කෙලෙසුන් ගෙන් මිදීමට තවත් කමටහන් දෙකක්‌

නිවන් දකින්න, ආස්‍රවයන් ගෙන් මිදෙන්න, කෙලෙසුන් ගෙන් මිදෙන්න, බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තව කමටහනක්‌ දේශනා කරනව. ඒ, බොජ්ජංග ධර්මයන් ගැන. බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව, මහණෙනි නැවත ද අනෙකක්‌ කියමි.

මහණ තෙම සප්ත බොජ්ජංග ධර්මයන්හි ධම්මානුපස්‌සීව වාසය කරනව. කොහොම ද භික්‌ෂුව මේ බොජ්ජංග හතේ ධම්මානුපස්‌සීව වාසය කරන්නෙ?

පළමුවැන්න සති සම්බොජ්ජංගය. හැම වෙලාවෙ ම තමන් ගෙ මනස පැත්තට නැඹුරු වෙල හොඳ අවධානයෙන් ඉන්නව – තමා තුළ සති සම්බොජ්ජංගය තියෙනව ද කියල හොඳට අවධානයෙන් ඉන්නව. එහෙම ඉන්නකොට තමන්ට තේරෙනව මම දැන් සිහිය අතහැරිල නේ ද ඉන්නෙ. සිහිය ගැන හොඳ අවධානයෙන් ඉන්නකොට තේරෙනව දැන් සිහියෙන් ඉන්නෙ කියල. නැත්නම් මෙච්චර වෙල සිහිය නැතිකමින් හිටියෙ කියල තේරෙනව. හැම වෙලාවෙ ම තමන් සිහියෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තියෙන්න ඕන.

විරිය සම්බොජ්ජංගය කියන්නෙ තමන් කෙලෙස්‌ තවාගන්න ඕන කියන උත්සාහයෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තබාගැනීම.

ධම්මවිචය තියන්නෙ නිතර ම දහමක්‌ සම්මර්ශනය කරමින්, දහම් කරුණු නුවණින් විමසමින් ද ඉන්නෙ කියන කාරණාවට සිහියෙන් ඉන්න ඕන.

ඊට පස්‌සෙ පීති බොජ්ජංගය කියන්නෙ තමන් තුළ නිරාමිස ප්‍රීති ස්‌වභාවයක්‌, ධර්මයෙන් යුක්‌ත නිරාමිස සතුටක්‌ ඇති ස්‌වභාවයක්‌ තිබෙනව ද නැද්ද කියන එක ගැන සිහියෙන් ඉන්න ඕන.

ඒ වගේ ම පස්‌සද්ධිය කියන්නෙ ධර්මය නිසා ම කයේ සන්සිඳුණ ගතියක්‌, රළු බව අඩු වෙච්ච ගතියක්‌ තමා තුළ තියෙනව ද නැද්ද කියල හොඳට සිහියෙන් ඉන්න ඕන.

ඊළගට සමාධි – තමා තුළ චිත්ත සමථයක්‌ තියෙනව ද නැද්ද කියල සිහියෙන් ඉන්න ඕන.

උපෙක්‌ඛා – තමා තුළ උපේක්‌ඛා ස්‌වභාවයක්‌ තියෙනව ද නැද්ද කියල හොඳ සිහියෙන් ඉන්න ඕන.

මෙන්න මේ විදියට ඉන්න කොට තමන් තුළ සිහිය අතහැරිල ඉන්නෙ කියල කොයි වෙලාවක හරි දැනගත්තොත් ඒ මොහොතෙ දි ම සති නිමිත්තකට පැමිණිල සතිමත් වෙන්නට ඕන.

විරිය, පීති, ධම්මවිච, කියන සම්බොජ්ජංග තුන හිත නගා සිටුවන්නයි තියෙන්නෙ. පස්‌සද්ධි, සමාධි, උපේක්‌ඛා කියන සම්බොජ්ජංග තුන අරමුණු සංසිඳුවන්නයි තියෙන්නෙ.

ගින්නක්‌ අවුළුවන්න ඕන වෙනකොට තෙත දර දාලා බෑ. වියළි දර ම දාන්න ඕන. ගින්නක්‌ නිවන්න ඕන වෙනකොට වියළි දර දාලා හරියන්නෙ නැහැ තෙතමනය තියෙන්න ඕන. අන්න ඒ වගේ හිතේ විසිරුණු ගතිය වැඩි වෙලාවෙ දි ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය වඩන්න එපා. එවැනි විටක වැඩිය යුත්තේ පස්‌සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්‌ඛා සම්බොජ්ජංගයයි.

නිදිබර ගතිය වැඩි වෙලාවට, සිත සැගවිච්ච වෙලාවට පස්‌සද්ධි, සමාධි, උපේකඛා තුන අතහරින්න. විරිය, ධම්ම විචය, පීති කියන සම්බොජ්ජංග තුන ඇසුරු කරන්න.

මේ විදියට කරගෙන යනකොට මෙතන මෙනෙහි කරන්නෙක්‌ නැත, සත්ත්ව පුද්ගල නො වූ බොජ්ජංග ධර්ම පමණක්‌ ඇත කියන නුවණත් ඇති වෙනව. මේ ධර්මතා මගේ නැත්නම් තව කෙනෙක්‌ ගෙ කියල ගන්නෙ නැහැ.

ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන්ට ප්‍රීති ප්‍රමෝදය උපදිනව. ඒ නිසා ම හිත කය සන්සිඳිලා, සැපසහගත වෙලා, හිත සමාධි වෙලා, ඇත්ත ඇති සැටියෙන් දැකලා, කලකිරිලා, නො ඇලිලා, ආස්‍රවයන් ගෙන් කෙලෙසුන් ගෙන් මිදෙනව.

ඊට පස්‌සෙ බුදුරජාණන්වහන්සෙ මේ සංසාරයෙන් එතෙර වීම සඳහා චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්න කියල දේශනා කරනව. කොහොම ද චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්නෙ?

මේ දුකයි කියල ඇත්ත ඇති හැටියෙන් දකිනව. මේ දුක්‌ඛ නිරෝධගාමිනී පටිපදාවයි කියල දකිනව. චතුරාර්ය සත්‍යය සිහි කරන්න සිහිය යොමු කිරීමයි මෙතන දි වෙන්නෙ. දවස පුරා ම කොයි වෙලාවෙත් චතුරාර්ය සත්‍යය අවබෝධ වන විදියට තමයි නිමිත්ත හසුරුවන්නෙ. එක්‌කො කුමක කුමන ඉරියව්වක හෝ හෝ දුක්‌ඛ සත්‍යය බලමින් ඉන්නව. සමුදය සත්‍යය ප්‍රකට කරගන්න බලනව. නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය ප්‍රකට කරගන්න බලනව. මේ ධර්මතා හතර අවබෝධ කරගැනීම සඳහා හිත නැඹුරු කරගෙනමයි ඉන්නෙ. චතුරාර්ය සත්‍යය සතිපට්‌ඨානය කරගෙනයි ඉන්නෙ. සිහිය පිහිටුවන්නෙ මේ සත්‍ය හතරේ.

මෙනෙහි කරන දුක මොකක්‌ ද? ඉපදීම, ලෙඩ වීම, මහලු බව, මරණය, අප්‍රියයන් හා එක්‌ වීම, ප්‍රියයන් ගෙන් වෙන් වීම, හිතන දේ නො ලැබීම වගේ මෙන්න මේව තමයි දුක්‌. මෙතන දි හොඳට තේරුම් කරගන්න ඕන මේ දුකයි කියල නුවණින් තමයි දැනගන්න ඕන. ඒ කියන්නෙ දුක කියන එක නුවණින් අවබෝධ කරගන්න දුක්‌ විඳින්න ඕනමයි කියල දෙයක්‌ නැහැ. අනුරුද්ධ මහ රහතන් වහන්සෙ කියන්නෙ ගිහි කාලෙ දි නැත කියන වචනය වත් අහල නැති කෙනෙක්‌. රජ ගෙදර හැදුණු ඒ වගේ අයත් ඒ ඔක්‌කොම සම්පත් ජරා මරණයන් ගෙන් යුක්‌තයි කියල දුක අවබෝධ කරගත්ත. සැපයි කියල හිතන බ්‍රහ්මයා කියන තැනත් දුකයි කියන නුවණ අපිට තියෙන්න ඕන.

අපේ ඉස්‌සරහ මල් වට්‌ටියක්‌ තියෙනව් නම් මෙන්න මේකත් ජාතිය, ව්‍යාධිය, මරණය ශෝක, පරිදේව, උපායාස ස්‌වභාව කොට ඇති බව අපිට තේරෙන්න ඕන. අන්න එවිටයි දුක දන්නව කියන්නෙ. මේ මල් වට්‌ටියෙ දුක නැහැ. ඒත් මල් වට්‌ටිය නිසා දුක එන්න පුළුවන්. මේ මල් වට්‌ටියට තණ්‌හා කෙරුවොත් ඒ තණ්‌හාව නිසා ආපහු අපි උපදින්න බැරි ද? පුළුවන්. ඉපදුණොත් ලෙඩ වෙනව, මහලු වෙනව, මරණයට පත් වෙනව. ඒ ඔක්‌කොම දුක්‌ ආවෙ ඉපදුණ නිසයි. ඉපදුණෙ තණ්‌හාව නිසයි. තණ්‌හාව ඇති වෙන්න හිතෛෂී වුණේ නැද්ද මල් වට්‌ටිය? එහෙනම් දුකට හිත වූවක්‌ මිස නිවනට හිත වූවක්‌ නෙමෙයි නේ ද මේ මල් වට්‌ටිය? අපිව දුකට පත් කරන්න වෙනත් විදියකට පෙනී හිටින දෙයක්‌ මේ. මෙයා දුක හැටියට ම පෙනී හිටියොත් අපි ඇලෙන්නෙ නැහැ. සැප හැටියට පෙනී ඉඳිමින් දුකට ගෙනියන එකයි කරන්නෙ. කෙළින් ම ඇති වන දුකට වඩා කපටියි. දුකයි සැපයි දෙක ම දුකයි කියල තේරෙන්න ඕන.

ඊට පස්‌සෙ දුක්‌ඛ සමුදය සත්‍යය. දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය කියන්නෙ මොකක්‌ ද? කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හා කියන මෙන්න මේ තුන් තණ්‌හාවයි දුක ඇති වෙන්නට තියෙන හේතුව. ඒ තණ්‌හාව උපදින්නෙ කොහෙ ද? පවතින්නෙ කොහෙ ද? ලෝකයේ යමක්‌ ප්‍රියයි නම් මධුරයි නම් තණ්‌හාව උපදින්නෙ එහියි. තණ්‌හාව පවතින්නෙ එහියි. එතකොට ලෝකයේ මොනව ද ප්‍රිය? මොනව ද මධුර?

තණ්‌හාව උපදින තණ්‌හාව පවතින කාරණා 60ක්‌ බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව. ආධ්‍යාත්මික ආයතන හයයි – ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. බාහිර ආයතන හයයි – රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම. විඤ්ඤාණ හයයි – චක්‌ඛු, සෝත, ඝාන, ර්ව්හා, කාය, මනෝ විඤ්ඤාණ. ස්‌පර්ශ හයයි – චක්‌ඛු සම්පස්‌සය, සෝත සම්පස්‌සය, ඝාන සම්මපස්‌සය, ජිව්හා සම්පස්‌සය, කාය සම්පස්‌සය, මනෝ විඤ්ඤාණ සම්පස්‌සය. වේදනා හයයි – චක්‌ඛු සම්පස්‌සජා වේදනා, සෝත සම්පස්‌සජා වේදනා, ඝාන සම්පස්‌සජා වේදනා, ජිව්හා සම්පස්‌සජා වේදනා, කාය සම්පස්‌සජා වේදනා, මනෝ සම්පස්‌සජා වේදනා. සංඥා හයයි – රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම සංඥා. චේතනා හයයි – රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්‌ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. තණ්‌හා හයයි – රූප තණ්‌හා, ශබ්ද තණ්‌හා, ගන්ධ තණ්‌හා, රස තණ්‌හා, පොට්‌ඨබ්බ තණ්‌හා, ධම්ම තණ්‌හා. විතක්‌ක හයයි – රූප විතක්‌ක, ශබ්ද විතක්‌ක, ගන්ධ විතක්‌ක, රස විතක්‌ක, පොට්‌ඨබ්බ විතක්‌ක, ධම්ම විතක්‌ක. විචාර හයයි – රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්‌ඨබ්බ විචාර, ධම්ම විචාර.

මෙන්න මේ කාරණා හැටේ ම තණ්‌හාව උපදින්න පුළුවන්, පවතින්න පුළුවන්.

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි