් ගන්න බැරිවෙලා. අපිත් දුවන්නන් වාලේ ඔහේ දුවනවනම් අපේ ජීවිතවල තේරුමක් නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හිතල බලල කටයුතු කරන්නෙ. බොහොම දෙනෙක් නිතරම ඉපදිලා සසරෙ නිතරම දුවන අය. එබඳු ලෝකය අතුරින් පරතෙරට යන්නෙ බොහෝම කලාතුරකින්. මේ පින්වතුන්ටත් පුළුවන්නම් මේ බුද්ධෝත්පාද කාලයේ සසර පරතෙරක් දකින මානසික මට්ටමක් ඇතිකරගන්න මේ ලබපු ජීවිතේ රිසි නැහැ. බුදුරජාණන් වහන්සේල පහල වෙන්නෙ ඒ වගේ අය හින්ද.

ඉතින් සසර මේ තරම් දුක් සහගතයි. මේ දුක් සහගත සසරෙන් මිදෙන්න අපි හැමෝම උත්සහවන්ත වෙමු.

නමුත් උත්සහවන්ත වුනාට දුකින් මිදෙන්න බැරිවුනා. අදත් මේ බඩගින්න, පිපාසය, කකුල් කැක්කුම්, ඔලූව කැක්කුම් මේ මේ වේදනා දුක් තියෙනව නේ? තියෙනව. හිත් අමනාපකම්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, මහළු බව, මරණ මේ දුක් තියෙනව නේ? ඉතින් මුළු ජීවිතේ පුරාවටම දුකින් මිදෙන්න උත්සහවත් වුනත් අපිට දුක නැතිකරගන්න බැරිවුනා. ඇයි ඒ බැරිවුනේ? මම කිව්ව දුක නැතිකරන්න අපි මොකක් හරි කළා මිසක මොකක්ද දුක නැතිකරන්න කළේ කියල හොයල නෙමෙයි කරන්නෙ.

වහින වෙලාවට මේ වහල හිල්වෙලා තෙමෙනව කියන්නකො. දැන් ප‍්‍රශ්නයක් තියෙනව තෙමෙනව. අවශ්‍යතාවයකුත් තියෙනව, නොතෙමෙන්න  ඕනෙ. දැන් අපි උත්තරේ දන්නව. මොකක්ද? වහලෙ හිල්වෙලා ඒක හදන්න  ඕනෙ. දැන් හිල්වෙලා තියෙන්නෙ කොහෙද කියල බලන්නෙ නැහැ වහල වහන්න  ඕනෙ කියලනෙ උත්තරේ ආවෙ. ඉතින් දැන් මේ හරියෙ තෙමෙන්නෙ කොහේ හරි වහනව වහලෙ. අර කාමරයෙ ළගින් තියනව ගිහිල්ල උළුකැටයක්. හරිද එතකොට නොතෙමි ඉන්න පුළුවන් ද? කවුරු හරි ඇහුවොත් අපි කියනව බලන්නකො මේ ගේ තෙමෙනව මෙච්චර වහලෙත් වැහුවනෙ කියලත් කියනව. නමුත් තෙමෙනව.  ඕකයි හැමදාම කරන්නෙ.

නමුත් නොතෙමි ඉන්නනම් වහලෙ හිල්වෙච්ච තැන වහන්න  ඕනෙ. හිල්වෙච්ච තැන හොයන්න  ඕනෙ. ඒක වහන්න ඉස්සෙල්ල කොතනද හිල්වෙලා තියෙන්නෙ කියල හොයන්න වෙනව. නේද? ඒවගේ දුක නැතිකරන්න ඉස්සෙල්ල දුක් ඇතිවෙලා තියෙන්නෙ කොහොමද කියල බලන්න. අපේ ජීවිතේට දුක එන්නෙ කොහොමද කියල බලන්න. ඒක මම බොහොම සරල උපමාවකින් කියන්නම්.

චතුරාර්ය සත්‍යය අපි අහල තියෙනව දුක, දුක ඇතිවීම, නැතිවීම, නැතිකරන මාර්ගය. වචන ටික ඔක්කොම දන්නවනෙ අපි. එත් අර්ථයයි නැත්තෙ අපේ ජීවිතේ. මම උපමාවකින් කියනව. මේ උපමාව කිව්වම ටිකක් තේරෙයි.

මේ පින්වතුන් ගාව තියෙනව කියල හිතන්න හම්බුනා කියල හිතන්න වටිනා මැණිකක්. කෝටි ගණනක් විතර වටිනව. ඔන්න මැණිකක් කියල දකිනකොට වටිනාකමක් එනව අපිට. දැන් වටිනාකම තියෙනව කෝටි ගණනක්. දැන් කෝටි ගණනක් වටිනා මැණිකක් හම්බවුනහම මේකට කැමැත්ත ඇතිකරගන්න  ඕන නැහැ. ඇති වෙනව. වටිනාකමක් ඇතිවුනහම ඒකට ඉබේම කැමතී. ඔන්න දැන් කැමති වුනහම ඒක අපි උරුම කරගන්නව. මගේ කරගන්නව. කාටවත් දෙන්න, තව කවුරුවත් ගන්නවට කැමති නැහැ. කැමැත්තට කියනව තණ්හාව. තණ්හා පච්චයා උපාදානං. දැඩිව ගන්නවා. ගත්තහම මගේ දේ වුනහම දැඩි මසුරුකම් ඇතිවෙනව. අනුන්ගෙ එකකට වඩා බලවත් කැමැත්තක්. මසුරුකම යෙදුනහම දැන් අපි මේක ආරක්‍ෂා කරනව. දැන් ගෙදර කබඞ් එකේ දානව, එතනින් කවුරුහරි ගනියි කියල මෙට්ටෙ යටත් දානව. ඉතින් ඔහොම දැන් ගේ ඉඩ මදි හංගන්න. දැන් මේක රකින්න හැකියාවක් ඇති මට්ටමට තුවක්කුවක් ගන්න පුළුවන් කෙනා තුවක්කුවක් ගන්නව, කඩුවක් ගන්න පුළුවන් කෙනා කඩුවක් ගන්නව. එහෙම නැති කෙනා දණ්ඩක් හරි ළග තියාගන්නව. දැන් මේ මැණික ගන්න කවුරුහරි ආවොත් තුවක්කුව තියෙන කෙනා වෙඩිතියන් නැද්ද? වෙඩිතියනව. කඩු කිනිසි තියෙන කෙනා කපන්නෙ කොටන්නෙ නැද්ද? කොටනව. ලීයක් පොල්ලක් තියෙන කෙනා ගහන් නැද්ද? ගහනව.

දැන් බලන්න පුද්ගලය රළු වෙලා තියෙන්නෙ, දැඩි වෙලා තියෙන්නෙ, පරුෂ වෙලා තියෙන්නෙ ඉබේම. නරක වචන, නපුරු වචන කියල මේක රකින්න පුළුවන්නම් බනින් නැද්ද? බැනල හරි බේරගන්නව. ඔන්න දැන් මේව ඉබේම වෙලා. දැක්කෙ මැණිකක් කියල විතරයි, වටිනාකම ආවෙ ඉබේමයි, වටිනව කියල කැමැත්ත ආවෙ ඉබේමයි, කැමති වුනහම ඒක මගේ වුනේ ඉබේමයි, මගේ වුනහම ඒක ආරක්‍ෂා කරන මට්ටමට ආවෙ ඉබේමයි, ආරක්‍ෂා කරන්න වුනහම දඬුමුගුරු ගන්න වුනේ ඉබේමයි, දඬුමුගුරු අරන් යමක් ආරක්‍ෂා කරන පුද්ගලය රළු වුනේ ඉබේමයි.

 

මේ ගැන බුදුහාමුදුරුවො දීඝ නිකායෙ මහනිධාන කියන සූත‍්‍රයෙන් පෙන්වනව. දැන් තා තෝ කියන වචන, නපුරු වචන, නරක වචන කියන තැනටම රළු වෙලා. දැන් මේ තරම් වටිනාකමින් රකින මේ මැණික නැති වුනොත් මක්වෙයිද? දුකක් එන්නැත්ද? එනව. පපුවෙ අත්ගසමින් අඬන මට්ටමේ දුකක් එන් නැතිවෙයිද? එයි. සිහිනැතිවෙන කලන්තෙ හැදෙන තැනට පත්වෙයිද? වෙයි. ඔන්න දැන් රකින දේ මෙලොවම නැති වුනොත් ඒකත් මහා දුකක්. මේක රකින්නත් වෙහෙසක් දරනව. නිදහසේ කෑම කන්න බැහැ, නිදහසේ ගමනක් යන්න බැහැ, නිදහසේ නිදාගන්න බැහැ, නිදහසේ කෙනෙක්ව ඇසුරු කරන්න බැහැ. අල්ලපු ගෙදර කෙනා ආවත් සැකයි. ඒයාට යන්න දෙන්නෙ නැහැ ඒ පැත්තටවත්.

ඒ දුකත් පැත්තකින් තබන්න. දැන් මේ ගොඩක් ආසාවෙන් රකින දේ නැතිවුනොත් මෙලෝම දුකයි. තිබුනොත් මේ දේ තියෙද්දි තමන්ට මැරෙන්න වෙනව. එතකොට මේ තරම් වටිනා දේකට ආශාවෙන් මැරුනහම ඊට පස්සෙ මොකද වෙන්නෙ? මහා පෙරේතයෙක් වෙලා උපදින්නෙ. ඊට පස්සෙ මේ ආරක්‍ෂා කරන දේ තිබුනොත් පරලොව දුක, නැතිවුනොත් මෙලොවම දුක. එහෙනම් දැන් දුකින් බේරෙන්න ක‍්‍රමයක් නැහැ. මේ දේ තිබීම නිසාත් දුකින් මිදෙන්න විදිහක් නැහැ, නැති බව නිසත් දුකින් මිදෙන්න විදිහක් නැහැ. ඇතිබව හා නැතිබව යන දෙකෙන්ම අපේ ජීවිතේට එනව දුක. සමස්ථයක් වශයෙන් අන්තිමට යථාර්තය මොකක්ද? මේ අපි නොදන්නව වුනාට දුක නෙමෙයිද රැකල තියෙන්නෙ?

පළගැටිය කැමති ආලෝකයට, පහන් දැල්ලට. පහන් දැල්ල කියන්නෙත් දුකක්. ඒත් ඒ සතා දන්නෙ නැහැ මම කැමති වෙලා තියෙන්නෙ දුකට නේද කියල. ඒ සතා පහන් දැල්ලට කැමතී. කැමති දේ ලබාගන්නව කියන්නෙ පහන් දැල්ලට පනිනව. පනිනකොට පිච්චෙනව. දුක එනව. නමුත් එයාගෙන් ඇහුවොත් එයාවත් කැමති නැහැ දුකට. එයා කැමති පහන් දැල්ලට නමුත් පහන් දැල්ල කියන්නෙ දුකක්. එහෙනම් මම කැමතිවෙලා තියෙන්නෙ දුකට නේද කියල දන්නැහැ. අපි කැමති නැහැ දුකට අපි කැමතී මැණිකට. නමුත් මැණික කියන එක ඇති බව නිසා හෝ නැති බව නිසා එන්නෙ දුක. එහෙනම් අපි කැමතිවෙලා තියෙන්නෙ දුකට නේද? මේ ටික ගලපගන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ පෙන්නුව දුක කියන එක ඇතිබව නිසත්, නැතිබව නිසත් දුක එනව. දුක කියන එක උපන්නට පස්සෙ දුකේ නැති බව අපට සැපක් වෙන්නෙ නැහැ. දුකේ නැති බවත් දුකක් එන්නෙ.

අපිට දරුවෙක් මුනුපුරෙක් හිටියොත් මේ අය ජීවත් කරවන්න උපන්න දවසෙ ඉඳල මහ විශාල දුකක් විඳියි අපි. ඒවගේ දුක් විඳිල අපි මේ දරුව ඇතිදැඩි කලොත් මේ දරුව නැතිවුනා කියල ඒ දුක අපිට නැතිවෙන්නෙ නැහැ. ඊට වඩා වැඩි දුකක් උපදිනව මිසක. ඒ වගේ දුක කියන එකේ නැති බවත් ඇති බවත් දෙකම දුක බුදුරජාණන් වහන්සේ පෙන්නුව.

දුක කියන දේ අපිට ඉබේම ගලා ආව නෙමෙයි දුක කියන තැන ධර්මතාවයක් තිබුන. පුද්ගලයෙක් කළා නෙමෙයි. අනාත්මයි කියන්නෙ ඒකයි. එකින් එක එකින් එක පිරෙන සිද්ධියක් තිබුන. මැණිකක් කියන එක විතරයි දැක්කෙ. වටිනාකම ආවෙ නිරායාසයෙන්. වටිනව කියනකොට වටිනාකමට කැමැත්ත ආවෙ නිරායාසයෙන්. කැමති දේ මගේ වුනේ ඉබේම. මගේ දේ ආරක්‍ෂා කරන්න වුනේ ඉබේම. ආරක්‍ෂා කරන්න දඬුමුගුරු ගන්නවයි කියන දේ වුනේ ඉබේම. එහෙම ආරක්‍ෂා කරන දේක ඇති බව හා නැති බව යන දෙකම දුක එන බව ආවෙ ඉබේම.

ඔන්න දැන් මේ මැණික ඇති බව හා නැති බව නිසා දුකක් එනවනම්, මේ දුකෙන්  ඕගොල්ලන්ට මිදෙන්න හොඳට කෑම කාල පුළුවන්ද? බැහැ. පි‍්‍රයමනාප චිත‍්‍රපටියක් බලල පුළුවන්ද? බැහැ. එහෙනම් බොහොම සුඛෝපභෝගී ගෙයක් දොරක් හදාගෙන මිදෙන්න පුළුවන්ද? මේ මැණික නිසා ඒ තුළ ගලාගෙන ආපු සිද්ධියක් තිබුන. මේ සිද්ධිය දුරු නොකොට මේ දුකෙන් මිදෙන්න වෙන දෙයක් කරල පුළුවන්ද? බැහැ.

දැන් මේ වගේ මැණික් සියදාහක් අපිට තිබ්බොත්, ආරක්‍ෂා කරන්න දේවල් බොහොමයක් අපිට තිබුනොත්. අපේ කෙලෙස් සහගත සිත නිසා අපිට පේන්නැහැ. හිතන්න ලෙහෙසි දුකක් නෙමෙයි අපි විඳිනව ඇත්තෙ කියල. එච්චරට ආයාසයක් ඇතිවෙනව.

ඔන්න දැන් දැක්ක මේ මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක ආපු හැටි. පහු කාලයකදි මේ මනුස්සය මේ මැණික විකුණන්න අරගෙන යනව. කඬේකට ගිහිල්ල දුන්නම මේ කඬේ මුදලාලි කියනව අයියෝ මේක මේ වීදුරු ගලක්නෙ කියල. එතකොට කඬේ මනුස්සයත් සැකයි. දැන් වීදුරු ගලක් කියල දකිනකොටම මොකද වුනේ වටිනාකම අඩුවුනා. අඩුකලාද? අඩුවුනාද? වටිනාකම අඩුවෙනකොට කැමැත්ත ඉබේමයි අඩුවුනේ. දැන් මගේ කියල උරුම කරගන්න බව ඉබේමයි අඩුවුනේ. දැන් වෙනද වගේ හංගනවද ගෙනල්ල? දැන් ආරක්‍ෂාව ඉබේමයි අඩුවුනේ. දැන් මේ වීදුරු ගල රකින්න කඩු කිනිසි ගන්නවද අපි? දැන් නොවටිනව වෙනකොට, ආරක්‍ෂාව නැතිවෙනකොට පුද්ගලයා නිවිච්ච කෙනෙක් වුනේ ඉබේමයි. දැන් මේ වීදුරු ගල නැතිවීමෙන් පපුවෙ අත්ගසමින් විලාප දෙන දුකක් එයිද අපිට? නැහැ. තිබීම නිසා පෙරේතයෙක් වෙයිද? නැහැ.

එහෙනම් බලන්න හොඳට එකම වස්තුව වීදුරු ගල, මැණිකක් කියල දැකපු නිසා දුක කියන තැනට ගලාගෙන ඇවිල්ල. වීදුරු ගල වීදුරු ගල විදිහට දැක්කහම ඇත්ත ඇතිහැටිය ඉබේම දුක කියන එකෙන් නිදහස් වෙලා අපි. දැන් අපි දැක්ක වරදවා දැක්කහම වෙච්ච දේ. නිවැරදි දේ නිවැරදි ලෙස දැක්කහම දුක නැතිවෙච්ච හැටි.

ඉතින් බුදුරජාණන් වහන්සෙ පෙන්නුවෙ මෙන්න මේ ටික. උන්වහන්සේ පෙන්නුව මේ ලෝකයාට මේ ලෝකෙ දැන් මැණික් වගේ වටිනාකමක් තියෙනව. මේ මම, මේ දුව, මේ පුතා, මේ දේපල වස්තුව, හරකබාන කියල බොහෝම වටිනාකමින් දකින්නෙ. දැන් වටිනාකම නිසා තණ්හාව ඇතිවෙලා තියෙන්නෙ ඉබේම. තණ්හාව නිසා මගේ වෙලා තියෙන්නෙ ඉබේම. මගේ කරගත්ත දේ ආරක්‍ෂා කරන්නෙ ඉබේම. දැන් අපි රළු වෙලා තියෙන්නෙ, පරුෂ වෙලා තියෙන්නෙ ඉබේම. දැන් ඔන්න ඔහොම යමක් අපේ ජීවිතේ රකිනවනම් දඬුමුගුරු අරගෙන, මේ දේ ඇති බව නිසා හෝ නැති බව නිසා දුක් විඳින්න වෙනව. ඒවගේ බොහොම ආශාවෙන් රකිනවනම් දකින්න මේක නැතිවුනොත් මෙලොවම දුක් විඳින්න වෙනව. මේක තිබුනොත් පරලොව දුක් විඳින්න වෙනව.

දැන් එහෙනම් අපි මේ දුකට නේද තණ්හා කරන්නෙ කියල අපි දන්නැහැ. අපි ආසයි සල්ලිවලට. සල්ලි කියන්නෙ දුකක් කියල අපි දන්නැහ. අපි ආසයි මේ ජීවිතේට හැබැයි ජීවිතේ කියන්නෙ දුකක් කියල දන්නැහ. අපි හැමදාම මැණිකක් කියල දකිද්දි අපේ දුක නැති කරන්න වෙන ක‍්‍රම නැහැ. අනිවාරයයෙන් මේ දුක විඳින්න වෙනවාමයි. තණ්හාව නිසා දුක එනව කියල බුදුහාමුදුරුවො පෙන්නුවෙ ඔන්න ඔය නිසයි. මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක එනවනම්, දුකට හේතුව මේ මැණික නේ? මේ තණ්හාව නැතිවුනොත් මේ දුක නැතිවෙනව. මැණික තිබුනත් නොතිබුනත් අපිට එන දුක නැතිවෙනව. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තණ්හාව නැතිකරන මග සම්මා දිට්ඨිය කියල පෙන්නුවෙ එහෙනම් මෙතන තණ්හාව ඇතිවුනේ මැණිකක් කියල දැකපු එකනෙ. එහෙනම් සම්මා දිට්ඨියෙන් වීදුරු ගල වීදුරු ගලක් කියල දකින්න. නිවැරදිව දකින්න. දකිනකොට තණ්හාව නැති වෙනව, දුක නැතිවෙනව කියල ඒකයි මාර්ගය එතනින් පැනෙව්වෙ.

බුදුහාමුදුරුවො දැක්ක මේ ලෝකයාට නිත්‍ය, සැප, ආත්ම කියලයි පේන්නෙ. පේන හින්දයි කැමැත්ත. ඒ හින්දයි මගේ කරගෙන තියෙන්නෙ. ඒ හින්දයි ආරක්‍ෂා කරන්නෙ. ඒ හින්දයි දඬුමුගුරු ගන්නෙ. ඒ නිසයි දුක ගලාගෙන එන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මැණික වීදුරු ගලක් බව පෙන්නපු වෙළඳ මහත්තයව බුදුරජාණන් වහන්සේ පෙන්නනව මේ ලෝකයේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් මේක දකින්න සම්මා දිට්ඨි. දුක් වූ දෙය දුක හැටියට. අනිත්‍ය වූ දෙය අනිත්‍ය හැටියට, අනාත්ම වූ දෙය අනාත්ම හැටියට දකින්න.

වැරදි දැකීම හා නිවැරදි දැකීම කියන්නෙ මොකක්ද? මහ කළු ගලක් අරගෙන අපි වතුරකට දානව. දැම්මහම මොකද වෙන්නෙ මේ ගලට? යටයනව. එක්කෙනෙක් මේ ගල යටයන්නෙ නැහැ උඩ පාවේවා කියල දැක්මකුත් තියෙනව, කෙනෙක් මේ ගල උඩ පාවෙන්නෙ නැහැ යටයනව උඩ පාවෙන්න එපා යටයන්න කියල හිතනව. දැන් එකම සිද්ධිය අරඹයා ප‍්‍රාර්ථනා දෙකක්. දැන් හොඳට බලන්න මේ ගල උඩ පාවේවා යට නොයේවා කියන මනුස්සය එක්ක තරහටද මේ ගල යට ගියේ? නැහැ. එහෙනම් මේ ගල යටයන්න උඩ පානොවේවා යන පුද්ගලයාට අනුග‍්‍රහ පිණිසද ගියේ? නැහැ. සිදුවෙන සිද්ධියක් තිබුන. ලෝකයේ ධර්මතාවයක් මේ බර සහගත ගල ජලයට දැම්මහම යටයනව කියන එක. යථාර්තයක් ඒ.

ඒ සිතුවිලි සිද්ධියට පටහැනිව කරපු ප‍්‍රාර්ථනාව, දැක්මට කියනව මිච්ජාව කියල, වැරදී කියල. ඒ සිදුවන සිද්ධියට අනුව සිතපු එකට කියනව සම්මා කියල, නිවැරදියි කියල. සම්මා දිට්ඨි, මිච්ජා දිට්ඨි කියල වුනේ එහෙමයි. දෙකම දිට්ඨියක්. මේ දෙකම සිදුවන සිද්ධිය නෙමෙයි. සම්මා දිට්ඨිය කියල පෙන්නපු සිද්ධිය අපිට උපයෝගී කරගෙන සිදුවන සිද්ධිය බවට පත්කරගන්න පුළුවන් අපේ ජීවිතේ.

මිච්ජා දිට්ඨිය කිව්වොත් අකුසල්, සම්මා දිට්ඨිය කිව්වොත් කුසල්. අපිට පුළුවන් කුසල් වන දේ වන හැටියට සිහිකරල යම් දවසක වෙන සිද්ධිය ජීවිතේ බවට පත්කළොත් ඒ සිද්ධියට කුසල අකුසල කතාවක් නැහැ. ඒක ධර්මතාවයක්. ලෝකයේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල පවතිනවනම් යම් ධර්මතාවයක් ඒ වූ ධර්මතාවය වූ විදිහට දැක්කොත් අපි මේකට කියනව දැකීම නිවැරදියි සම්මා දිට්ඨිය. එහෙම දැක්කහම තණ්හාව නැහැ. තණ්හාව නැතිවුනොත් දුක නැතිවන බව බුදුරජාණන් වහන්සේ පෙන්නුව.

එහෙනම් මේ පින්වතුන් මනුෂ්‍යයෙක් හැටියට, විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට මේ ටිකවත් තේරෙන්න  ඕනෙ අපිට. මුළු ලෝකයම දකින්නෙ දුකට හේතුව බාහිරින් භෞතික දෙයින්. දේපොල වස්තුව නැතිවුනොත්, ගෙවල් දොරවල් නැතිවුනොත්, හරකබාන නැතිවුනොත් තමයි දුක විඳින්න වෙන්නෙ, දුක එන්නෙ කියල දකින්නෙ. දුකේ නැතිවීම දකින්නෙ ගෙයක් දොරක් හදා ගත්තොත්, හරකබාන හිටයොත් දුක නැතිව ඉන්න පුළුවන් කියලයි අබෞද්ධ ලෝකයා දකින්නෙ. ඉතින් මුළු ලෝකමය දැන් දුක නැතිකරන ප‍්‍රතිපදාවක් එක්ක හැසිරෙනව. දුක නැතිවෙන්න ගෙවල් හදනව. දුක නැතිවෙන්න දරුවො හදනව. දුක නැතිවෙන්න මිල මුදල් එකතු කරනව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ  ඕකමයි දුක එන්න හේතුව. අනිත් පැත්ත.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෞද්ධයො හැටියට දුකට හේතුව තණ්හාව. ඔය මොන දේ එකතු කෙරුවත් වැඩක් නැහැ දුක ඇතිවෙන විදිහටනම් අපි ජීවත්වෙලා තියෙන්නෙ දුක ඇතිවනව. බෞද්ධ කිසිම කෙනෙක් දුක නැතිවෙන්න කියල ගෙවල් දොරවල් හැදුවෙ නැහැ, රස්සාවල් හෙව්වෙ නැහැ, මිල මුදල් එකතු කෙරුවෙ නැහැ. හැබැයි ඒ අය ජීවිතේ ජීවත් කරන්න, තමන්ගෙ යුතුකම් ටික කරන්න රස්සාවක් කළා, ගෙවල් දොරවල් හැදුව, මිල මුදල් එකතු කළා. ඒ ලබපු ජීවිතේ ජීවත් කරන්න. යුතුකම් ටික කරන්න මිසක දුක නැතුව ඉන්න නෙමෙයි. දර්ශනයක් තිබුන බෞද්ධයෙකුට. ඒ හින්ද එයා රස්සාව ජීවිතේ කරගත්තෙ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නෙ අර කාණු හෝදන මනුස්සයට වෙච්ච දේ.

එක්තරා මනුස්සයෙක් කාණු හෝදනව. ඇහුවලූ මොකක් නිසාද ඔයා  ඕක කරන්නෙ? ජීවත්වෙන්න මහත්තයෝ මේක කරන්නෙ කිව්වලූ. තව ටිකක් කතාකරන කොට මෙයා කිව්වලූ ඇයි කොහොමද ඔයාගෙ ජීවිතේ ගෙවෙන්නෙ? මහත්තයෝ මම උදේ පාන්දරම එනව මේ පැත්තෙ තියෙන කාණු ටික හෝදගෙන හෝදගෙන යනව අනිත් පැත්තෙන් කාණු ටික හෝදල ඔය ටිකට එනකොට හවස් වෙනව. හවස ගෙදර යනව. මම ඊට පස්සෙ ගෙදර ගිහිල්ල හෙට දවසෙදි කාණු හෝදන ක‍්‍රමය ගැන හිතනව. හිතල ආපහු පහුවදා උදේට එනව. එතකොට දැන් මේ මනුස්සයගේ ජීවිතය වෙලා තියෙන්නෙ මොකක්ද? දවල් කාලෙ කයින් කාණු හෝදල, රෑට හිතින් කාණු හෝදල අන්තිමට ජීවත් වෙන්න කාණු හෝදපු මනුස්සය කාණු හෝදන්න ජීවත්වෙනව. මේ ජීවිතේ මොනවද ඉතුරු? අන්තිමට වෙලා තියෙන්නෙ ඔච්චරයි.

ඇයි එහෙම වුනේ? ජීවිතේ ජීවත් කරවන්න කාණු හේදුවට කමක් නැහැ. ජීවත්වෙන්න  ඕනෙ දහමක් අවබෝධ කරගන්න, දුකෙන් මිදෙන්නනම්. එතකොට මෙයාට ඉඩක් තියෙනව, ඉඩක් ගන්නව, හදාගන්නව. ඇයි? කයින් කාණුව හෝදල නිදහස් වෙච්ච වෙලාවේ හෝ එයා ඊට පස්සෙ ජීවිතේ දුකින් මිදෙන පැත්තට හදාගන්නව. එයා ඒ ටිකේනුත් කාණු හෝදන්නෙ නැහැ. නමුත් අපිට වෙලා තියෙන දේ බලන්න. රස්සාවක් කරයි මේක කෙරුවෙ නැත්නම් ජීවත්වෙන්න විදිහක් නැහැ. ඊට පස්සෙ අපි දන්නෙම නැතුව ජීවිතේ තියෙයි රස්සාවක් කරල. උදේට වැඩට යනව හවස් වෙනකන් ඉන්නව ?ට නිදාගන්න ටිකෙත් ඒකනම් කරන්නෙ ජීවත්වෙනව රස්සාව කරන්න, රස්සාව කරන්නෙ ජීවත්වෙන්න. දෙකම වෙලානම් අපිට බෞද්ධ කියන්න බැහැ. කිව්ව හැකි ඒත් අපි අර්ථයට සුදුසු නැහැ. අපි අර්ථය තියෙන තැන නැහැ. වචන කිවහැකියි නමුත් ඒ දේ නැහැ අපි තුළ. ඉතින් මේ කාරණාව තේරුම්ගන්න මේ සද්ධර්මය දුක අපේ ජීවිතයට ඇතිවෙච්ච හැටි අවබෝධ කරගන්න බැරිවෙච්ච හින්දයි මේ තාක් අති දීර්ඝ සංසාර ගමනක ආවෙ.

ලෝකයේ අපි බණ අහල හින්ද මේ ටිකවත් දන්නෙ. ලෝකෙක එහෙම දෙයක් දන්නෙම නැහැ. එහෙම දෙයක් නැහැ ලෝකෙ. මේ ගෙවෙන රටාවක් මිසක තමන්ගෙ මේ ලබපු ජීවිතය තමන්ගේ විමුක්තිය පිණිස උදව් කරගන්න. මේ දුවන සමාජ රටාවට අනුව මොනව හරි දෙයක් කරන්න එපා. දුකට පත්වෙච්ච දවසට තමන්ව බේරගන්න කවුරුවත් නැති බව තමන් හොඳට මතක තබාගන්න. මතක තබාගෙන කොහොමහරි මේ දහම අවබෝධ කරගන්න වෙහෙසෙන්න.

එදා කුරු රට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාණය දේශනා කළා. ඒ සතිපට්ඨාණය දේශනා කරපු කුරු රට වාසී යටත් පිරිසෙන් ගෙවල් වල දැසිදස් කම්කරුවෙක්වත් භාවනා නොකර ඉන්නෙ නැහැ. වතුර ටිකක් ගේන්න කලෙත් අරන් ළිඳට යනකොටත් කමටහනක් මෙනෙහි කර කරලූ යන්නෙ. ළිඳ ගාවදි එකතු වෙනවලූ කිසිම මුකුත් කේලාම් නැහැ. මෑණියනී ඔබ කරන භාවනාව මොකක්ද කියල අහනවලූ. මම භාවනාවක් දන්නැහැ කරන්නැහැ කිව්වොත් තගේ ජීවිතේට නින්දා වෙයි. උඹල වගේ අය හින්ද නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නෙ කියල නින්දා කරනව. කරල ඉවරවෙලා මේක කරපන් කියල කියල දෙනවලූ. ඉතින් මෑණියනී මම අහවල් භාවනාව කරනුව අහවල් විදිහට මෙනෙහි කරනව කිව්වහම සාදු සාදු බොහොම හොඳයි.  ඕගොල්ලො වගේ අය වෙනුවෙනුයි ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුනේ.

ඉතින් අපිට මේක එපානම් අපි උත්සහවත් වෙන්නෙ නැත්නම් ඒ අපි වෙනුවෙන් නෙමෙයි බුදුරජණන් වහන්සේලා ලෝකෙ පහළ වුනේ. ඇත්තටම සසර පරතෙරක් සොයන, ජීවිතේ තේරුම්ගන්න උත්සහවත් වෙන, ලෝකයා හිතනද්ට වඩා වෙනස්ව හිතන වෙනස් චින්තනයක් තියෙනවනම් ඒ චින්තනය වෙනුවෙන් බුදුහාමුදුරුවො ලෝකෙ පහළ වුනේ. විමුක්තියක් ලබන්න අපේක්‍ෂාවක් කෙනෙක් ළඟ තියෙනවනම් එයා වෙනුවෙන් බුදුහාමුදුරුවො ලෝකෙ පහළ වුනේ.

ඒ හින්දා මේ පින්වතුන් මේ ජීවිතේ කොහොමහරි මේ දහම අවබෝධ කරගන්න උත්සහවත් වෙන්න  ඕනෙ. මෙතන එකම එක දෙයක් හොඳට මතක තබාගන්න, ගැඹුරු දෙයක් බැරිනම් මම කියපු උපමාව මතක තබාගන්න. විටින් විට සිහිකරල බලන්න මගේ ජීවිතේ මේ තැන මේ දැක්ම මෙහෙම වෙලානම් මේ දුක කියන තැනින් මිදෙන්න බෑ මට. පෙරලෙන දෙයක් ඇතුලෙ නොපෙරලී ඉන්න පුළුවන්ද අපිට? බැහැ. මහ විශාල කන්දක් උඩ ඉඳල බස් එකක් පෙරලීගෙන එනවනම් ඒක ඇතුලෙනම් අපි ඉන්නෙ, පෙරලෙනව. පෙරලෙන බෝලයක් ඇතුලෙ නොපෙරලී ඉන්න බැහැ. ඒ වගේ දුක කියන එක ජීවිතේ වෙලානම් දුක ඇතිවෙන විදිහෙ දර්ශනයක් නම් අපිට තියෙන්නෙ දැන් දුක අනුවම පෙරලෙන්න වෙලා මිසක, දුකට උරුමකාරයෙක් මිසක, ජීවිතේ අපේ දුකේ මිසක අපිට දුකින් මිදෙන්න බැහැ.

අපි පොළොවෙ හිටගත්තහම අපිට ඔක්කෝම පෙනෙයි. එත් හිටගෙන ඉන්න තැන පේන්නෙ නැහැ. ඇයි ඒ? කකුලට වැහිල. අද අපේ ජීවිතේ දුක වෙලා හින්ද අපිට දුක පේන්නෙ නැහැ. ඇයි? වැහිල. ඒ තුලනෙ හිටගෙන ඉන්නෙ අපි. ඔක්කෝම පේනව දුක අපිට පේන්නෙ නැත්තෙ ඇයි? අපේ ජීවිතේ දුක හින්ද. දුක කියන ධර්මතාවය ජීවිතේ හින්ද.

අපිට අපේ ඇහැ පේනවද? පේන්නෙ නැහැ. බලන්නෙ ඒ ඇහෙන් නිසා ඒ ඇහැ පේන්නෙ නැහැ. ඒ ඇහැට ප‍්‍රතිපක්‍ෂ දේ පෙනෙයි. නමුත් ඇහැ පෙන්නෙ නැහැ. ඒවගේ කෙනෙකුගෙ ජීවිතේ දුක නම් ඒයට දුක පේන්නෙ නැහැ.  ඕගොල්ලන්ට ටිකක් හරි දුක පේනවනම් තේරුම්ගන්න  ඕගොල්ලන් දුකෙන් ටිකක් හරි අයින් වෙලා. පේන්නෙ නැහැනෙ මේ දුක බව. තේරුම්ගන්න හොඳට පය ගහල ඉන්නෙ බව. මොකේද? දුකේ. පෙනුනොක් තේරුනොත් තමයි අපි අයින් වෙන්නෙ. එහෙම වෙන්නැත්තෙ මේ ලෝකෙට ඒකයි. එහෙම වෙලා තියෙන්නෙ මේ.

එහෙනම් එකම එක කරුණක් මතක තබාගන්න. ලෝකයේ වටිනාකමින් නම් පේන්නෙ ඒ වටිනාකම නැතිවීමෙන් ම, තණ්හාව නැතිවීමෙන් දුක නැතිවෙනවා මිසක වෙන නැතිවෙන්න ක‍්‍රමයක් නැහැ. දුක ඇතිවන ක‍්‍රමයට අපේ ජීවිතේ වෙනවානම් අපි කොච්චර බලාපොරොත්තු වුනත්, ප‍්‍රාර්ථනා කළත්, වෙන විදිහකට උත්සහ කළත් ඒක නැතිවෙන්නෙ නැහැ. මැණිකක් බව දැකල ඒක රකින බවට පත්වෙලානම් ඒකෙ ඇතිබවින් හා නැතිබවින් දුක එනවනම් අපිට ඒ දුකෙන් මිදෙන්න  ඕගොල්ලො රසට කෑම කාල, හොඳට ඇඳුම් ඇඳල මොනදේ කෙරුවත් හරියන්නෙ නැහැ. මේක වීදුරු ගලක් කියල දැකීමෙන් ම ඒ දුකින් මිදෙන්න වෙනව මිසක.

ඒ වගේ දරුවො, දේපල, වස්තුව මේව ඇතිබව හෝ නැතිබව කැඞීම, බිඳීම නිසා  ඕගොල්ලන්ගෙ දුකක් එනවනම්, මේ කය ජරා ජීර්ණ වීම නිසා දුකක් එනවනම් මේ දුක නැතිකරන්න කාල බීල, ඇඳල පැළඳල බෑ. මොකද එහෙම නොකිරීම නිසා නෙමෙයි මේ දුක ඇවිල්ල තියෙන්නෙ. මේ කයේ මහළුවීමෙන්, මැරීමෙන් එන දුක ඇතිවුනේ අපි හොඳට කෑවෙ බිව්වෙ නැතිකම හින්දනම්. ඒකනම් හේතුව හොඳට කෑව බිව්වහම මේ දුක නැතිවෙයි. නමුත් මේ දුක ඇතිවෙලා තියෙන්නෙ මේ රූපෙට ඇති තණ්හාව නිසයි.

රහතන් වහන්සේල කියන්නෙ මුළු ලෝකෙම වීදුරු ගලක් වගේ දකින අය. ඒ මනසට ඇලෙන්න ගැටෙන්න මුකුත් නැහැ. ඒ ලෝකෙ දෙයක් තිබීම නිසාවත් නොතිබීම නිසාවත් දුක එන්නෙ නැහැ ඒ තුල. අපිට මුළු ලෝකෙම මැණික් වෙලා. මේ බව තේරුම්ගන්න බෞද්ධයො හැටියට මේ ජීවිතේ ජීවත් කරවන්න රස්සාවක් කරන්න, ගෙයක් දොරක් හදාගන්න, මුදලූත් එකතු කරන්න. ඒක ජීවිතේ කරගන්න එපා. ඉඩ ලැබෙන හැම මොහොතකම මේ දුකට හේතුව අපි දැන් දැක්ක. අවිද්‍යා, තණ්හා කියන ධර්මතා දෙක. මේ ධර්මතා දෙක දුරුවෙන විදිහට දහමක් හොයන්න උත්සහවත් වෙන්න.

සාධු! සාධු!! සාධු!!!