සම්මාදිට්ඨි සූත්‍රය – තණ්හා වාරය

මෙය අපගේ අලුත්ම පොතේ පළවීමට නියමිත කොටසකි

නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස

෴ සම්මාදිට්ඨි සූත්‍රය – තණ්හා වාරය෴

යථො ඛො අවුසො අරියසාවකො තණ‍්හඤ‍්ච පජානාති. තණ‍්හසමුදයඤ‍්ච පජානාති. තණ‍්හනිරෝධඤ‍්ච පජානාති. තණ‍්හනිරෝධගාමිනී පටිපදඤ‍්ච පජානාති. එත‍්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම‍්මාදිට‍්ඨි හොති. උජුගතාස‍්ස දිට‍්ඨි ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො ආගතො ඉමං සද‍්ධම‍්මං’ති.

ධර්මශ්‍රවණාභිලාශී ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ සම්මා දිට්ඨි සූත්‍රය ආශ්‍රිතව කරන මේ සසර දුක් ගිනි නිවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා සියලු දෙනා ඔය කය නිසල ව තියනවා වගේ හිතත් නිසල කර ගෙන නොයෙක් අරමුණු වල හිත දුවන්නට නො දී බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න.

අද දවසෙ දී සම්මා දිට්ඨි සූත්‍රයේ, ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කල අටවැනි පරියාය නැත්නම් අට වෙනි ක්‍රමය වූ තණ්හා වාරය ගැනයි අපට අවබෝධ කර ගන්න තියෙන්නේ. එදා සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උපාදානය පිළිබඳ පවතින ධර්මය දේශනා කරලා, ඒ දේශනාව ශ්‍රවණය කල භික්ෂූන් වහන්සේලා එයින් බොහොම සතුටට පත් වෙලා, පැහැදීමට පත් වෙලා, නැවතත් ඒ ස්වාමීන් වහන්සේලා සැරියුත් මහ රහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. “ඇවැත්නි සාරිපුත්ත ස්ථවිරයන් වහන්ස, බොහොම හොඳයි ඔබ වහන්සේ දේශනා කල සම්මා දිට්ඨිය ඇති වීම පිණිස පවතින ක්‍රමය. ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති වීම පිණිස ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වුනා කියල කියන්න පුළුවන් තව ක්‍රමයක් එහෙම තියනව ද?” කියල.

ඒ වෙලාවෙ දී සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා, ඇවැත්නි, එහෙම ක්‍රමයක් තියනවා. “යථො ඛො අවුසො අරියසාවකො තණ‍්හඤ‍්ච පජානාති – ඇවැත්නි, යම් කලක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ තණ්හාව කුමක් ද කියල දන්නවා නම්, තණ‍්හසමුදයඤ‍්ච පජානාති, තණ්හාවේ ඇති වීම කුමක් ද කියල දන්නවා නම්, තණ‍්හනිරෝධඤ‍්ච පජානාති, තණ්හා නිරෝධය කුමක් ද කියලත් දන්නවා නම්, තණ‍්හනිරෝධගාමිනී පටිපදඤ‍්ච පජානාති, තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක් ද කියල දන්නවා නම් මෙන්න මෙපමණකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඇද නැති, පළුදු නැති, සෘජු බවට ගිය එකක් වෙනවා. මේ ධර්මයේ අර්ථය, ගුණය දැන ගෙන පැහැදුණ කෙනෙක් වෙනවා. ඒ වගේම මේ සද්ධර්මයට ආපු, ආර්‍ය්‍ය භූමියට ආපු කෙනෙක් කියලා කියන්නත් පුළුවන්” කියලා පෙන්නුවා. ඒ කියන්නේ දර්ශන සම්පන්න පුද්ගලයෙක්, දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා තණ්හාව කියලා කියන්නේ කුමක් ද කියලා දන්නවා නම්. එතකොට තණ්හාව කියලා කියන්නේ කුමක් ද කියන කාරණාව, තණ්හාව ඇතිවෙන්නේ කොහොමද කියන කාරණාව, තණ්හාව නැති වෙන්නේ කොහොමද කියන කාරණාව ගැනත් අපි පොඩ්ඩක් සම්මර්ශනය කරල බලමු.

එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියලා පෙන්නන කොට සැරියුත් මහ රහතන් වහන්සේ ම ආපහු ප්‍රශ්නයක් අහනවා මෙතන දී, “ඇවැත්නි තණ්හාව කියලා කියන්නේ කුමකට ද?, තණ්හාවට නිධානය වූ තණ්හාව ඇතිවුන හේතු කාරණාව කුමක් ද?, තණ්හාව නැති වෙන්නේ කුමන ධර්මයක් නැති වීමෙන් ද?, තණ්හාව නැති කරන්න‍ පුළුවන් මාර්ගය කුමක් ද?” කියල. සැරියුත් මහ රහතන් වහන්සේ ම ප්‍රශ්න කරල, සැරියුත් මහ රහතන් වහන්සේ ම ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, “ඡයිමෙ, ආවුසො, තණ්‌හාකායා” කියල. “මේ තණ්හාව කොටස් හයක් තියනවා. කුමක් ද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා. මෙන්න මේ හය ආකාර තණ්හාවට තමයි තණ්හාව කියලා කියන්නේ කියලා” පෙන්නුවා. ඊට පසුව, වෙදනාසමුදයා තණ්‌හාසමුදයො, එතකොට වේදනා හේතුවෙන් තණ්හාව ඇතිවෙනවා. වෙදනානිරොධා තණ්‌හානිරොධො, වේදනාවේ නැති වීමෙන් තණ්හාව නැති වෙනවා. අයමෙව අරියො අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො තණ්‌හානිරොධගාමිනී පටිපදා, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය තණ්හාව නැති කරන ප්‍රතිපදාවයි කියල සැරියුත් මහ රහතන් වහන්සේ එදා දේශනා කලා.

එතකොට පින්වතුනි, තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව දන්නවා නම් කොහොමද පින්වතුනි අපි තණ්හාව දැන ගන්නේ? එක මොනවාගේ එකක් ද?. පින්වතුනි අපට තණ්හාව කියන විට බොහෝ දුරට හිතෙන්නේ අපේ හිතේ යම් යම් දේවලට තියන කැමැත්ත කියලා. ඒ කැමැත්ත තමයි. නමුත් මෙතන දී අපි තණ්හාව කියන විට තණ්හාව දැන ගන්න‍ ඕන පළමු වෙන් ම ප්‍රභේද වශයෙන්. තණ්හාව කියන එක ඉස්සෙල්ලා ම දෙකට බෙදෙනවා පින්වතුනි, සමුදාචාර තණ්හාව සහ වට්ඨමූලික තණ්හාව කියල. සමුදාචාර තණ්හාව කියන්නේ, සමුදාචාර කියල කියන්නේ මේ ආයතන වල හැසිරීම් වශයෙන් පවතින තණ්හාවට. ඒ සමුදාචාර තණ්හාව තමයි පින්වතුනි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා නම් කලේ. මේ සමුදාචාර තණ්හාව පැවතුනාම, සමුදාචාර තණ්හාව නිසා පින්වතුනි වට්ඨමූලික තණ්හාව ඇතිවෙනවා. වට්ඨමූලික තණ්හාව කියලා කියන්නේ සංසාර වට්ඨය සඳහා, සසර ඉපදීම සඳහා මුල් වන තණ්හාවයි. ඒ තණ්හාවට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියල. එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට මුලින් ම මේ තණ්හාවේ ප්‍රභේද දෙක දකින්න ඕන. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන කාරණාව හා ඒ තණ්හාව අනුසාරයෙන් මේ සසර ප්‍රතිසන්‍ධි වශයෙන් පමුණු වන තණ්හාව හදනවා. ඒ තණ්හාව නිසායි පින්වතුනි උපාදානය කියන ධර්මතාව. උපාදානය නිසායි භවය, භවය නිසායි ජාතිය. එතකොට ජාතිය නිසා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ඇතිවෙනවා. තණ්හාව කියල කියන්නේ ජරා මරණ දුක ඇති කරවන ධර්මයක් කියල දන්නවා නම්, තණ්හාව ගැන ඔන්න ටිකක් දන්නවා. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියල කියන්නේ දුකට යන්න තියන ක්‍රමයයි, දුක ඇති කරවන හේතුවයි කියල දකින්න.

ඒ වගේම තණ්හාවේ ලක්ෂණ ටිකත් අපි දැන ගන්න ඕන. හොඳට දකින්න මේ කෙලෙස් කියන ධර්මතාවය – අවිද්‍යා, කර්මය, තණ්හාව, උපාදානය කියන මේ නොයෙක් කෙලෙස් – පින්වතුනි, මේ කෙලෙස් විතරක් අපේ ජීවිතයට හම්බ වෙන්නේ නෑ. ඒ කෙලෙස් යෙදිල කෙරෙන වැඩකු යි අපේ ජීවිතයට හම්බ වෙන්නේ. ඒ ක්ලේශය හඳුන ගන්න වෙන්නේ ක්ලේශය කරන වැඩෙන්. තණ්හාවත් එහෙමයි පින්වතුනි. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියන එක, අපි හිතන විදියේ යමකට කැමති වෙනවා කියන ගතියෙන් විතරක් දකින්න බැහැ. ඊටත් වඩා මුළු ජීවිතය පුරාවට ම හරියට අතරක් නැතිව පැතිර තියන වතුර වලක් වගේ, ජීවිතය පුරාවට ම අතරක් නැතිව හැම අරමුණක ම පැතිර තියන ධර්මතාවයක් පින්වතුනි මේ තණ්හාව. එතකොට ඒ තණ්හාවෙන් කෙරෙන වැඩේ දෙස බලල තමයි අපට තණ්හාව ගැන අනුමාන දැක්මක්, නුවණින් දැක්මක් ඇති කර ගන්න වෙන්නේ, අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. මොකද තණ්හාව කිසිම වෙලාවක තණ්හාවේ සාමාන්‍ය ස්වභාවයෙන් පවතින්නෙ නෑ. තණ්හාව හැම වෙලාවෙ ම යමක් අල්ලනවා කියන, උපාදාන කරවනවා කියන ගතියෙන් විද්‍යාමානයි. එතකොට ඒ අල්ලා ගන්නවා, උපාදාන කරනවා කියන ලක්ෂණයෙන් තමයි අපට තණ්හාව කියන කාරණාව දැන ගන්න වෙන්නේ. ඒ කියන්නේ තණ්හාව කියන විට, මෙයා (තණ්හාව) ඉන්න නිසා නේද මේ ධර්මය යෙදෙන්නේ කියල තේරුම් කර ගන්න ඕන.

තණ්හාවට පොඩි උපමාවක් බලමු. යම්කිසි යුධ කඳවුරක් තියනවා කියල හිතමු. මේ යුධ කඳවුරට නොයෙක් දිශා වලින්, නොයෙක් ආකාරයෙන් සතුරු ආක්‍රමණ එන්න පුළුවන්. එතකොට නොයෙක් සතුරන්ගෙන් බලපෑම් මේ කඳවුරට ඇතිවෙන නිසා මේ කඳවුර රැක ගන්න ඕන. මේ කඳවුර රැක ගැනීමේ උවමනාව යම්කිසි කෙනෙකුට තියනවා නම් එයා මොකද කරන්නේ? මේකට ආරක්ෂාවක් යොදනවා. හොඳට බලන්න, කඳවුර ඇතුළේ සිට කඳවුර ආරක්ෂා කරන්න බෑ. ඒකට කඳවුරෙන් පිටට ගිහින් ‘සිකියුරිටි’ ගෙවල් හදා ගෙන ඒ ගෙවල් ඇතුළේ ඉඳ ගෙන තමයි කඳවුර රකින්නේ. කඳවුර රකිනවා කියලා කරන්න තියෙන්නේ කඳවුරේ කටයුත්තක් නොවේ, පිටත කටයුත්තක්. ඒ කියන්නේ ඈත බලා ගෙන තමයි ඉන්න වෙන්නේ. ඈත ඉඳල යන එන අය දෙස බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. කවුද එන්නේ කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. වටපිටේ වෙන්නේ මොනවා ද කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. මේ කරන හැම එකකින් ම මේ කඳවුර ආරක්ෂා කිරීමට යෙදිල ඉන්න කෙනාට පිටත තමයි රකින්න වෙලා තියෙන්නේ. පිටත තමයි සෝදිසි කරන්නේ. පිටත සෝදිසි කරන එකෙන් කරලා තියෙන්නේ කඳවුර ආරක්ෂා කරන එක මිසක්, පිටතට ගිහින්, යන එන පුද්ගලයෝ ගැන පරීක්ෂාකාරී වෙන්නේ, බාහිර අවට භූමිය ගැන පරීක්ෂාකාරී වෙන්නේ, අවට භූමියේ තියන ගහ කොළ ගැන පරීක්ෂාකාරී වෙන්නේ ඒවායින් යමක් හදන්න එහෙම නොවේ. ඒවායේ හරි වැරැද්ද හොයන්න, වැඩි දියුණු කරන්න නොවේ. ඒ බාහිර දෙස පරීක්ෂාකාරී ව ඉන්නේ අභ්‍යන්තරය ආරක්ෂා කර ගන්න ඕන නිසා.

එතකොට ඇතුළත කඳවුර ආරක්ෂා කරන්න පිටතට යන්න වෙනවා වගේ පින්වතුනි, අපි මේ තණ්හාව තමයි හැම වෙලාවෙ ම තමන් කැමති විදියට තබා ගන්න – අපි කියමු තණ්හාවට නිධාන කාරණාව පෙන්වනවා වේදනා පච්චයා තණ්හා කියල. හැම වෙලාවෙ ම දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියන කැමැත්ත, සැප වේදනාව ලබාගන්න තියන කැමැත්තයි අපට දැන් තියෙන්නේ. මේ තමන් තුළ තියන කැමැත්තට ආහාර ලැබෙන්නේ නෑ තමන් තුළින්. එහෙනම් තමන් තුළ තියන තණ්හාවට තමන් කැමති විදියට පැවැත්ම ආරක්ෂා කර ගන්න නම්, අර කඳවුරෙන් එළියට ගිහින් කඳවුර රකින්න වෙනවා වගේ, බාහිර දේවල් ආරක්ෂා කරන්න වෙනවා. හොඳට බලන්න අපට ගෙවල් දොරවල් හදන්න වෙලා තියෙන්නේ, යාන වාහන, ඉඩකඩම් හදන්න වෙලා තියෙන්නේ, දූ දරුවෝ හදන්න වෙලා තියෙන්නේ කුමක් නිසා ද? දූ දරුවන්ට ආදරේකට කරනවා නොවේ, තව කෙනෙකුට යහපතට ගෙවල් දොරවල් හදනවා නොවේ. අපි හිතන්නේ තව කෙනෙකුට උපකාරය පිණිස ගෙවල් දොරවල් හදනවා, දූ දරුවන්ට උපකාරය පිණිස දූ දරුවන් හදනවා, මුනුබුරන්ට උපකාරය පිණිස මුනුබුරන් හදනවා, ලෝකයට උපකාරය පිණිස සේවයක් කරනවා කියල. නමුත් හොඳට දකින්න, තමන්ගේ ආධ්‍යාත්මයේ තියන කැමැත්ත ඉෂ්ට කර ගන්න යි අපි බාහිර දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කඳවුර රකින කෙනාට කඳවුරෙන් පිටත බලා ගෙන ඉන්න වෙනවා වගේ, අපි තුළ ඇති කැමැත්ත, ආශාව ඉෂ්ට කර ගන්න තමයි පින්වතුනි අපි බාහිරට ගිහිල්ලා තියෙන්නේ.

අපි උපමාවක් ගත්තොත්, අපට ප්‍රියමනාප රූපයක් බලන්න රූප තණ්හාව තියෙන්නේ. නමුත් මේ රූපය අපට ලැබෙන්නේ රූපවාහිනී නාලිකාවකින් නම් දැන් අපට මේ රූප පෙට්ටිය කැඩෙන්නේ නැතිව පරිස්සම් කර ගන්න වෙනවා. ඒක දුහුවිලි වැදෙන්නේ නැතිව පිහින වාරයක් පාසා, ආරක්ෂා කරල තියන වාරයක් පාසා, මේ බාහිර රූපවාහිනී යන්ත්‍රයක් වේවා, රේඩියෝ එකක් වේවා, ශීතකරණයක් වේවා ඇයි මේ කෑලි අපේ ගෙවල් වලට අවශ්‍ය? පින්වතුනි මේ තණ්හාව නිසායි. මේක තියනවා නම් මේ රූපය බලන්න පුළුවන්. රූප තණ්හාව ඉෂ්ට කර ගන්න පුළුවන් නිසා. ඇයි මේ ‘කැසෙට්’ එකකට, ගුවන් විදුලියකට වගේ දෙයකට කැමති? ඒ කෑලි ටික ඕන නෑ. නමුත් ඒ කෑලි ටික නිසා නම් අපට ශබ්දයක් අහල සැප විඳින්න පුළුවන් කම තියෙන්නේ, එහෙනම් ශබ්දය අහල සැප විඳින්න ඕන කමයි තියෙන්නේ. ඒ නිසා මේ ගුවන් විදුලි යන්ත්‍රය රකින්න ඕන. කයට මෘදු පහසක් ලබා දෙන්න නම්, සිසිල් යමක් ලබා දෙන්න නම්, ශීතකරණය තියෙන්නේ. ඒකට මේක රකින්න වෙලා. මේ වගේ අපට හිතට සතුටු වෙන යමක් ලැබෙන්න නම්, හිත සතුටු කරන්න නම් ඒ සඳහා තමයි මේ දරු මුනුබුරෝ, ගෙවල් දොරවල් තියෙන්නේ. එතකොට හොඳට බලන්න, තමන් තුළ තියන සැප වේදනාව බලා ගෙන, ඒ සැප වේදනාව ගන්න ඕන කමට කරන දේ දකින්න තණ්හාව කියල.

මේ මුළු ලෝකය ම තණ්හාවට දාසයෙක් කියලා පෙන්නනවා. මේ කාරණාව හොඳට සිහි කරන්න තණ්හාවට දාසයෙක් කියන්නේ ඇයි කියල. අපි අර උපමාව තව ටිකක් සම්මර්ෂණය කරල බලමු. මේ තණ්හාවට දාසයෙක් කියන කාරණාව තේරුම් ගත්තොත් තමයි පින්වතුනි අපේ චරිතය ගැන, අපේ ජීවිතය ගැන අපි හරියට කලකිරීමට පත් වෙන්නේ. අපි කියමු මෙහෙම කාරණාවක්. යම් කිසි ගෙදරක වැඩකාර කමට කෙනෙක් ගියා කියලා හිතමු. මෙයාට ගෙහිමි පුද්ගලයා කියනවා, ‘ළමයෝ, කඩේට ගිහින් එන්න’ කියල. කඩේට ගිහින් එනවා. ආපු ගමන් කියනවා, ‘මේ මිදුල අතුගාල දාන්න’ කියල. ඔන්න මිදුලත් අතුගානවා. ඒ ගමන් කියනවා, ‘ළමයෝ, මේ රෙදි ටික හෝදලා දාන්න’ කියල. ඒකත් කරනවා. ඒක ඉවර වෙනවාත් එක්ක කියනවා, ‘ළමයෝ මේ ටික උදලු ගාලා දාන්න’. ඒකත් කරන විට කිපෙන්නේ නැද්ද, තරහ එන්නේ නැද්ද? එතකොට සමහර විට ඒ වැඩ ගන්න ස්වාමියාට බණින්න පුළුවන්. එක්කෝ ගහන්න පුළුවන්. ‘මේ මනුස්සයා පමණ දන්නේ නෑ’ කියලා ඒ වැඩ ගන්න කෙනා ගැන කලකිරෙන්න පුළුවන්. සමහර විටක මට මේ වගේ රස්සාව ඕන නෑ කියල දමල ගහල යයි. සමහර විටක ඔය කියන කියන විදියට එක දවසක් කරයි. දවස් දෙකකුත් කරයි. තුනකුත් කරයි. හතරකුත් කරයි. ඊට පස්සෙ දී ඕක කරන්නෙ නෑ, ඇතිවෙනවා. මේ වැඩ ගන්න, මේ විදියට වැඩ කරන තැනක කිසිම කෙනෙක් ඉඳියි කියල හිතනවා ද? මේ පින්වතුන් බොහොම හොඳට කල්පනා කරල බලන්න, ‍එහෙම බාහිර ලෝකයේ වැඩකාරයෙක් ලවා වැඩ ගන්න හැදුවොත් එයා දවසක් දෙකක් මේ විදියට කියන කියන එක කරයි, ඊට එහා කරන්නේ නෑ. එයා ගැන අපැහැදීමට පත් වෙනවා, පිළිකුලට පත් වෙනවා, ප්‍රතික්ෂේප කරන තැනට පත් වෙනවා. ඒ රස්සාව එපා කියන තැනට පත්වෙනවා. කිසි විවේකයක් නෑ හරිම අපහසුයි කියල සමහර විට දොස් කියල, බැණල, සමහර විට පහර දීල එතැනින් පිට වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, මේ තණ්හාවට දාසයෙක් කියල කියන තැන මෙන්න‍ මේ අර්ථයෙන් දකින්න ඕන. බාහිර දාස කම් කරන කෙනා බාහිර දාස කම් නිසා කලකිරෙන්න වුනත් පුළුවන්. නමුත් පින්වතුනි, තණ්හාවත් ඔය වගේම යමක් කරනවා, ඒත් කිසි දිනක අපි කවුරුත් මෙයාගෙ දෝෂය දැකලා නෑ, මෙයාට කලකිරිල නෑ. මේ තණ්හාවෙ දෝෂය දැකල තණ්හාවට කලකිරුනොත් එදාට තමයි පින්වතුනි අපි දාස භාවයෙන් මිදෙන්නේ. එතෙක් මේ ස්වාමියාට අපි වැඳ‍ ගෙන ඉන්නවා. මේ ස්වාමියාට අපි හරි කීකරුයි. මෙයාගේ දෝෂයක් දකින්නේ නෑ.

අපි උදාහරණයක් ගත්තොත් පින්වතුනි ඔබේ ම සිත කියනවා ‘අනේ මෙතන ඉන්න බෑ, කම්මැළියි, යන්නට ඕන අහවල් නගරයට/රටට’ කියල, දැන් ඔබ යනවා. සමහර විට දින ගණනක් උත්සාහවත් වෙලා බොහොම වෙහෙස මහන්සියෙන් තමයි පින්වතුනි ඒ නගරයට යන්නේ. ගිහිල්ලා අනිත් අතට ම හිත කියනවා, ‘අයියෝ, මේකෙ නම් ඉන්න බැහැ, ආපසු යන්න ඕන’ කියලා. ඔන්න කියපු ගමන් ම ආපසු එනවා. ඒ ආපු ගමන් ම දැන් හිත කියනවා ‘අහවල් රූපය බැලුවොත් නම් හොඳයි’ කියලා. ඔන්න කියපු එක අරන් දෙනවා. ඊට පස්සෙ කියනවා සිංදුවක් ඇහුවොත් නම් හොඳයි. ඊට පස්සෙ ඒක කරන විටම හොඳ කෑමක් කෑවොත් හොඳයි. දැන් කෑම කනවා. ඊට පස්සෙ අහවල් ස්පර්ශය ලබන්න තිබුනොත් හොඳයි. ඔන්න ඒක ලබා දෙනවා. ඊට පස්සෙ අහවල් කෙනා එක්ක පොඩ්ඩක් කතා කරන්න ගියොත් හොඳයි. ඔන්න එතනට යනවා. මේ හිත කියන කියන එකට වැඳ ගෙන එහෙයි කියන මට්ටමේ අපි අහනවා, කරනවා මිසක් කිසිවෙක් මෙයා ගැන කලකිරෙන්නෙ නෑ. හොඳට බලන්න. මේ හිත ම විටක කියනවා අහවල් තැනට යන්න කියල, අහවල් දේ කරන්න කියල. එයා ම කියනවා දැන් ඔතන හිටිය ඇති, දැන් ඔය දේ කලා ඇති, ඕක නතර කරන්න අහවල් තැනට යන්න කියලා. ආපහු ඒ විදියට කරනවා. ආපහු කියනවා නෑ කමක් නෑ, ආපහු අතන ට යන්න කියලා. ආයෙත් එතන ට යනවා. අර බාහිර කෙනෙක් නම් එක වැඩක් ඉවර කරලා තව වැඩක් කරන විටම ඒ හේතුවෙන් ස්වාමියා ගැන කලකිරෙනවා. එයා ගැන බොහොම අප්‍රසාදයට පත් වෙනවා. නමුත් තමන් ගාව ඉන්න තණ්හා කියන ස්වාමියා ගැන කවුරුත් කලකිරෙන්නේ නෑ. තණ්හාව නමැති ස්වාමියා දවස තිස්සේ ම තමන්ගෙන් දාසයෙකුගෙන් වගේ වැඩ ගන්නවා. ඒත් කවුරුත් මේක දන්නේ නෑ. හොඳට බලන්න දරුවන්ට දැන් මෙහෙම කරන්න කී විට ඒ විදියට කරනවා. දරුවන්ගේ සුබ සිද්ධිය සඳහා මෙහෙම කරන්න කී විට එහෙම කරනවා. දැන් දරුවන් පාසලට රැගෙන යන්න කී විට එහෙම රැගෙන යනවා. දැන් ගෙදර මේ මේ ටික හදන්න කී විට ඒ ටික හදනවා. වත්ත මේ විදියට ලස්සනට මල් වැට කපලා හදන්න කී විට ඒ විදියට හදනවා. ඉස්සරහ ටික පිරිසිදු කරලා තීන්ත ටිකක් ගාන්න කී විට ඒ විදියට කරනවා. දැන් ගෙදරට වතුර අඩුපාඩුයි. වතුර හදන්න කී විට ඒ ටික කරනවා. කියන කියන එක ඔබලා කලා මිසක් කිසි දිනක ඔබලා මේ ස්වාමියා ගැන කලකිරිල තියනවා ද කියල බලන්න. මේ වැඩ ගන්න ස්වාමියා දැකලා තියනවා ද බලන්න. නෑ. මේ තණ්හාව නමැති ස්වාමියායි පින්වතුනි මෙතන ඉඳ ගෙන අපි ව මේ මේ දේවල් වලට යොමු කරන්නේ. වේදනාව උපදවා ගන්න පුළුවන් හැම ක්ෂේත්‍රයක ම මෙයා ඇවිදිනවා. වේදනාවට තියන තණ්හාවෙන් අපි ව මිරිකලා අර ගෙන හැම තැන ම ජීවිතයට යොදවනවා. ඒත් අපේ තියන අවාසනාව කියන්නේ පින්වතුනි අපි මෙහෙම ස්වාමියෙකුට යටත් ව කීකරු ව සිටින ගෝලයෝ කියලා අපි දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒ නිසායි දේශනා කලේ මුලු ලෝකය ම තණ්හාවට දාස යි කියලා.

තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට දකින්න, අද අපේ ස්වාමියා අපි නොවේ, තණ්හාවයි කියල. ඔබලාට ස්වාධීන පැවැත්මක් නෑ කියන එක ඔබලා දකින්න. ඔබලා ව මෙහෙයවන, ඔබලා ජීවත් කරවන, ඔබලා හැම දෙනාගේ ම ස්වාමියා තණ්හාවයි කියන තැනකින් දකින්න තරම් ඔබ දක්ෂ වෙන්න ඕන. මේ ගෙවල් දොරවල් හැදුව නම් හැදුවේ, දූ දරුවෝ හැදුව නම් හැදුවේ, යාන වාහන ගත්ත නම් ගත්තේ ඔබගේ උවමනාවට නොවේ, මේ ස්වාමියාගේ උවමනාවටයි කියන එකත් දකින්න. ඔබ ස්වාමියාට උපස්ථාන කර ගෙනයි ඉන්නේ කියන කාරණාවත් දකින්න ඕන. ස්වාමියාට උපස්ථාන කරමින් ඉන්නේ නිකං නම් නොවේ. වැඳ ගෙන ඉන්නේ. පොඩ්ඩක් වත් වෙනස් වෙන්න දෙන්නේ නෑ, එයාගෙ වචනය අකුරට ම ඉෂ්ට කරමින් සුවච කීකරු ගෝලයින් වෙලා හැම දෙනා ම ඉන්නවා කියන තැනින් දකින්න. “තණ‍්හඤ‍්ච පජානාති“ කියන විට මේ තණ්හාවේ ලක්ෂණය තමා අද අපි ව මේ විදියට හසුර වන එක කියලා දකින්න. එතකොට ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ‘තණ්හාවට දාස යි ලෝකය ම’. එතකොට දාසයෙක් වගේ මේ කටයුතු කරන්නේ ස්වාමියා කියන නිසායි කියල තේරුම් ගන්න ඕන. උදේ වැඩට යන්නේ, වැඩ ඇරිල ගෙදර එන්නේ එයා කියන විදියටයි. එයා කීවොත් වැඩිය වියදම් කරන්න බෑ, මෙහෙමයි වියදම් කරන්නෙ කියල, ඔබලා කරන්නේ එහෙමයි. එයා කීවොත් මේ ටික ඉතුරු කරන්න ඕන කියල, ඒ විදියට කරන්නේ. එයා කීවොත් මේ ටික වැය කරන්න කියලා ඒ විදියටයි කරන්නේ. ඒ නිසා තණ‍්හඤ‍්ච පජානාති කියන විට අන්න ඒ ටික දකින්න ඕන. ඒ ස්වාමියා කියන වැඩ ටික කරන අර්ථයකිනුත් මේ තණ්හාව දකින්න.

ඊළඟ කාරණාව තමයි මේ ස්වාමියා සෑම විටම අපි ව වැඩේ යොදවන්නෙ, අර කඳවුරෙන් පිටත වගේ, තමන්ගෙන් පිටත දූ දරුවෝ, ගෙවල්‍ දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්. දුක් ‍වේදනාව එන ඒව අයින් කරන්න, සැප වේදනාව එන ඒව ළං කරන්න තමයි ඔබලා ව යොදවලා තියෙන්නේ. එතකොට සෑම විටම මේ බාහිර ලෝකය රැස් කරන ගතියෙන් දුක්, අප්‍රිය, අමනාප දේවල් අයින් කරන ගතියෙන් දකින්න තණ්හාව. තණ්හාව ඇති තාක් පින්වතුනි තියන ලක්ෂණය තමයි මේ ලෝකෙ අනිත්‍ය වූ, දුක් වූ, විපරිණාම වූ, සංඛත වූ දේවල් රැස් කරන ගතිය නතර වෙන්නෙ නෑ. ඒවා එකතු කරන ක්‍රම නතර වෙන්නෙ නෑ. පින්වතුනි, එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට “දාසයා“ අර්ථයෙන් දකින්න. අපි මෙච්චර වැඩ කලත් මේ ස්වාමියාගේ ඇති වීමක් නෑ. එබඳු ස්වාමියා කෙරෙහි අපේ කලකිරීමකුත් නෑ. කලකිරීමක් නැති තමන් ගැනත්, ඇතිවීමක් නැති ස්වාමියා ගැනත් හොඳට ඔබලා තේරුම් ගන්න. එදාට කියනවා යම් මට්ටමකට තණ‍්හඤ‍්ච පජානාති කියලා.

ඊට පස්සෙ, මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන මේ තණ්හාවෙ කෘත්‍ය නිසා තමයි – මේ තණ්හාව නිසා තමයි, අපට ටීවී, කැසට්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් රැස් කරන්න වෙලා තියෙන්නේ කියල දකින්න. තණ්හාවේ චරිතය දකින්න. ගෙදර තියන බඩු මුට්ටු දෙස බලන විට ඔබගේ ජීවිතයේ තියන තණ්හාව දකින්න. මේ තණ්හාවට උපකාර ධර්මතා ටික. තණ්හාව පෙනෙන්නේ ඔය කාරණා ටිකෙන්. ඔබලා හිතනවා ද තණ්හාව නැති කරපු රහතන් වහන්සේ නමක් කැසට්, ඩෙක්, ටීවී, ශීතකරණ, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් රැස් කරගෙන ඉඳියි කියල, නෑ. මේ කාරණා රැස් කර ගෙන ඉන්නේ ඇයි? වේදනා පච්චයා තණ්හා – වේදනාවටයි තණ්හාව ඇති කරලා තියෙන්නේ. යම් යම් ආකාරයට සැප වේදනාව ලැබෙනවා නම් ඒ දේවල් වලට තණ්හායි. ඒ දේවල් රැක ගන්නවා. එතකොට ඔබලාට තණ්හාව කියන විට යම් දෙයකට හිතේ තියන කැමැත්ත කියන ගතියෙන් දකින්න එපා. ගෙදර බඩු මුට්ටු ටික ඔක්කොම දකින්න තමන්ගෙ තණ්හාව හැටියට. තමන්ගෙ තණ්හාවේ ප්‍රභේදය දකින්න, තණ්හාවේ වැට දකින්න, තමන් වටේ තියන ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් කියන මේ දේවල් දෙස බලල තමන්ට වටිනා වස්තු ටිකක් තියනවා, තමන්ට මෙච්චර වටිනා දරු මුනුබුරෝ ඉන්නවා නොවේ, තමන්ට මෙපමණ තණ්හාවේ ප්‍රභේද තියනවා කියලා දකින්න. තමන් වටා තණ්හාව මේ මේ ආකාරයෙන් රැස් වෙලා කියලා දකින්න. තමන්ගේ ස්වාමියා, තණ්හාව නමැති ස්වාමියා, මේ දේවල් එකතු කරන්න කියලා, ඒ නිසා තමන් ඒ දේවල් එකතු කරලා කියලා දකින්න. එතකොට ඔය අරමුණු පාසා තමන්ගේ චරිතය තමන්ට පෙනෙන්න ඕන. ඇයි තණ්හාවෙන් යුක්ත සසරෙ ඉන්න තමන්ගේ චරිතයයි හෙලි වෙන්නෙ මේ දේවල් රැස් කර ගෙන වට කර ගෙන ඉන්නවා කියන එකෙන්.

එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට, තණ්හාව දන්නවා කියනවා නම්, තණ්හාව නිසා එකතු කරපු හැම දෙයක් ම පෙනෙන්න ඕන තණ්හාවේ කෘත්‍යයක් නේද, තණ්හාව කියන ධර්මතාවය නිසා ගන්න දෙයක් නේද කියලා. රූපවාහිනියක් ගන්නෙ කුමකට ද ප්‍රියමනාප රූප බලන්න. රූප බලන්න ගත්තේ රූප තණ්හාව නිසා නොවේ ද? එහෙනම් රූප තණ්හාව නමැති ස්වාමියා කියපු නිසා නොවේ ද ඔබලා රූපවාහිනියක් ගෙනාවේ. එහෙනම් ගෙදර රූපවාහිනියක් තියනවා කියන්නේ මේ තණ්හාව නියෝජනය කරන්න තියන සංකේතයක් නොවේ ද? ඒ වගේම ශබ්දය, ගන්ධය, රසය. ඔන්න ඔය ටික ඔය විදියට ම දකින්න ඕන. එතකොට තණ්හාව හඳුන ගන්න පුළුවන් තමන් වටා තියන බඩු මුට්ටු වලින්. ඒ වගේම තමන් යමක් කරනවා, ආපහු බෑ කියල හිතෙනවා, ආපහු ඒක ම කරනවා. ආපහු බෑ කියල හිතෙනවා. අහවල් තැනට යන්න කියල තමන්ගේ හිත බල කරනවා. ගිහිල්ලා ක්ෂණයකින් ම අනේ දැන් මෙතන ඉන්න බෑ කියලා ආපහු එනවා. ආපහු එතන ඇවිල්ලා තව ටිකකින් ආපහු යන්න කියනවා. මේ වගේ අතරක් නැතිව නිරන්තරයෙන් ඇවිද වනවා. මේ වැඩ ගන්න ස්වභාවයෙනුත් තමන්ගේ ස්වාමියා තමන් හඳුන ගන්න. මේ ටික තේරුණා ම තණ‍්හඤ‍්ච පජානාති. ඒ විතරක් නොවේ, මේ ස්වාමියා අන්තිමට ඔබලා යොදවලා තියෙන්නේ කොතැනට ද? හොඳට බලන්න, මෙයා මෙහෙම කරවලා අන්තිමට උපාදානීය ධර්මයන් උපාදාන කරවල යි තියෙන්නේ. බලන්න, ඔබලා එකතු කරල තියෙන්නේ රූපයක් නොවේ ද, වේදනා, සංඥා, සංඛාර, විඥාන නොවේ ද? මේ පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම, උපාදානයි කියල දකින්න.

එක්තරා අවස්ථාවක මජ්ඣිම නිකායේ මහා පුණ්ණමා සූත්‍රයේ දී පුණ්ණමා කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස. මේ උපාදානස්කන්‍ධයත්, උපාදානයත් දෙකක් ද, එකක් ද?” කියල. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පුණ්ණමා, පංච උපාදානස්කන්‍ධයත් උපාදානයත් එකක් නොවේ දෙකක්. එතෙකුදු වුවත් පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම උපාදානය යි”. එතකොට හොඳට දකින්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියන තණ්හාව ම උපාදානය යි. එතකොට හොඳට දකින්න දුක එකතු කරන ගතියෙන්, දුක රැස් කරන ගතියෙන්. ඇයි, පංච උපාදානස්කන්‍ධය කියන්නේ සැප එහෙම නොවේ, දුක නේද?. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ධර්මයන්. මේවා එකතු කරවන රැස් කරවන තමන් වටා ජරා මරණ එකතු කරන ලක්ෂණයෙන් දකින්න තණ්හාව. තණ‍්හඤ‍්ච පජානාති කියන විට ඒ ටිකත් දකින්න. ඒ විතරක් නොවේ, මේ තණ්හාව කියන කාරණාව තිබුනොත් මේ තණ්හාව නිසා කාමාවචර වූ, රූපාවචර වූ, අරූපාවචර වූ යම් ධර්මතා ටිකක් තියනවා නම් ඒ කාමාවචර වූ, රූපාවචර වූ, අරූපාවචර වූ සියලු ධර්මතා තමන්ට හසු වෙන්නෙ, ඒවා අල්ලා ගෙන ඉන්නෙ තණ්හාව නිසායි. මේ තණ්හාවේ ලක්ෂණය තමයි ඇසට පෙනෙන රූප අල්ල ගන්න එක. කණට ඇහෙන ශබ්ද ඇසුරු කරන එක. නාසයට දැනෙන ගන්ධ ඇසුරු කරන එක. දිවට දැනෙන රස ඇසුරු කරන එක කියන එක ඒ තණ්හාවේ කෘත්‍ය හැටියට දකින්න. ඇසෙන් දැකපු රූපය සිහි කරල ආපහු රූපය සොයා ගෙන යන්නෙ, රූපය දකින විට සතුටු වන්නේ, දැකපු රූපය ආපහු ඇති බවට අපි මතක තබා ගන්නේ, තණ්හාවේ ඇති දාස බව නිසායි, තණ්හාව නමැති ස්වාමියාගේ හැකියාවක් බව දකින්න. එතකොට තණ්හාව තිබුනොත් ඇසෙන් දැකපු රූපය දැඩිව අල්ලා ගෙන ඉන්නවා, දැකපු රූපය තිබුණා කියන මානසික මට්ටම එළඹ සිටිනවා. යම් රූපයක් දැකලා දැකපු රූපය තියනවා කියන මට්ටමට එන විට එතන තියනවා පින්වතුනි, ‘රූප තණ්හාව නිසා රූපය උපාදාන වෙලා’ කියන එක. රූපය උපාදාන වූ නිසා භවය පිහිටලා තියනවා. ඒ කියන්නෙ දැකපු රූපය තියනවා කියන මානසික මට්ටම එළඹ සිටිනවා. භවය නිසා ජාතිය. දැකපු රූපය බලන්න යනවා. ඔය ‘යෑම’ මයි අද යන විදියට ප්‍රතිසන්‍ධි වශයෙනුත් යන්නේ. ඒ නිසා ජාතිය. ඉන්පසු ජරා මරණ.

මේ තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව දකින්න, කුමන අර්ථයකින් ද?, සසර ජරා මරණ දුක ඇති කරවන ධර්මයක් තණ්හාව කියන්නේ, පංච උපාදානස්කන්‍ධය හා ගෙතුණ ධර්මයක් තණ්හාව කියන්නේ, පංච උපාදානස්කන්‍ධය ඇති කරවන ධර්මයක් තණ්හාව කියන්නේ, දුකට පමුණු වන ධර්මයක් තණ්හාව කියන්නේ, දුක ඇති කරවන හේතුවක් තණ්හාව කියන්නේ, කියන කාරණාව දකින්න. තණ්හාව යම් තැනක තිබුනොත් – තණ්හාව කියන විට වචන නොවේ ඔබලා දකින්න ඕන මේ දාස බව කර කර ඉන්න එකයි – තණ්හාව කිව්වේ දාස බව කර කර හිටියොත් ජරා මරණ වලින් මිදෙන්නෙ නෑ කියන එකයි. දැන් හිත කියන කියන දේ කර ගෙන බණක්, භාවනාවක් ඔබලාට කරන්න යන්න පුළුවන් වෙයි ද? ආරණ්‍යයකට ගිහිල්ල සිල් ගන්න කියල හිතන්න, ‘අනේ මේ දරුවගෙ වැඩ ටික තියනවා නේද? මේ රස්සාව මේ ටික කරන්නේ කවුද, මේ ටික කරන්න ඕන නේද, ඕකට ගියා ම මේ ගේ හදන්නේ කවුද, මේ ඉඩම බලන්නේ කවුද?’ ඒ ස්වාමියාට විරුද්ධව ඔබලාට යන්න පුළුවන් වෙයි ද?. හොඳට දකින්න. ඔබලා ස්වාමියාට කීකරු ව ඉන්නවා කිව්වේ තණ්හාව. තණ්හාව කුමකට හේතුවක් කියලා ද අහලා තියෙන්නේ, දුකට හේතුවක්, දුක්ඛ සමුදය. එහෙනම් මේ පින්වතුන් ඔය ස්වාමියාට කීකරු ව ඉන්න එක, ඒ කිව්වේ මේ හිත කියන කියන විදියට ඔය වැඩ කර කර ඉන්න එක දුකට හේතුවක්. ඔය දුක ඇති වන විදියට ඉන්නවා කියන එක. දුක නැති කර ගන්න කියලා හිතා ගෙන ඔබලා කරලා තියෙන්නේ දුක ඇති වන විදියට ජීවත් වෙලා නොවේ ද කියල හොඳට හිතල බලන්න. දුක නැති කරන්න කියලා ගෙවල් හදන්න, යාන වාහන ගන්න, ඉඩකඩම් ගන්න, මිල මුදල් ගන්න, දූ දරුවෝ ඇති කරන්න කියල කියන්නේ කවුද? දුක නැති කර ගන්න කියලා තණ්හාව නමැති ස්වාමියායි කියන්නේ. ඒක කරන්න කරන්න බලවත් වුනේ, අනතුරක් නැතිව ඉන්නේ, මහා ඉහල තත්වයක වැජඹෙන්නේ කවුද කියලා බලන්න, ස්වාමියා නොවේ ද? කියලා. එතකොට මේ ස්වාමියා නිසාම නම් දුක එන්නේ, ඒ ස්වාමියා කියපු දේ කරලා දුක නැති කර ගන්න පුළුවන් කියලා හිතනවා ද. මේ පින්වතුන් හොඳට දකින්න මේ පුද්ගලභාවය ඉක්මවා පවතින ධර්මතාවය දෙස. තණ්හාව නමැති ස්වාමියා ඉන්නවා කියන්නේ දුකට හේතුව තියනවා. ඒ කියන්නේ ගෙවල් ටීවී කැසට් ශීතකරණ ගන්න කියලා කියනවා නම්, ඔය නොයෙක් බඩු එකතු කරන්න කියලා කියනවා නම්, ඒ එකතු කරන්න කියලා කියන්නේ ස්වාමියා කියලා දකින්න. එහෙනම් මේ එකතු කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නැති බවත් දකින්න. අහවල් දේ කරන්න, අහවල් දේ කරන්න, අහවල් වැඩේ කරන්න එපා, කියලා ස්වාමියා කියන කියන විදියට කරනවා නම් දකින්න, මේ තණ්හාව, මේ ස්වාමියා. එහෙම කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නෑ කියලා දකින්න. දුකට හේතුව තණ්හාවයි කියන විට අපි මේ විදියට කර කර හිටියොත් දුකෙන් මිදෙන්නෙ නෑ කියන තැන දකින්න තරම් ඔබලා පොහොසත් වෙන්න ඕන. එතකොට ඔන්න ඔය ටික දන්නවා නම් තණ‍්හඤ‍්ච පජානාති කියලා කියන මේ ස්වාමියා දැන ගන්න පුළුවන්. ස්වාමියා දැන ගන්නවා කියන විට ස්වාමියා කියන්නේ දුක්ඛාර්ථයෙන් දකින්න, මෙයා ඉන්න තාක් දුකෙන් හිස් නෑ, දුකෙන් මිදෙන්නෙ නෑ, පපුවෙ අත් ගසමින් විලාප දෙමින් අඬමින් මේ සසර යන්න පුළුවන්, එක්ක ගෙන යන කෙනෙකු යි කියල දකින්න. අද අපේ චරිතය මේ දුකට හිමිකාරයෙක් වූ චරිතයයි කියලා දකින්න තරම් ඔබලා දක්ෂ වෙන්න ඕන.

ඔන්න ඔය මට්ටම දැක්කොත් ඔබලාට තණ‍්හඤ‍්ච පජානාති කියන කාරණාව කියනවා. තව මේකෙ ගොඩක් විස්තර ලැබෙන්න ඕන. දැනට තණ්හාව දන්නවා කියන කාරණාව කියනවා නම්, ඔය මට්ටමට වත් දකින්න. තණ්හාව කියන විට හිතේ ඇති වන යම් යම් වස්තූන්ට ඇති වන කැමැත්ත කියන ගතියෙන් දකින්න එපා. අද ජීවිතයෙන් ම, එහාට දුවනවා මෙහාට දුවනවා, මේ එහෙ මෙහෙ දුවන මේ ජීවිතයෙන් ම දකින්න මේ තණ්හාව, මේ ස්වාමියා කියපු වැඩ කටයුතු කරන්න ගිහිල්ලා තියෙන්නේ. උදේ ඉඳන් රෑ වන තෙක් එහාට මෙහාට දුවන්නේ මේ ස්වාමියාට කීකරු වයි. මෙන්න මේ කටයුතු කරන පුද්ගලයෙක් නෑ, ස්වාමියායි ඉන්නේ. මෙතන අනාත්ම ධර්මතා ටිකක් තියෙන්නේ. යථාර්ථ වශයෙන් නම් ස්කන්‍ධ ටිකක් හා කෙලෙස් ටිකක් මේ තියෙන්නේ, මම, පුද්ගලයා, සත්වයා, කියලා අපි හිතා ගෙන ඉන්න තැන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ එකලාව (හුදකලාව) වාසය කරනවා කියන්නේ කුමක් ද? මේ තණ්හාව නැතිව ඉන්නවා නම්. තණ්හාව තමයි පුරුෂාර්ථ දෙවැන්නා. තමන්ගේ තනියට ඉන්න දෙවැන්නා තමයි කවුද? තණ්හාව. තණ්හාව තමයි පුරුෂයාගේ දෙවැන්නා. එතකොට තණ්හාව එක්ක ඉන්නවා නම් කිසිම වෙලාවක හුදකලා වෙන්නේ නෑ. තනිවම ඉන්නෙ නෑ. එකලාව වාසය කරන්නේ නෑ. එයා දෙන්නෙක් එක්කයි ඉන්නේ. ඒ කියන්නෙ තමන්ගෙ ස්වාමියා එක්කයි තමන් ඉන්නේ. තමන් කොතැනවත් තනිව එහෙ මෙහෙ යන්නේ නෑ. අන්න ඒ අර්ථයෙනුත් දකින්න ඕන තණ‍්හඤ‍්ච පජානාති කියන විට.

ඊට පසුව සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා, වේදනා පච්චයා තණ්හා. එතකොට මේ තණ්හාව කුමක් අරමුණු කර ගෙන ද පවතින්නේ? සෑම විටම වේදනාව අරමුණු කර ගෙනයි. තමන් ව ඒ ඒ තැන් වලට යොදවන්නේ, ඒ ඒ කාරණා බඩු මුට්ටු රැස් කරවලා තමන්ගෙන් වැඩ ගන්නේ මේ තණ්හාවෙන්. එයා එහෙම කරන්නේ ඇයි? ඒ ඒ වේදනාව බලාපොරොත්තුවෙන්. යම් සැප වේදනාවක් නම් එන්නේ, ඒ ඒ දේවල් එකතු කරවනවා. ඒ ඒ තැන්වලට ඔබව යවනවා. යම් තැනක දුක් වේදනාවක් එයි නම්, ඒ ඒ බඩු මුට්ටු අයින් කරවනවා. ඒ ඒ තැන්වලට යාම වළක්වනවා. එතකොට හොඳට දකින්න. සැප වේදනාවකට තණ්හාවෙන්, දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියන තණ්හාවෙන්. සැප වේදනාව ලබාගන්න තියන තණ්හාවෙන්, දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියන තණ්හාව නිසායි. ඒ නිසායි වේදනා පච්චයා තණ්හා. මෙන්න මේ තණ්හාව නිසායි ඔබලා වටා බඩු මුට්ටු ගොඩ ගසලා තියෙන්නේ, ගෙවල් දොරවල් තට්ටු ගණන් වලට සාදවා ගෙන තියෙන්නේ. ඒ ඒ බඩු මුට්ටු පුරවලා එකතු කරවලා ඔබලාගෙන් වැඩ අර ගෙන. ඔබලා සමහර විට ටිකක් හරි ආඩම්බරෙන් ඉන්නේ අපට මෙච්චර දේවල් තියනවා කියලා. නමුත් යථාර්ථය අනුව සලකන විට හරි ලැජ්ජා හිතෙන වැඩක්, ‘මෙයාගෙන් මෙච්චර වැඩ අර ගෙනයි’ කියලා. වැඩිපුර වැඩ ගන්න තරමට, වැඩ කරපු තරමට, තේරෙනවා මෙයා දාස භාවය, වහල් බව වැඩි කෙනෙක් කියන එක. මේ පුද්ගලයෙක් ගැන නොවේ තමන් ගැන දකින්න අදහසක් මේ කියන්නෙ. හොඳට දැකලා තමන් ගැන කලකිරෙන්න මිසක් ආපහු ලෝකෙ අනුන්ගේ ඇදක් එහෙම බලනවා, අල්ලපු ගෙදර කෙනා බඩු මුට්ටු දාල ද තියෙන්නේ, එයාගෙ ගොඩක් තණ්හාව ද කියලා පුද්ගලභාවයෙන් බලන එකක් නොවේ මේ කියන්නේ. එහෙම එකක් නෑ. එතනත් තමන්. මෙතනත් තමන් තමයි. අනික් කෙනා ගැන බලනවා කීවත් ඒ තමන්ගෙ ස්වාමියා කරන තව වැඩක් කියලා දකින්න. අනික් කෙනාත් බඩු මුට්ටු රැස් කර ගෙන ඉන්නේ, එහෙනම් ඒ කෙනාගෙත් හොඳට තණ්හාව කියලා කීවොත්, ඔය දැන් තමන්ගේ ස්වාමියා විඳින්න ගත්ත තව ක්‍රමයක්. තමන් තුල බවත් දකින්න. එපමණකින් තමන්ගේ ස්වාමියාට තමන් කීකරු වැඩියි කියල දකින්න. එතකොට හොඳට දකින්න ඕන වේදනා පච්චයා තණ්හා කියන විට මේ වේදනාවෙ තියන ප්‍රභේද මතයි මේ බඩු මුට්ටු එකතු කරලා තියෙන්නේ. එහාට මෙහාට තමන් ව අර ගෙන ගිහිල්ලා තියෙන්නේ.

වේදනා නිරෝධෝ තණ්හා නිරොධා – යම් වෙලාවක ඔබලාට ප්‍රියමනාප වේදනාව නැති වෙනවා කියල දැනුනොත්, ඒක ආපහු හොයා ගෙන යන්න බැහැ, පෙර නො තිබීම හට ගෙන මේ වේදනාව නැති වෙනවා කියල පෙනුනොත් එවිට පින්වතුනි, ඔබලාට වේදනාව පිළිබඳ තණ්හාවක් නෑ. එහෙම වුනොත් අර වේදනාව ගන්න, අහවල් දේ ගන්න, එහාට මෙහාට යන්න කියල තණ්හාවට අණ කරන්න විදියක් නෑ. එතකොට දුක් වේදනාවට හේතු වූ ස්පර්ශය නිසා දුක් වේදනාව හට ගන්නවා, ස්පර්ශය නැති වන විට නැති වෙනවා කියල පෙනුනොත්, එතකොට උපේක්ෂා වේදනාවට හේතු වෙන ස්පර්ශය හට ගෙන ඒ නැති වෙනවා කියලා පෙනුනොත්, ඔබලාට මේ වේදනාව නැති වුනොත්, යම් වෙලාවක පින්වතුනි වේදනාවේ නිරෝධය එළඹ සිටියොත්, සැප වේදනාවක් හට ගත්තත් ඒක රැස් වෙන්නේ නෑ, උපචයට යන්නෙ නෑ, තියනවා නොවේ අනිත්‍යයි. දුක් වේදනාවක් හට ගත්තත් ඒකෙ ගැටෙන්න බෑ, ද්වේශ කරන්න බෑ, තරහ ගන්න බෑ. ගැටෙන්න බෑ, ඇයි ඒක අනිත්‍යයි කියල දකිනවා. එවිට නරක දේ අයින් කරන්නත්, හොඳ දේ ගන්නත් කියලා ජීවිතයෙන් ආපහු ක්‍රියාත්මක වෙන්න පැත්තක් නෑ. මොකද සැපය කියන එක කොච්චර අනිත්‍ය ද කියනවා නම් ඒක ගන්න අත දාන්න බැරි මට්ටමට දකිනවා. දුක් වේදනාව කොච්චර අනිත්‍ය ද කියන එක දැක්කොත් ඒකෙන් ඉවත් වෙන්න අත දාන්න බෑ, ඉවත් වෙන්න හැරෙන්න බෑ. ඒක අනිත්‍යයි කියලා මට්ටමට ආවොත් ඒ සිද්ධියට ප්‍රතිචාරයක් නැති වෙනවා. එහෙම වුනොත් තමයි මේ ස්වාමියාගේ ඒ චරිතය කියන එක නැති වෙන්නෙ. ස්වාමියාගේ රඟපෑම නැති වෙන්නේ. අන්න ඒ මට්ටමට යම් කිසි කෙනෙකුට වේදනාව නිරුද්ධ වුනොත් තණ්හාව නැති වෙනවා.

මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම තණ්හා නිරෝධ ගාමිණී පටිපදාව යි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා. එතකොට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය කියන විට සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියට මේ පරියායේ දී දකින්න ඕන තණ්හාව නැති කරන ක්‍රමය. තණ්හාව නැති වෙන්නේ වේදනාව නැති වූ විට නම් වේදනාව නැති කරන පරියාය යි දැන් ඔබලාට තණ්හාව නැති කරන්න හම්බ වෙන්න ඕන. චක්ඛු සම්පස්සය නිසා ඒ කියන්නේ ඇසට ප්‍රියමනාප රූපයක් ගැටුණා ම සැප වේදනාව උපදිනවා. අප්‍රිය අමනාප රූපයක් ගැටුණා ම දුක් වේදනාව උපදිනවා. උපේක්ෂා රූපයක් ගැටුණා ම උපේක්ෂා වේදනාව උපදිනවා. ඔබලාට පුළුවන් වුනොත් මේ තුන් වේදනාවේ ම අනිත්‍යය දකින්න, මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය. ඒ වගේම කණ හරහාත් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා තුන් වේදනාවක් ඇති වෙනවා. නාසය අරබයාත් සැප, දුක්, උපේක්ෂා ආකාරයෙන් තුන් ආකාරයි වේදනාව. ඒ වගේම දිව හරහා, කය හරහා, මනස හරහා. එතකොට මේ තුන් ආකාරයෙන් ම ඇති වන වේදනාව මුල් කාරණාව කර ගෙනයි තණ්හාව පැවතුණේ. යම්කිසි කෙනෙකුට ඒ ඒ වේදනාවේ අනිත්‍ය දකින්න පුළුවන් නම්, ඒ ඒ වේදනාවේ පටිච්ච සමුප්පන්න බව දකින්න පුළුවන් නම්, ඒ ඒ ස්පර්ශය නමැති ප්‍රත්‍ය නිසායි වේදනාව හටගන්නේ, ඒ ඒ ප්‍රත්‍ය නැති වන විට නැති වෙනවා කියල දකින්න පුළුවන් වුනොත්, මෙන්න මේ දැක්මට කියනවා සම්මා දිට්ඨි කියලා – මෙන්න මේ දැක්ම (සම්මා දිට්ඨිය) ජීවිතය වූ දවසට, එළඹ සිටපු දවසට. ප්‍රියමනාප වූ වේදනාව අනිත්‍යයි, අප්‍රිය අමනාප වේදනාව අනිත්‍යයි කියල ‘දන්න මට්ටම’ නොවේ පින්වතුනි මේ කියන්නේ, ‘දකින මට්ටම’ – දන්නවා සහ දකිනවා කියන විට ලොකු අර්ථ 2ක් තියනවා. දන්නවා කියන මට්ටමේ දී අසිහියයි වෙන්න පුළුවන්. කලකිරෙන්නෙ නෑ. දකිනවා කියන මට්ටමේ දී අසිහිය කියලා යෙදෙන්නෙ නෑ, කලකිරෙනවා.

මම ‘දකිනවා’ කියන එක උපමාවකින් පැහැදිලි කරනවා. මේ උපමාව මතක තියා ගන්න ‘දකිනවා’ කියන කාරණාව තේරුම් ගන්න. පාරේ මේ පින්වතුන් යන විට සතෙක් ජරා කරල අසූචි ටිකක් තිබුනොත්, දැන් බැලූ බැල්මට ඇසෙන් දකින විටම මෙතන තියෙන්නෙ අසූචි කියල පෙනෙනවා. පෙනෙන හින්දා බැරි වෙලාවත් අසිහියකින් වත් ඔය ටික අර ගෙන සාක්කුවේ දා ගන්නවා ද?. වෙන්නෙ නෑ. දැන් මේක ඔබලා හිතල බලලා ද? – ‘නෑ. මේක අසූචි නේද. මේක අසුභ යි නේද, අසාරයි නේද’ කියලා හිතන්න ඕන ද?. හිතුවත් නැතත් ඒ දෙස බලපු පමණින් ම පෙනෙනවා. ඕන නම් හිතන්න, ‘නෑ නෑ, මේක හොඳයි, මේක සුබ යි, මේක හරි‍ හොඳ අරමුණක්’ කියලා හිතන්න. එහෙම කොච්චර හිතුවත් කයත් පස්සට අදිනවා, හිතත් පස්සට අදිනවා මේ ‘දකින මට්ටම’ නිසා. ‘දකිනවා’ කියල කියන්නේ ඊට අනුව මෙනෙහි කලත්, නො කළත් පෙනෙනවා. ඒ වගේ හැම වේදනාවක් ම අනිත්‍ය වෙනවා කියන එක දකින මට්ටමට ආවොත් අන්න එදාට අනිත්‍ය වෙන, අනිත්‍ය වූ වේදනාව ගන්න යන්නෙ නෑ. අනිත්‍ය වූ සැප වේදනාව ගන්න යන්නෙ නෑ. අනිත්‍ය වූ දුක් වේදනාව ඉවත් කරන්න යන්නෙ නෑ. ඒක තමන් ප්‍රතිචාරයක් දැක්වුවත් නො දැක්වුවත් අනිත්‍යයි කියන එක දකින මට්ටමට එනවා.

එතකොට ඔතනට යන්න තව ප්‍රතිපදාවක් තියනවා, තව විස්තර කරන්න ඕන – ශීල, සමාධි, ප්‍රඥා. මම මේ දේශනා සියල්ල අවසානයෙ දී ඒ සියල්ලේ ම මාර්ග ටික එකට එකතු කරල මාර්ගය ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඒ ඒ ධර්මතාවය තියන ඒ ඒ පරියායන් තේරුම් කර ගන්න. මේ ඕනෑම පරියායකින් අන්තිමට එළඹෙන්න ඕන සම්මා දිට්ඨි කියල. ඒ ඒ පරියාය තමයි අපට හසු වෙන්න ඕන. නමුත් ඒ සම්මා දිට්ඨිය ජීවිතයෙන් විශේෂයෙන් දකින්න ඕන කුමන ආකාරයකට ද කියලා වෙනම ම විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැනට මම ඒ ඒ න්‍යායේ දී අපේ ජීවිතය තුළ තියන ඒ ඒ තැන්වලින් හඳුන ගන්න ඕන අපේ චරිතයේ නොයෙක් ලක්ෂණ ටික විතරක් මතක් කරනවා. ඒ නිසා මෙතන දී තණ‍්හඤ‍්ච පජානාති කියන විට මේ ස්වාමියා හඳුන ගන්න. ස්වාමියා මේ විදියට අපෙන් වැඩ ගන්නේ අපි ව යොදවන්නේ වේදනාව නිසායි කියලා දැන ගන්න – වේදනාව කෙරෙහි තණ්හාව නිසායි කියල. ඒ වේදනාව නිරුද්ධ වුනොත් තණ්හාව නැමති ස්වාමියාට පවතින්න බැහැ. එහෙම වුනොත් අපට විවේකයෙන් ඉන්න පුළුවන්, වැඩ ගන්නෙ නෑ කියල දකින්න. එහෙම වුනොත් දුක නෑ කියල දකින්න. ඊට පස්සෙ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වේදනාව, තණ්හාව නැති කරන මාර්ගයයි කියල දකින්න. ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා වඩල එක තැනකට ගන්න ඕන ක්‍රමයක් තියනවා. ඒ ගන්න ක්‍රමයේ දී ඔබලාට මේ පරියායෙන් පෙන්වන්නේ කුමක් ද? හැම වේදනාවක් ම අනිත්‍යයි කියන එක දකින මට්ටමට ගේනවා. අපි දැන් උපාදානයට හේතුව තණ්හාවයි කියල තණ්හාව හික්මන්න හේතු ටික දකින තැනටත් ඇවිල්ලා, තණ්හාව ඇති කරන හේතුව වන වේදනාව නැති කරන තැනටත් ඇවිල්ලා – මේ ඔක්කොම එක ම අර්ථයකින් වෙනවා. නමුත් මේ මේ පර්යායෙන් දකින්න.

එතකොට ඔබලා හැම වේදනාවක් ම අනිත්‍යයි කියන තැන දකින මට්ටමට පැමිණි විට මෙන්න මේ තණ්හාව නැති වෙලා ජරා මරණ ටික නැති වෙනවා. ඒ දකින මට්ටමට තමයි මේ සම්මා දිට්ඨිය කිව්වේ. ඉතිං මෙන්න මේ තණ්හාව පිළිබඳ ව ධර්ම දේශනාව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරල සැරියුත් මහරහතන් වහන්සේ ම තවදුරටත් දේශනා කරනවා,

“යතො ඛො ආවුසො, අරියසාවකො එවං තණ‍්හඤ‍්ච පජානාති, එවං තණ‍්හසමුදයඤ‍්ච පජානාති, එවං තණ‍්හනිරොධඤ‍්ච පජානාති, එවං තණ‍්හනිරොධගාමිනි පටිපදඤ‍්ච පජානාති, සො සබ‍්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්‍වා, අසමීති දිටඨිමානානුසයං සමූහනිත්‍වා, අවිජ‍්ජං පහාය විජ‍්ජං උප‍්පාදෙත්‍වා දිට්ථෙවධම‍්මේ දුක්‍ඛස‍්සන්‍තකරො හොති.” කියලා.

 

මෙහෙම යම් කිසි කෙනෙක් තණ්හාවත්, තණ්හාවේ ඇතිවීමත්, තණ්හාවේ නැතිවීමත්, නැති කරණ මගත් දැන ගත්තොත් එයාට පුළුවන් වෙනවා සියලු ආකාරයෙන් ම – රාගානුසයං පහාය – රාගානුසය නැති කරල, – පටිඝානුසයං පටිවිනොදෙත්‍වා – පටිඝානුසය දුරින් ම දුරු කරල දාල, මම වෙමි යි කියන දැකීම හා මානය නසලා, – අවිජ‍්ජං පහාය විජ‍්ජං උප‍්පාදෙත්‍වා – අවිද්‍යාව දුරු කරල, විද්‍යාව උපදවා ගෙන, – දිට්ථෙවධම‍්මේ දුක්‍ඛස‍්සන්‍තකරො හොති – මේ ජීවිතයේ ම දුක නැති කර ගන්න පුළුවන්, අවසන් කර ගන්න පුළුවන් කියල සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කලා.

මේ විදියට තමන්ගේ ස්වාමියා හඳුන ගෙන, ස්වාමියාගේ මෙච්චර කල් අපෙන් ගත්ත වැඩ ගැන කලකිරිල, මේ ස්වාමියා ගැන කලකිරිල, තවදුරටත් ස්වාමියාට වැඳ ගෙන කටයුතු කරන්නෙ නැතිව, ස්වාමියාට පොඩ්ඩක් අකීකරු වෙලා, ස්වාමියා අකමැති පැත්තක් තමා බණ අහනවා, ධර්මයේ යෙදෙනවා, ශීල සමාධි ප්‍රඥා කියන්නේ. ස්වාමියා නසන්න තියන පැත්ත. නසන්න තියන පැත්තට ස්වාමියා කිසි දිනක කැමති වෙන්නේ නෑ. ඒ නිසා ස්වාමියා අකමැත්තෙන් වුනත් ස්වාමියා නසන පැත්තට තමන් ගිහිල්ල, මේ සසර දුක අවසන් කර ගන්න කියල මතක් කරනවා. ස්වාමියාගේ යටතේ ජීවත් වන නිසායි, ස්වාමියාගේ වැඩ කරන නිසායි, පින්වතුනි බණ දහමට ලෝකෙ කවුරුත් කැමති නැත්තේ. ස්වාමියා නැසෙන පාරට යොමු කරන්න ස්වාමියා කැමති වෙන්නේ නැති බව තේරුම් කර ගන්න. ඔබලා ස්වාමියාට කීකරු ව යටත් වෙන්න ඕන නම් ඒ විදියට ඉන්න කියල දකින්න, නැති නම් අර පැත්තට යන්න කියල දකින්න. ෴

 

**************************

2 thoughts on “සම්මාදිට්ඨි සූත්‍රය – තණ්හා වාරය

  1. ari

    Much merits for posting this.
    This is very beautiful, srtiking at the correct level. May you all attain NIBBANA in this very life. SADHU

    Reply
  2. Damayanthi Herath

    Mankadawala Sudassana Thero, preaches in a deep way, for the laymen to understand according to their knowledge. This is not simple, but there’s a lot to grasp and think and rethink, at the end to find the truth.

    Reply

Leave a Reply